counter hit xanga
March 28, 2023

ආණ්ඩුවේ මර්දණයට දැන් ඉඩක් නෑ!

Last Updated on November 19, 2022 by Desman Chathuranga

තවදුරටත් ආණ්ඩුවේ මර්දන සැලසුම් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඊයේ විරෝධතාවයේදී ඔප්පුවූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගෝ පවසයි. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින වසන්ත සහ සිරිධම්ම හිමි බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේ අදහස් දක්වමින් වැඩබලන කැඳවුම්කරු පැවසුවේ ආණ්ඩුවේ සැලසුම් වී තිබෙන්නේ විවිධ හේතු ඉදිරිපත් කරමින් වසන්ත සහ සිරිධම්ම හිමි තවත් මාස කිහිපයක් රිමාන්ඩ් කර තබාගැනීම බවයි.

“කිසිම සාක්ෂියක් නොමැතිව රැඳවුම් නියෝග යටතේ මාස 03ක් රඳවා තබාගෙන හිටියා. මාස 03 ඉවර වෙන්න කලින් දවසේ එනම් 17 වෙනිදා හොර රහසේම අඩුම තරමේ නීතිඥවරයෙක්වත් සම්බන්ධ නොකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකරලා වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබාගෙන ඉන්නවා. ඇයි අධිකරණයට ඉදිරිපත් කරද්දී නීතිඥවරයෙක්වත් සම්බන්ධ නොකරේ. ආණ්ඩුවේ මේ සැලැස්ම, ටිරාන් අලස්ලාගේ දේශබන්ධු තෙන්නකෝන්ලාගේ මේ සැලැස්ම වෙලා තියෙන්නෙ තව මාස කිහිපයක් රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුලේ රඳවා තබාගෙන ඉන්නේ කියන එක. නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කියකිය දවසින් දවස කල් දම දමා තව මාස 05ක් 06ක් කල්තබා ගැනීම තමයි ආණ්ඩුවේ අවශ්‍යතාවය වෙන්නේ. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මේ ආණ්ඩුව විසින් යොදාගන්නේ තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදින බලවේග මර්දනය කිරීමට බව වසන්ත සහෝදරයා අප හමුවූ අවස්ථාවේ කිව්වා. වසන්ත සහ සිරි ධම්ම හාමුදුරුවෝ නිදහස් කරගැනීම වෙනුවෙන් අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මේ රටේ අරගලය විශ්වාස කරන සාමුහිකත්වය විශ්වාස කරන සියලු බලවේග සමඟ එකතුව සටන් කරනවා. “

“රනිල් වික්‍රමසිංහට, රනිල් වික්‍රමසිංහ ඉස්සරහා තියාගෙන ඉන්න රාජපක්ෂ හැතිකරේට ඒවගේම පොලිස් ඇමති ටිරාන් අලස්, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු සියලු පාර්ශවවලට කියනවා උඹලගේ සැලසුම් දැන් අක්‍රීයයි. උඹලා ඊයේ දැක්කනේ. උඹලගේ සැලසුම් තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න බැහැ. ඒ නිසා වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ නිදහස් කරන්න. ඒ වගේම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම හකුලා ගත යුතුයි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින සියලු සිරකරුවන් වහාම නිදහස් කළයුතුයි කියන කාරණය නිශ්චිතව මතක් කරනවා. ඊයේ පාඩම කියවගන්න. අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එකතුව මේ සහෝදරවරුන් නිදහස් කරගැනීමට අපේ ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් වඩාත් ජවසම්පන්නව ඉදිරියටත් කරනවා කියන එක කියනවා. “