counter hit xanga
March 26, 2023

ජනාධිපතියි ආණ්ඩුවයි කූට උපක්‍රමවලින් මැතිවරණය කල් දාන්න හදනවා!

Last Updated on January 19, 2023 by Desman Chathuranga

මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජන පවා මේ වන විට එල්ල කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත්තේ මැතිවරණය පැවැත්විය හැක්කේ පවතින නීතිය යටතේ බැවින් යම් හෙයකින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද දින පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එය බාධාවක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

වත්මන් ජනාධිපතිවරයාගේ සිහිනයක් වූ ජනාධිපති පුටුවේ වාඩි වීම සඵල වූ පසු ප්‍රජාතන්ත්‍රවාදයේ පියා යනුවෙන් හැදින්වූ ඔහු විසින්ම මැතිවරණය වැළැක්වීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් මෙය ජනතාවගේ මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන්ට ඇති අඩු ජනතා ප්‍රසාදය වළක්වා ගැනීමට විවිධ උප්පරවැට්ටි සිදු කරන බවත් මේ අවස්ථාවේ විරෝධය පළ නොකළහොත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවා වළැක්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා රජය විසින් සීමා නිර්ණය කොමිසම ගෙන ඒම, මැතිවරණ කොමිසමේ තීන්දුව වැරදියි හා එහි විවිධ මත ඇති බව පැවසීම, ජනාධිපති සහ අගමැති පක්ෂයක නායකයකු සහ සාමාජිකයකු ව සිටියදී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ගෙන්වා ලිපි ද්‍රව්‍ය පරික්ෂා කිරිම වැනි ස්වාධීන මැතිවරණ කොමිසමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීම, මැතිවරණයට මුදල් නොමැති බව පැවසීම, මුදල් අච්චු ගහන්න බැහැ යනුවෙන් අයිඑම්එෆ් කොන්දේසි ඇති බව පැවසීය ආදී ක්‍රියා කළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසා අදත් ඇමතිවරු දෙදෙනකු අලුතින් දිවුරුම් දුන් බවත් ඇමතිවරු නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් වැය කරන රජයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පැවසීම විහිළුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ අණපනත් සහ එහි ගම්‍ය වී ඇති පුළුල් දැක්මට අර්ථයට විපක්ෂයේ කිසිදු විරෝධයක් නොමැති බවත් මෙහි අඩුපාඩුකම් රැසක් පැවැතියත් එය ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ දෙයක් ලෙස තමා සලකන බවත් එහෙත් මෙම පනත ගෙන ඒම අරමුණ සම්බන්ධයෙන් යම් ගැටලු රාශියක් පවතින බවත් මේ පනත උපයෝගී කර ගෙන රජය මැතිවරණය කල් දැමීමට උත්සාහ දරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැමිණියේ මේ පනත කල් දැමීමට බවත් එබැවින් මෙය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්දය බලපෑමක් නොවේ යනුවෙන් වගන්තියක් එක් කළහොත් මහජන මුදල් වැය කර මෙවැනි විවාදයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණය කරන්න මුදල් නොමැති බව පවසන රජයේ ඇතැම් පුද්ගලයන් ජනාධිපති මන්දිරය කොට්ටේ ට ගෙන යන්න මුදල් ඇති බවත් ඔවුන් ගොවියාගේ වී මිලදී ගන්න, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙව්නන බැරි බව යනුවෙන් ජනතාව බිය වද්දවා ව්‍යාජ විරෝධයක් ඇති කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණය කල් දමමින් ජනතා පරමාධිපත්‍යට හානි කිරීමක් වත්මන් රජය සිදු කරන බවත් එසේ දිගින් දිගටම සිදු වුවහොත් ජනතාව සමඟ පාරට බැසීමට දෙපාරක් නොසිතන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන සියලු නීච ක්‍රියා වෙනුවෙන් ජනතාව සමඟ පෙළ ගැසෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව අවංක නම් පුළුවන් නම් මේ පනතට සංශෝධයක් ලෙස මෙම පනත මාර්තුවේ පැවැත්වෙන මැතිවරණයට බලපෑමක් නොවන බවට වාක්‍යයක් ඉදිරිපත් කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.