counter hit xanga

A/L ගැන මේ Level එකෙන් හිතන්න!

Last Updated on June 7, 2021 by Desman Chathuranga

රටේ පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ 2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ Advanced Level (A/L) විභාගය කෙසේ පැවැත්විය යුතු ද යන්න පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලිපියක් යොමුකර තිබේ.

A/L විභාගයට ඉදිරිපත් වන සිසු දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි විභාගය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන මෙන් ලංකා ගුරු සේවා සංගමය එහිදි ඉල්ලිමක් ද කර තිබේ.

විභාග කොමසාරිස්තුමා,
විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත,
බත්තරමුල්ල.

කොමසාරිස්තුමනි,
කොවිඞ්-19 වසංගතය හමුවේ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධවයි.

පැවැත්වීමට නියමිත 2021 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය රටේ පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ කෙසේ පැවැත්විය යුතු ද යන්න පිළිබ`දව මේ වනවිට මතු වී ඇති සමස්ත ගැටළු සැළකිල්ලට ගෙන තීරණය කළ යුතු බව අප සංගමය ඔබගේ අවධානයට යොමු කර සිටිමු.

මෙහිදී සැළකිල්ලට ගත යුතු පහත කරුණු පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරවමු.

  1. මෙවර පළමු වතාවට විභාගයට ඉදිරිපත් වන සිසුන්ට ගෙවී ගිය තම වසර 02 ක අධ්‍යයන කාලය තුළ පාසල් අධ්‍යාපනයට යොමු වීමට හැකි වූ කාලය මාස 06 කට පමණ සීමා වීම.
  2. සිසුන්ට තම අධ්‍යයන කටයුතුවලින් වැඩි කාලයක් ඵලදායිතාවයෙන් අඩු මාර්ගගත (online) ඉගෙනුම් අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වීම.
  3. සම්පත් හා පහසුකම් හිඟ වීම හා නොමැති වීම මත සිසුන් වැඩි ප‍්‍රමාණයකට ඉහත කී මාර්ගගත (online) ඉගෙනුම් අවස්ථාව ද අහිමි වීම.
  4. උපකාරක පන්තිවලට සම්බන්ධ වන සිසුන් සඳහා ද පවතින තත්ත්වය හමුවේ ප‍්‍රමාණවත් ඉගෙනුම් අවස්ථා නොලැබීම.
  5. මේ අනුව සියලූම සිසුන්ට තම අධ්‍යයන පාඨමාලාවන්ට අදාළ විෂය නිර්දේශ ආවරණය නොවීම.
  6. ඉහත කරුණු සැළකිල්ලට ගනිමින් එක්, එක් විෂය ධාරාවන්ට හා විෂයන්ට අදාළව ප‍්‍රශ්න පත‍්‍ර සැකසීමේදී හා විභාගය සැලසුම් කිරීමේදී සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි විශේෂත්වයකින් යුතුව කටයුතු කිරීම සුදුසු බව, සිසුන්ගේත්, ගුරුවරුන්ගේත්, දෙමාපියන්ගේත් ඉල්ලීම් පරිදි ඔබ වෙත යෝජනා කරමු.
  7. එමෙන්ම සිසුන් ව්‍යාකූලත්වයට හා අවිනිශ්චිතභාවයට පත් නොවන පරිදිත්, ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සැළසුම් කර ගැනීමට හැකිවන පරදිත්, විභාගය පවත්වන නිශ්චිත දින වකවානු පිළිබ`දව කල්වේලා ඇතුව දැනුම්දීම.

මෙකී කරුණු සළකා බලා මෙවර පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ඊට ඉදිරිපත් වන සිසු දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන මෙන් ලංකා ගුරු සේවා සංගමය ලෙස අප ඔබගෙන් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට, විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය