counter hit xanga
October 26, 2021

මේ පොදුජන සටන ගම්මන්පිල සමග නොව රටම දණ ගැස්සූ ඛනිජතෙල් ඇමති සමගයි!

Last Updated on June 13, 2021 by Panduka Herath

සංචරණ සීමා පනවා රටේ බහුතරයක් ජනතාව ඉතා අපහසුවෙන් කටයුතු කරනා මේ සමයේ තෙල් මිල වැඩි කිරීම රටේම ආන්දෝලනයට තුඩු දී තිබේ.මේ තත්ත්වය උණුසුම් කළේ තෙල් මිල වැඩි කළ දිනට පසු දින ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල එම තනතුරින් ඉවත් විය යුතු යැයි රජයේ ප්‍රධාන පාර්ශවකාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය.

සැබැදින්ම පොහොට්ටුව විසින් නිකුත් කළ එම නිවේදනය පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට එරෙහි දේශපාලනික ප්‍රහාරයක් නොව, රජයේ ඛනිජ තෙල් ඇමතිවරයාගෙන්, රජයේ ප්‍රධාන පාර්ශවකරු ජනතාව වෙනුවෙන් ඇසු ප්‍රශ්නාවලියකි.

පැහැදිලිවම ජනතාව අපහසුතාවයෙන් සිටිනා මේ අවස්තාවේ රටේ තෙල් මිල වැඩි කිරීමේ වගකීමක් ඛනිජ තෙල් ඇමතිවරයාට සෘජුව හිමි වේ.

එය කොරෝනා මර්දනය පිළිබඳ ගැටලුවක් ඇති වූ විට එහි වගකීම සෞඛ්‍ය ඇමතිනියටත්, ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් මතු වූ විට එහි වගකීම පොලිස් අමාත්‍යවරයාටත් හිමි වීම වැනිම සංසිද්ධියකි.

රටේ ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටිනා මේ මොහොතේ අමාත්‍යංශ පාඩු ලැබූවත් කිරි පිටි මිල වැඩි කර නැත, ගෑස් මිල වැඩි කළේ නැත. මන්ද එමගින් රජයත්, ජනතාවත් අපහසුතාවයට ලක්වන බැවිනි.ඛනිජ තෙල් අමාත්‍යංශය තෙල් මිල වැඩි කරන්නේ එවැනි මොහොතකය.

ඒ සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් පැන නගි.

ලෝක වෙළදපොලේ තෙල් මිල වැඩි වූ වහාම, මෙරට තෙල් මිල ඉහළ දමනවා නම් එයට ඛණිජ තෙල් ඇමතිවරයෙක් අවශ්‍ය නැත.මින් පෙර ලෝක වෙළදපොළේ තෙල් මිල අඩු අවස්තාවන්ගේ තෙල් මෙරටට ගෙනැවිත් ගබඩා කර නොගත්තේ ඇයි ?ඛනිජ තෙල් අමාත්‍යවරයා දුරදිග දකිනවා නම්, එය ඔහු සෘජුවම කිරීමට තිබූවකි.මන්ද ගෝලීය තෙල් මිල ඉහළ යාමට ප්‍රථම එය ස්ථාවරව වී පැවතුනි.

ත්‍රිකුණාමලයේ විශාල තෙල් ගබඩා ටැංකි පවතී. ඛනිජ තෙල් අමාත්‍යවරයා දුරදිග දකිනවා නම් එම ටැංකි ප්‍රතිසංස්කරණය කර, මෙරටට ඛණිජ තෙල් ගෙනැවිත් ගබඩා කර ගැනීමට තිබුනි.

අපගේ ගැටලුව මෙරට ඛනිජ තෙල් අමාත්‍යවරයා එම වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙනි.

තෙල් මිල වැඩි කිරීමේ සෙසු ප්‍රධාන ගැටලුව ශ්‍රී ලංකාව තෙල් මිලට ගන්නේ වැඩි මිලට සිංගප්පූරුවෙනි.යුධ සමයේ පවා රජය තෙල් මිලට ගත්තේ ඉරානයෙනි. ඔපෙක් රට වල තෙල් මිල සිංගප්පූරුවට වඩා අඩුය.එවන් පසුබිමක මෙරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ඔපෙක් රටවලින් තෙල් මිලට නොගෙන සිංගප්පූරුවෙන් තෙල් මිලට ගන්නේ ඇයි ?

අමාත්‍යවරයා රටට පැහැදිලි කළ යුතුය.

තවද බොර තෙල් මිලට ගෙන මෙරට පිරිපහදු කර භාවිතයට ගැනීම වඩා ලාභදායිය. මෙරට මුදල් ඉතිරි වන, රැකියා උත්පාදනය වන කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් මෙරට පවතී.

එසේ නම් ඛණිජ තෙල් අමාත්‍යංශය මෙරටට සෘජුවම ඛනිජ තෙල් ආනයනය කරන්නේ ඇයි ?

මේ සඳහා වගකිව යුත්තේ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල නොවේ නම් වෙන කවුද ?

ශ්‍රී ලංකාවේ තෙල් මිල වැඩි කිරීමට සිදු වූයේ ඛනිජ තෙල් අමාත්‍යංශය විසින් දුරදිග නොබලා කටයුතු කිරීමෙන් සහ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පැහැර හැරීමෙන් බව පැහැදිලිය.ඒ හේතුවෙන් එම අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමේ වගකීම රජයේ ප්‍රධාන පාර්ශවකාර පක්ෂයට හිමි වන්නේ පක්ෂය විශ්වාස කළ ලක්ෂ 69ක් මහජනතාවගෙනි.

මෙය හුදෙක් උදය ගම්මන්පිල නම් චරිතය ඉලක්ක කළ දේශපාලන ප්‍රහාරයකැයි දකින්නේ දේශපාලන අඳබාලයන් පමණකි.මෙවැනි මොහොතක ඇමති පුටුවේ උදය ගම්මන්පිල නොව වෙනත් කිසිවෙකු සිටියත් ඔහුව ප්‍රශ්න කිරීම පොහොට්ටුවේ වගකීමකි.තවද ශ්‍රී ලංකාවේ තෙල් මිල වැඩි වෙන්නේ අසල්වැසි ඉන්දියාවේ තෙල් මිල වැඩි කළ දිනට පසු දිනයි.

ඉන්දීය තෙල් සමාගම මෙරටත් සිය ව්‍යාපාර මෙහෙයවයි. සිපෙට්කෝ ආයතනය අඩු මිලට තෙල් ලබා දෙද්දි පාඩු ලැබූවත් ඒක පාර්ශවිකව තෙල් මිල ඉහළ දැමීම ඔවුන්ට කළ නොහැක.එවැනි මොහොතක ඉන්දියාවේ තෙල් මිල වැඩි කළ දිනට පසුදිනම මෙරට තෙල් මිල වැඩි කිරීම අහම්බයක්ද ?

එසේ නොමැති නම්, ඉන්දීය තෙල් සමාගමේ පාඩුව මකා දැමීමට, එම සමාගමෙන් අල්ලසක් ලබා ගත් කිසිවෙකු විසින් හෝ ලබා ගත් තීරණයක්ද ?

මන්ද රජයට මේ අසීරූ අවස්තාවේ ජනතාව වෙනුවෙන් පාඩු දරා ගැනීම අපහසුවක් නැත. රජය ජනතාවගේ ජීවිත සමග ව්‍යාපාර කරන්නේ නැත. නමුත් ඉන්දීය තෙල් සමාගම මෙරට සිදු කරන්නේ ව්‍යාපාරයකි. ඔවුන් පාඩු දරා ගැනීමට සුදානම් නැත.කොරෝනා සමයේ අපහසුතාවයට ලක්වූ ජනතාවට පන්දහසේ සහනාධාරය ලබා දීමට රජය රුපියල් මිලියන 30,000ක් රජය වැය කරන්නේ එබැවිනි.

කිරිපිටි මිල, ගෑස් මිල, විදුලි බිල ආදිය ඉහළ නොදමා රජය පාඩු විඳින්නේ එබැවිනි.

එවැනි මොහොතක ඛනිජ තෙල් අමාත්‍යවරයා පමණක් තෙල් මිල පමණක් වැඩි කිරීමේ රහස කුමක්ද ?

ජනතාව වෙනුවෙන් පිළිතුරු අවශ්‍ය ගැටලු මේවාය.

ජනතාවගේ පාර්ශවයෙන් පිළිතුරු අවශ්‍ය මේ ආන්දෝලනාත්මක තැන්, හුදෙක් දේශපාලන ප්‍රහාරයක් ලෙස පෙන්වා ගැලවීමේ හැකියාවක් විෂය භාර අමාත්‍යවරයාට නැත.