counter hit xanga
March 28, 2023

දරුවන්ගේ මන්දපෝෂණයට එරෙහිව සටන් කල වෛද්‍ය චමල් සංජීව වරදකරුවකු කරලා!

Last Updated on November 11, 2022 by Desman Chathuranga

ආර්ථික පරිහානියත් සමඟ ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව දැඩි ලෙස රටට හෙළිදරවු කරන ලද වෛද්‍ය චමල් සංජීව ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කල අතර එම වැඩ තහනම් කිරීමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා හා අමාත්‍යංශයේ දේශපාලන බලධාරීන් බව වෛද්‍ය සංගම් චෝදනා කරයි.

එම සංගම් මේ පිළිබඳව සඳහන් කරන ලද්දේ නොවැම්බර් 10 වෙනි දින (2022.11.10) “වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරනු” මැයෙන් වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව සංවිධානය කොට තිබූ මාධ්‍ය හමුවකදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය යන සංවිධාන ගණනාවක් සම්බන්ධ විය.

මෙහිදී වෛද්‍ය චමල් සංජිව විසින් සුරියවැව ප්‍රදේශයේ දරුවන්ගෙන් 80% ක් මන්දපෝෂණ තත්වයෙන් පෙලෙන බව පැවසීම සාවද්‍ය කරුණක් ලෙස පවසා මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බවත් ඒ සඳහා වෛද්‍යවරුන්වත් නොදන්නා පරීක්ෂණයක් සිදුකර ඇති බවට අදාල වැඩ තහනම් ලිපිය මගින් සඳහන් කර ඇති බවත් ක්‍රමවේද වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අජිත් අමරතුංග පවසයි. එමෙන්ම මෙම වෛද්‍යවරයා වෘත්තීය සමිති නායකයෙකු බවත් එමගින් අදහස් පලකිරීමේ අයිතිය සේම වෘත්තීය සමිති මර්දනයක්ද සිදුකර ඇති බවට ඔහු චෝදනා කරයි.

එමෙන්ම ආණ්ඩුව විසින් අදහස් පලකිරීමේ අයිතිය අහිමි කරමින් මෙවැනි කුඩා සිදුවීම් පවා ඉහලට ඔසවා සිදුකරනු ලබන්නේ රාජ්‍ය මර්දන ක්‍රියාවලියේ එක් කොටසක් වන වෘත්තීය සමිති මර්දනය කිරීම බවත් මෙසේ කිරීමෙන් සිදුවන්නේ මර්දනයක් නොව තව තවත් ජනතාව එකාමෙන් එක්වීම බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය තුසිත කහදූව පවසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුව සඳහා එක්වූ නිර්මාල් රංජිත් දේවසිරි පවසා සිටියේ ආයතන සංග්‍රහයේ වගන්ති කඩකළ බවට කරුණු උපුටා දක්වමින් වෛද්‍ය චමල් සංජිව ගේ වැඩතහනම් කිරීම සිදුකරනු ලැබුවේ ඒ මහතාට අදාල මහජන සෞඛ්‍ය පිළිබඳවම අදහස් දැක්වීමට යාමෙන් බවත් එමගින් ආයතන සංග්‍රහයේ වගන්ති කඩවීමක් සිදුවූ බව පැවසීම සිතා මතා ඔහුගෙන් පළිගැනීමේ අරමුණින් කරන ලද කටයුත්තක් බවයි.

මෙම වෛද්‍ය චමල් සංජිව ගේ වැඩ තහනම් කිරීමේ සිදුවීම තමන් දේශපාලන කෝණයකින් දකින බව ඉන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ පවසයි. එහිදී ඔහු පවසා සිටියේ 1977 වසරේ බලයට පැමිණි ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 5/6 බලයක් ලබාගත්තා සේම 2019 පැමිණි ආණ්ඩුවද එලෙස විශාලා බලයක් ලබාගත් බවත් එම ආණ්ඩු දෙකම එක සේ සිදුකරනු ලැබුවේ ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විනාශ කරමින් දැඩි මර්දනකාරී වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීම බවයි. එහි එක් කොටසක් ලෙස වෛද්‍ය චමල් සංජිව ගේ වැඩ තහනම් කිරීම දැක්විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වැඩ තහනමට ලක්වූ වෛද්‍ය චමල් සංජිවට තමන් ගුරුවරයෙකු වී විශ්ව විද්‍යාලයේදී උගන්වා ඇති බව කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණී ද සිල්වා පැවසී. ඔහු පවසා සිටියේ තමන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් තම දරුවන්ට උගන්වන ලද්දේ උණට පැනඩෝල් ලබාදී ගෙදර යවන අයවලුන් නොවන බවත් රෝගයට හේතු සොයා රෝගය නැති කිරීමේ ක්‍රම බවයි. එම ඉගැන්වීම් තුලින් පෝෂණ ලැබූ චමල් සංජිව රටේ දරුවන්ගේ මන්දපෝෂණයට හේතු සොයා විසඳීමට කටයුතු කිරීම වරදක් බව දැක්වීම තුළින් තමන් ඇතුළු ආචාර්යවරුන් උගන්වන ලද දැනුම භාවිතයට ගැනීමට දේශපාලනය ඉඩ ලබාදී නොමැති බව වැටහී යන බව පවසා සිටියේය.

එමෙන්ම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අදහස් දක්වමින් පවසා සිටියේ, සෞඛ්‍ය ලේකම්වරයාට මෙම වැඩ තහනම් කිරීම වහාම හකුලා ගන්නා ලෙසත් නැතහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට සහයට සිටින බව පෙන්වන දේශපාලඥයන්ද ඉදිරියේදී නොමැති වන බවත් වෛද්‍ය වෘත්තිකයන්ගේ සහයද නොමැති වන බවත්ය.

එමෙන්ම මෙම වැඩ තහනම් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් 2015 නිකුත් කල වෛද්‍ය සේවා ව්‍යවස්ථාව හා 1935 නිකුත්කළ වෘත්තීය සමිති ආඥා පනතද උල්ලංඝනය කර ඇති බවට ඔහු චෝදනා කරයි. එමෙන්ම ආයතන සංග්‍රහයේ 31 වගන්තියේ දක්වා ඇති පරිදි වැඩ තහනම් කිරීමකට ලක් කිරීමට එම සිදුවීමේ බැලු බැල්මට වරදක් සිදුවී තිබිය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ නදීෂ සිල්වා පවසයි. නමුදු චමල් සංජිව ගේ වැඩ තහනමට හේතු ලෙස දක්වා ඇත්තේ ඔහු කළ ප්‍රකාශය අසත්‍ය බවට ‘හැගී යනවා’ යනුවෙන් බවත් එම ගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කොට ඇති බවටත් ඔහු චෝදනා කරයි.

මෙම වැඩ තහනම් කිරීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කර ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සියලු වෘත්තුය සමිති සහභාගී කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව මෙම මාධ්‍ය හමුවට පැමිණි රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. එමෙන්ම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසා සිටියේ චමල් සංජිව වෛද්‍ය වෘත්තියෙන් ගත් දැනුම යොදාගෙන පඩිය ගෙන ගෙදරට වී නොසිට රට හැදීමට යාම දේශපාලන අධිකාරිය ඔහුව වරදකරුවෙක් කොට ඇති බවයි.