counter hit xanga
March 26, 2023

වෘත්තීය සමිති රතු එළි දල්වයි!

ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. එය වැඩකරන ජනතාවගේ අයිතියක් ලෙස ද අපි සලකන්නෙමු.

Last Updated on June 22, 2021 by Desman Chathuranga

වැඩිකළ ඉන්ධන මිළ අඩු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය National Trade Union Center මුදල් අමාත්‍ය,අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටි. එම නිවේදනයේ දක්වා ඇත්තේ එය ඉටුනොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බවයි.

ජනමාධ්‍ය නිවේදනයයි

අග්‍රාමාත්‍යය,
මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
අග්‍රාමාත්‍යය කාර්යාලය,
කොළඹ.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

ඉන්ධන මිළ වැඩි කිරීම නිසා පීඩාවටපත් වැඩකරන ජනතාව සම්බන්ධවයි.

Covid වසංගතය තුරන් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව මේ දක්වාම අසමත් වීමත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලද අදූරදර්ෂී ක්‍රියාමාර්ගත් මෙන්ම ඔබ අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් මේ වන විට රටතුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළුව සියල්ලෙහිම මිළ සීඝ‍්‍ර ලෙස ඉහල දැමීමක් සිදුකර ඇත.

පසුගිය කාල වකවානුව පුරාම අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාවලිය නිසා ජනතාව තුල ගොඩනැගී වර්ධනය වන්නේ බලවත් ආර්ථික පීඩනයක් හා අසහනයකි. මෙම තත්වයේ දී භාණ්ඩ හා සේවා සපයන්නන් විසින් ද තම තමන්ගේ හැකියාවන්ට අනුව මිළ ඉහල දමමින් සිටී. එසේ තම කාර්යයට අනුව, ලබා දෙන සේවාවට අනුව, වටිනාකම් ඉහල දමා ගත නොහැකි පිරිස වන රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රයන්හි වැඩකරන ජනතාව වට ගණනාවකින් පීඩාවට පවත්වන කොට්ඨාශයන් බවට පත්ව ඇත.

ඔබ ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඉන්ධන මිළ වැඩි කරන්නේ මෙවැනි පීඩාකාරී තත්වයකට වැඩ කරන ජනතාව මුහුණ දී සිටින අවස්ථාවකදීය. එය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණයේ අනිටු ප්‍රතිඵල ජනතාව මත පැටවීමකි. එමගින් තව තවත් වට ගණනාවකින් ඉහල යන ජීවන වියදම හමුවේ තම ජීවිතය ගැටගසා ගැනීමේ අර්බුදයට මුහුණ දීමට නොහැකිව කබලෙන් ලිපට වැටීමේ තත්වයකට වැඩකරන ජනතාව පත්ව ඇත.

මෙම අතිශය පීඩාකාරී තත්වය යම් පමණකින් හෝ සමනය කර ගැනීමට නම් ආණ්ඩුව ජනතාව මත අලූතින් බර පැටවූ ඉන්ධන මිළ වැඩි කිරිම වහාම ඉවත් කරගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් තව දුරටත් මෙම දැවැන්ත ජීවන බර දරා සිටීමට වැඩකරන ජනතාවට නොහැකිවා මෙන්ම ඒ සඳහා අප එකඟවන්නේ ද නැත. වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. එය වැඩකරන ජනතාවගේ අයිතියක් ලෙස ද අපි සලකන්නෙමු.

එබැවින් පළමු ක්‍රියාමාර්ගය ලෙස ආණ්ඩුව වැඩිකළ ඉන්ධන මිළ අඩු කළ යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් වහාම වැඩි වන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමකට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නොඑසේනම්, එය දිනා ගැනීම වෙනුවෙන් අරගල මාවත තෝරා ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි පසුබට නොවෙමු. අනෙකුත් වෘත්තීය සමිති සමගින් වැඩකරන පන්තිය ඒකරාශි කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට අපට සිදුවන බවද අවධාරනය කරන අතර, එමගින් ජනතාවගේ දෛනික කටයුතු වලට සිදුවන බාධාවන්හි පූර්ණ වගකීම ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුව විසින් භාරගත යුතු බව අපි අවධාරණය කරමු.

එමනිසා එවැනි තත්වයකට රට පත්නොකර වැඩිකළ ඉන්ධන මිළ අඩු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට බලකරන අප එය ඉටුනොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.

ස්තුතියි.

මීට විශ්වාසී
කේ. ඩී. ලාල්කාන්ත
සභාපති
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය.