counter hit xanga
March 26, 2023

මැතිවරණ කොමිසම ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කිරීම

Last Updated on December 26, 2022 by Lankae Cast

වත්මන් මැතිවරණ කොමිසමෙහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඉකුත් සැප්තැම්බර 15 වන දින මාධ්‍ය වාර්තා වලට අනුව කියා තිබුණේ ලබන වසරේ (2023) මාර්තු 20 වන දිනට පෙර පළාත් සභා මැතිවරණ පැවැත් වීමට ඔහු බාලපොරොත්තුවන බවය. ඒ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ඡන්ද ලේඛන සකසා අවසන් කරන බවය. ඔහුට අමතකව ඇත්තේ ඊට මාස 09 ට පෙර ජනවාරියේ ඔහු මාධ්‍යයට කියූවේ ඡන්ද ලේඛන සැකසීමක් ගැන නොවන බවය. ඔහු එදා කීවේ අවශ්‍ය නීතිමය පසුබිම සකස් කෙරෙන්නේ නම්, මේ වසරේදී (2022) පළාත් සභා මැතිවරණ පැවැත් විය හැකි බවය.

මේ කතා දෙක එකට ගත් විට, ඉකුත් ජනවාරියේදී මැතිවරණ කොමිසමෙහි සභාපති නීතිමය පසුබිමක් ගැන කීවත් ඡන්ද ලේඛන සකසා අවසන් කිරීමට එදා පියවර ගත්තේ නම් මාස කිහිපයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබුණි යැයි ඕනෑම ඡන්දදායකයෙකුට සිතෙන්නකි. එනිසා ලබන මාර්තුවේ ඡන්ද පැවැත්වීමට ඡන්ද ලේඛනය සැකසීම ගැන දැන් කියන්නේ, මැතිවරණ කොමිසමේ වගකීම් සම්පූර්ණ වූවත් ආණ්ඩුව විසින් නීතිමය පසුබිම සකසා නැති හෙයින් මැතිවරණය පැවත්විය නොහැකි බව පසුව කීමට ඉඩ තබා ගෙන විය යුතුය.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති දේශප්‍රියගේ සහ වත්මන් සභාපතිගේ මැතිවරණ කල් තැබීමේ කතාවල එතරම් වෙනසක් නැත. අද පුංචිහේවා එදා දේශප්‍රියගේ සීතල දිගුවක් පමණි. පළාත් සභා මැතිවරණ අවුරුදු 05 ට වැඩි කාලයක සිට නොපැවැත්වීමේ පළමු හා ප්‍රධාන වරදකරු එවකට මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සහ ඒ කොමිසමෙහි අනෙක් සාමාජිකයින් දෙදෙනා වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර ය.

පළාත් සභා 09 න් පළාත් සභා 03 ක් විසුරුවා හැරුණේ 2017 නොවැම්බරයේදී ය. තවත් පළාත් සභා 03 ක් අනතුරුව 2018 ඔක්තෝම්බරයේදී විසුරුවා හැරුණි. 2019 අප්‍රේල් මාසය වන විට ඉතිරි පළාත් සභා 03 ද විසුරුවා හැරුණි. ඒ සමස්ථ කාලය පුරා වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට ගැලපෙන අයුරු මාධ්‍ය සමග වල් පල් දොඩමින් මැතිවරණ කොමිමේ සභාපති ලෙස දේශප්‍රිය ප්‍රශ්නය මග හැරියේය. ඔහු සහ අනෙක් සාමාජිකයින් දෙදෙනා 2020 නොවැම්බර 15 වන දින මැතිවරණ කොමිසමෙන් ඉවත් වූයේ පළාත් සභා මැතිවරණ කල් තැබීමේ දේශපාලන පදනම හදා තැබීමෙන් පසුව ය.

පළාත් සභා මැතිවරණය 2019 නොවැම්බර 10 වන දිනට පෙර පැවැත්වීමට ආණ්ඩුව පියවර නොගතහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට 2019 ජනවාරියේ 28 වන දින දේශප්‍රිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙරුවේ ඉල්ලා අස්වීමේ කිසිදු බලාපොරොත්තුවක් ඇතිව නොවන බව එතෙක් ඔහුගේ කල්කිරියාවෙන් ඔහු ඔප්පු කෙරුවකි. ඔහු අවංක වූවා නම්, ඒ ප්‍රකාශය කළ යුතුව තිබූයේ 2019 ජනවාරියේ නොව, 2018 ජනවාරියේ ය.

කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ප්‍රකාශය ඔහු කෙරුවේ මා විසින් ඊට දින 10 ට ඉහතින් 2019 ජනවාරි 19 දින සභාපති ලෙස ඔහුට සහ මැතිවරණ කොමිසමට ලිඛිතව සහ අනතුරුව ප්‍රසිද්ධියේ කළ බරපතල චෝදනාවට පිළිතුරු නොදී පැන යාමට ය. අදට අවුරුදු 02 ක් සම්පුර්ණ කෙරෙන මේ වර්තමාන මැතිවරණ කොමිසමටත් එළෙසින්ම අදාල මගේ චෝදනාව වූයේ ඔවුන් “විසුරුවා හැරුණු පළාත් සභා සඳහා මැතිවරණ, නීති විරෝධී ලෙස කල් තබණ” බවය. මගේ ජනවාරි 19 වන දිනැති ලිඛිත චෝදනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස දේශප්‍රිය ඉන් දින 04 ට පසු ජනවාරි 23 වන දින උදය 10.52 ට මට යොමුකර තිබූ විද්‍යුත් තැපෑලෙන් කියා තිබුණේ “2019 ජනවාරි 28 වන දින පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී, ඔබ මතු කළ කරුණට ප්‍රසිද්ධ පිළිතුරක් ලබා දෙනු ඇති අතර, ඒ සමග ඔබ වෙත අදාල පිළිතුර විද්‍යුත් තැපෑලෙන් එවමි. ඡන්ද විමසීම් නිසි කලට පැවැත්වීමේ අවශ්‍යතාව ගැන ඔබ දක්වන උනන්දුව අගයමි” යැයි කියා ය.

ඔහු කියූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නොවැම්බර 10 වන දිනට පෙර පළාත් සභා ඡන්දය නොපැවැත් වුවහොත් ඉල්ලා අස්වන බවට දේශප්‍රිය කළ ප්‍රකාශය කිසි ලෙසකින් මා කළ චෝදනාවට පිළිතුරක් නොවූ අතර, ඔහු මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉවත්වන තුරු හෝ ඊට පසුව හෝ මෙතෙක් ඒ චෝදනාවට ප්‍රසිද්ධියේ හෝ මට පොරොන්දු වූ අයුරු විද්‍යුත් ලිපියකින් හෝ පිළිතුරක් දී නැත. ඔහුට හෝ වත්මන් මැතිවරණ කොමිසමට හෝ මගේ චෝදනාවට පිළිතුරු දිය නොහැකි බව මම ඉතාම හොඳින් දනිමි. වත්මන් කොමිසමේ සභාපතිද පළාත් සභා මැතිවරණයට කිසිදු අදාලත්වයක් නැති කතා කියන්නේ එබැවිනි.

වත්මන් මැතිවරණ කොමිසමටද එකසේ වලංගු මා ඉදිරිපත් කළ චෝදනාවට පදනම වන්නේ එදා මා මැතිවරණ කොමිසමේ සභාපතිට යොමු කළ ඉහතින් සඳහන් ලිපියෙන් ඇසූ සහ පැහැදිලි කළ අයුරු, (උපුටා ගැනීමේ ආරම්භය) තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූයේ යැයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ සාමාජිකයෙකුද ඉන්නා ජාතික මැතිවරණ කොමිසම අවුරුද්දකුත් මාස 03 ක පමණ කාලයක් පළාත් සභා 03 ක ජනතාවගේ එම මූලික අයිතිය උල්ලංඝණය කිරීම කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි මම අසමි. එය ඉදිරියට තව කෙතරම් කාලයක උල්ලංඝණය කිරීමක් වේදැයි ඔබට කිව හැකිද? මේ අතර, තවත් පළාත් සභා 03 ක් ඉකුත් ඔක්තෝම්බරය අවසානයේ සිට විසුරුවා හැරුණි. දැන් පළාත් සභා බල ප්‍රදේශ 09 න් 06 ක ජනතාවගේ පරමාධිපත්‍ය, මැතිවරණ කොමිසමේ අක්‍රීයත්වයද හේතුවෙන් අහෝසිවී ඇත.

එවැනි තත්ත්වයක ඔබ විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී හමුවේදී දැක්වූ අදහස් සහමුලින් වැරදි යැයිද එය සියල්ලන් දැනුවත්ව නොමග හැරීමක් යැයිද කිව යුතුය. කිසියම් නීතියක් සංශෝධනය කිරීමේදී හෝ එය වෙනත් නීතියකින් අක්‍රීය කිරීමකදී හෝ ආදේශ කිරීමකදී පවතිනා නීතිය අහෝසි වන්නේ අලුත් නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කළ පමණින්ම නොවන බැව් ඔබ හොඳින් දන්නා කරුණක් යැයි මම විශ්වාස කරමි. එසේ වන්නේ අලුත් නීතිය බලාත්මක වූ මොහොතේ සිට පමණකි. එක් නීතියක් පළමුව අහෝසිකර, ඉන් පසුව කෙදිනක හෝ වෙනත් නීතියක් ඒ වෙනුවෙන් සම්මතකර ක්‍රියාවට නැගීමේ සම්ප්‍රදායක් ඇත්තේ නැත. එබැවින් මැතිවරණ නීතියක් නොමැති ගන්ධබ්භ යුගයක් තිබිය නොහැක. (උපුටා ගැනීමේ අවසානය)

ඒ අනුව අදටත් මගේ චෝදනාව වන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු දෙස බලා සිටිමින් පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් එහි කවදා හෝ තීන්දු ගන්නා තෙක් මැතිවරණ කොමිසම කල් මැරීම, ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට හවුල් වීමක්ය යන්න ය. කවර ආණ්ඩුවක් වූවත් පාර්ලිමේන්තුවෙහි නීති සම්පාදනය කර, ඒ නීති රෙගුලාසි බලාත්මක කෙරෙන තෙක් රටේ අනෙක් කටයුතු නතර කර තැබීමට රජයේ හා මහජන අවශ්‍යතා වෙනුවෙන් ස්ථාපිත කෙරෙන ජාතික ආයතන වලට අයිතියක් හෝ බලයක් නැත. එම නීති පූර්ණ ලෙස බලාත්මක කෙරෙන තෙක් පවතින නීති හා රෙගුලාසි ඒවා සතු අඩු ලුහුඬුකම් ඇතිව හෝ ක්‍රියාත්මක විය යුතුය. නීතියේ වෙනසක් හෝ අලුත් නීතියක් බලාත්මක කෙරෙන තුරු අනීතික ගන්ධබ්භ කාලයක් නොපැවතිය යුතු හෙයිනි.

එය පළාත් සභා මැතිවරණ හා සැළකූ විට, 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත 2017 සැප්තැම්බර 22 වන දින පාර්ලිමේන්තුවේ සම්මත කළ පමණින් බලාත්මක නොවුනු නීතියකි. එය බලාත්මක වන්නට, එකී පනතට අනුව තවත් අනිවාර්ය පියවර කිහිපයක්ම පාර්ලිමේන්තුවෙහි ගත යුතුය. ඒ අනුව පනත සම්මත කළ දින සිට සති 02 ක් ඇතුළත ජනාධිපති විසින් මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ කොමිසමක් පත් කළ යුතුය. එම කොමිසම මාස 04 ක් ඇතුළත ඔවුන්ගේ සම්පූර්ණ වාර්තාව අදාල ඇමතිවරයාට බාර දිය යුතුය. ඇමතිවරයා එම වාර්තාව දෙසතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එම සීමා නිර්ණ වාර්තාව සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයකින් පමණි. එසේ නොවුනහොත් එම වාර්තාව අලුතින් නිරීක්ෂණයකර ජනාධිපති වෙත තෙමසක් ඇතුළත වාර්තාවක් බාර දීම සඳහා කතානායක විසින් අගමැතිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ යුතුය. එම කමිටුවේ නිර්දේශ සමගින් ජනාධිපති විසින් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයකින් 2017 අංක 17 දරණ පළාත් සභා (සංශෝධන) පනත බලාත්මක කෙරෙන්නේය.

ඒ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය පාර්ලිමේන්තුව මගින් සම්පූර්ණ කර නැත. සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ 2/3 ක වැඩි ඡන්දයකින් සම්මත වූයේ නැත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අදාල නිරීක්ෂණ කමිටුව කතානායක විසින් පත් කරනු ලැබූයේ 2018 අගෝස්තු මස අග දිනෙකය. එම කමිටුවේ නිරීක්ෂණ වාර්තාව ජනාධිපති වෙත බාර දිය යුතුව තිබූයේ නොවැම්බර අවසානයට පෙර ය. එහෙත් අගමැති වික්‍රමසිංහ විසින් ඔහුගේ කමිටුවේ නිරීක්ෂණ වාර්තාවක් ජනාධිපති වෙත ඒ කාලය තුල බාර දී නැත. එබැවින් 2017 අංක 17 දරණ පළාත් සභා (සංශෝධන) පනත තවමත් බලාත්මක නොවන්නකි. ඒ ව්‍යවස්ථාමය හේතු මත ක්‍රියාත්මකව පවතින්නේ 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත ය.

එනිසා පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ කිසිදු නීතිමය බාධාවක් කොමිසමට ඇත්තේ නැත. එය මැතිවරණ කොමිසම නොදන්නේ යැයි මම විශ්වාස නොකරමි. නොදන්නේ නම් ඔවුන් කළ යුත්තේ අර්ථකතන ආඥා පනතේ 6(2) වගන්තිය කියවා බැලීම පමණි.

නව සංශෝධන පනත නිශ්ක්‍රීයව පවතින තාක් කල් 1988 අංක 02 දරණ පළාත් සභා මැතිවරණ පනත ක්‍රියාත්මකව පවතින බව එදා දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පැවති මැතිවරණ කොමිසම වගේම දැන් පුංචිහේවාගේ සභාපතිත්වයෙන් ඇති මැතිවරණ කොමිසම කියන්නේද නැත. ඒ නෛතික කාරණාව පිළිගතහොත් ඔවුන්ට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදුවන්නේය. ඒ සඳහා කිසිවකුගෙන් අවසර අවශ්‍ය නැති බව ඔවුහු දනිති. ඔවුන්ගේ දේශපාලන බැඳීම් සමග ඔවුන්ට එවැනි ස්වාධීනත්වයක් අවශ්‍ය නොවේ. එනිසා මේ ව්‍යවස්ථාමය අවසරය නොපිළිගැනීමෙන් ඔවුහු ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු 05 ක පමණ කාලයක් පුරා උල්ලංඝණය කිරීමට හවුල්වී ඇත්තාහ. මේවා ස්වාධීන කොමිසම් නොවන බවට හොඳම සහ ඉතාම වලංගු සාක්ෂිය එය ය.

එහි ඊළඟ ප්‍රතිපලය විය හැක්කේ පළාත් පාලන ආයතන සඳහා ලබන වසරේ මාර්තු වන විට පැවැත්විය යුතු මැතිවරණ නොපැවැත්වීමටද එවැනිම නීතිමය වංගුවක් ගැසීමට බෙහෙවින් ඉඩ තිබීමය. පවතින පළාත් පාලන ආයතවල සංයුතිය වලංගු නොවන්නකැයි එය වෙනස් කිරීම වෙනුවෙන් ලබන ජනවාරියේ පාර්ලිමේන්තුවට සංශෝධනයක් දෙකක් ඉදිරිපත් කෙරුණහොත් කිසිවකු පුදුම නොවිය යුතුය.

මැතිවරණ නොපැවැත්වීමට ප්‍රධාන පක්ෂ සතු එකම කාරණාව නම්, ඔවුන්ට තවමත් ජනතාව හමුවට යාමට ඇති නොහැකියාව ය. පොහොට්ටුව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාර නියමුවා ලෙස සැළකෙණ බැසිල් රාජපක්ෂ යළි පැමිණියත් ඔවුන් පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණ පිළිබඳව කිසිවක් නිශ්චිතව නොකියන්නේත් මැතිවරණ කොමිසම ඒ ගැන කිසිත් පැහැදිලිව නොකියන්නේත් ඒ දෙපාර්ශවය අතර ඇති දේශපාලන අවබෝධය හේතුවෙන් ය.

ජනාධිපති වික්‍රමසිංහටද මේ මොහොතේ මැතිවරණ අවශ්‍ය නොවන්නේ ඔහු ආර්ථිකය ගොඩ දමා මැතිවරණ ජය ගැනීමට හැකි යැයි සිහින දකින හෙයිනි. ඔහු සිතා සිටින ආර්ථිකයෙන් කිසිවකු ගොඩ දැමිය හැකි නම් ඒ ජාවාරම්කාර පැලැන්තිය පමණි. එබැවින් ඉදිරියේ රටේ ජනතාවටද මැතිවරණ පැත්තකින් තබා, ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික කාරණා ඉල්ලා ගැනීම වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් ගැන සිතන්නට සිදුවනු ඇත.

කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී/ දේශපාලන විශ්ලේෂක