counter hit xanga
March 28, 2023

වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි!

Last Updated on December 5, 2022 by Desman Chathuranga

කඩිනමින් මහ මැතිවරණය පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් අවධාරණය කරනවා.ඉන්දියාවේ Frontline සඟරාව සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආර්.සම්බන්ධන් සදහන් කළේ පවතින තත්ත්වය තුළ මහමැතිවරණය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, ඒ හරහා ආණ්ඩුව පිහිටුවිය යුත්තේ කවුරුන්ද යන්න ජනතාව තීරණය කරනු ඇති බවයි.

රට නොමනා ලෙස කළමනාකරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එම විරෝධතා හේතුවෙන් තවදුරටත් ධුරයේ සිටීමට නොහැකි වූ නමුත් අවාසනාවන්ත ලෙස රනිල් වික්‍රමසිංහ පෞද්ගලික හේතුවක් මත රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලංකාවේ ආණ්ඩුවක් තියෙනවද ඒ ආණ්ඩුව මොකක්ද? කා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ කවුද? ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද? යන ප්‍රශ්න ජනතාව තුල මතුව තිබේන බවද TNA නායකයා පෙන්වා දෙනවා.

පවතින තත්ත්වය තවදුරටත් පැවතියහොත් රට වඩාත් නරක තත්ත්වයකට පත්වනු ඇති බව ප්‍රකාශ කළ දෙමළ ජාතික සන්ධානයේ නායකයා මුළු රටටම එරෙහි පක්ෂයක් තවදුරටත් පාලනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටි.

“මම හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුගමනය කරන ප්‍රතිපත්තිම තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අනුගමනය කරන්නේ.”

ආර්ථික කඩාවැටීම කිසිදු සංවේදී ආකාරයකින් විසඳනු ඇතැයි තමන් විශ්වාසය නොකරන බවත් ආණ්ඩුව ඇපයක් සඳහා IMF වෙත ගොස් ඇතත් මෙතෙක් IMF කිසිවක් පවසා නැති බවද ඔහු අවධාරණය කරනවා.

“දෙමළ දේශපාලන අභිලාෂයන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම මිරිඟුවක්”

“දෙමළ දේශපාලන අභිලාෂයන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම මිරිඟුවක් බවට වේගයෙන් පෙරළෙන සිහිනයක් වී තිබෙනවා. දෙමළ ජනතාවට කිසිම වාසියක් අපි දකින්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, උතුරේ සහ නැඟෙනහිර ජනවිකාශනය හා සංස්කෘතික වෙනස්කම් නිසා ඔවුන්ට සියල්ල අහිමි වෙලා තිබෙනවා. දෙමළ දේශපාලන පක්ෂවලට එතරම් ඉදිරි ගමනක් යාමට නොහැකි වීතිබෙනවා.

දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීම [ශ්‍රී ලංකාව] නිදහස ලැබූ දා සිට විශාල ප්‍රශ්නයක්. දෙමළ ජනතාව නිදහසට සහාය දුන්නා. නමුත් පුරවැසි නීතිය සහ නැගෙනහිර සහ උතුරේ විශාල වශයෙන් සිංහලයන් නැවත පදිංචි කිරීමෙන් පසු ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කිරීමට ඔවුන්ට සිදු වුණා. මෙමගින් එම ප්‍රදේශවල ජන සංයුතිය පවා වෙනස් වුණා.

දෙමළ ජනතාව එම ප්‍රදේශවලට ස්වයං පාලනයක් සහ බලය බෙදීමක් ඉල්ලා සිටියා. මෙය [1957] බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ සහ [1987] ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමේ පදනම විය. දෙමල ජනයාගේ අනන්‍යතාවය, භූමිය සහ ස්වයං නිර්ණය හෝ ඔවුන්ගේ ඉරණම තීරණය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් විධිවිධාන දෙකම අඩංගු විය. අවාසනාවකට ශ්‍රී ලංකා රජය ගිවිසුම් කඩ කළා.

සිංහල දේශපාලනඥයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද, ඔවුන් මූලික වශයෙන් සැලකිලිමත් වන්නේ දෙමළ විරෝධී ස්ථාවරයක් මත සිංහල ජනතාවගේ සහාය ලබා ගැනීමයි. මෙය දිගටම පවතින තාක් කල් කිසිවක් කළ නොහැක. ශ්‍රී ලංකාව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සහ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පාර්ශවකරුවෙකි. මෙම ගිවිසුම් දෙකම ජනතාවට ස්වයං නිර්ණ අයිතිය ලබා දෙයි.

අපි කැමති නැහැ රට කිසිම ආකාරයකින් කැඩෙනවාට. අපි නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒත් එක්කම මෙහෙම යන්න බෑ. ප්‍රශ්නය හොඳින් දන්නා ජාත්‍යන්තර ප්‍රජාවට ළංවීම හැර වෙනත් විකල්පයක් අපට නැත. උතුර සහ නැඟෙනහිර සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඉන්දියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ යුතුකම වන්නේ පෙරමුණ ගෙන උතුරේ සහ නැගෙනහිර විධිවිධානයක් සඳහා තල්ලු කිරීමයි.

ශ්‍රී ලංකා රජය දේශපාලන ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ නැත. එක් පැත්තකින් නැවත පදිංචි කිරීම් මගින් උතුරේ සහ නැඟෙනහිර සිංහල ජනගහනය වැඩි කරන අතර අනෙක් පැත්තෙන් ප්‍රචණ්ඩත්වය සහ අස්ථාවර දේශපාලන තත්ත්වය හේතුවෙන් දෙමළ ජනතාව රටෙන් පලා යමින් සිටිනවා. මෙහෙම ගියොත් මිනිස්සුන්ට තමන්ගේ අනන්‍යතාවය, ආත්ම ගරුත්වය, ගරුත්වය තියාගන්න බැරි වෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව එයට ඉඩ දිය යුතු නෑ. එය ලෝකයට නරක ආදර්ශයක්. ඔවුන්ට කලාපයේ සාමය, මේ රටේ සාමය අවශ්‍ය නම් මේ ප්‍රශ්නය විසඳිය යුතුයි.” වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.