counter hit xanga
March 28, 2023

ප්‍රචණ්ඩත්වයට අතවනන්නේ මාමගේ අඩිපාරේ යන රනිල්!

Last Updated on October 17, 2022 by Desman Chathuranga

ඉතිහාසයේ අන්කවරදාකටත් වඩා ජනබලවේගය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වී ඇති බවත්, ජනබලවේගයේ කිසිවෙකු පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනය නොකරන බවත් ජාතික ජන බලවේගයේ නායක, අනුර දිසානායක  සඳහන් කළා.

ඊයේ (15)  ජාතික ජන බලවේගයේ කැස්බෑව ආසන සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවරයා,

” අපේ රටේ දීර්ඝ කාලයක් විවිධාකාරයේ දේශපාලන වෙනස්කම් සිදු කිරීමට ජනතාව මැදිහත් වුණේ යහපත් බලාපොරොත්තුවලින්. අපේ ප්‍රශ්න විසඳාගන්න ආණ්ඩුවක් පිහිටුවා ගත් බවට සතුටු වුණා. නමුත්, කෙටි කාලයකින්ම අපේක්‍ෂා භංගත්වයට පත් වුණා. මෙහෙම වුණේ ඇයි? ජනතාවගේ අපේක්‍ෂා සහ බලාපොරොත්තුවලට වඩා වෙනස් අපේක්‍ෂාවන් පාලකයන්ට තිබුණු නිසයි. ජනතාව නැවත නැවත රැවටීමට පත් වුණේ මේ තත්වය යටතේ.

රැවටීමට ලක්වුණු මේ තත්වය තීරණාත්මක ලෙස අපි වෙනස් කළ යුතුයි. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නේ ඒ කාර්ය අනිවාර්යයෙන්ම ඉටු කිරීමේ අරමුණින්. ලංකාව දුප්පත් රටක් හැටියට අනුමත කරන්න කැබිනට් පත්‍රිකා දානවා. දරුවන් පාසල් යන සංඛ්‍යාව අඩුවී තිබෙනවා. පාසල් දරුවන් ක්ලාන්තයෙන් ඇදවැටෙනවා. රෝහල්වල බෙහෙත් නැහැ. රෝගීන් මිය යනවා. කර්මාන්ත කඩාවැටෙනවා. මේ වාගේ දුක් දොම්නසයන් තවත් රටට අවශ්‍යයිද? අපත්, අපේ දරුවනුත් මේ ඛේදවාචකයේ ගොදුරු බවට පත් වී අවසන්. මේ තත්වය වෙනස් කිරීමට බල කෙරෙන අත්දැකීම් ඕනෑ තරම් අපට තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට රට දාලා යන්න සිද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂට අරලියගහ මන්දිරයෙන් හොර රහසේ ගිහින්, නාවික හමුදා කඳවුරක ඉන්න සිදු වුණා. බැසිල් රාජපක්‍ෂට රට යන්න ෆ්ලයිට් එකක් හොයා ගන්න බැරි වුණා. මහා ගල් පර්වතයක් වාගේ තිබෙන බව කියූ කඳවුර අපේ ඇස් ඉදිරිපිට බිඳවැටී තිබෙනවා. එහෙම නම්, බලය තිබෙන්නේ ජනතාව හමුවේ බව පැහැදිලියි. නමුත්, මේ ජනතාව නිවැරැදි ලෙස සංවිධානය වී නැහැ. ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවන්නේ ඒ ජනතාව සංවිධානය කරමින්. කොට්ඨාස සභාවලට ප්‍රධාන කරුණු තුනක් පැවරී තිබෙනවා. නැවතත් ජනතා නැඟිටීමක දී, එය ජාතික ජන බලවේගය යටතේ සිදු විය යුතුයි. නැත්නම්, ජනතා නැඟිටීම අපතේ යනවා. ඒ වාගේම ගම් මට්ටමින් ජනතාව සංවිධානය කිරීමේ වගකීම අපි මත පැවරී තිබෙනවා. රට බංකොළොත් වී තිබෙන තත්වය හමුවේ ජනතාව රැකගැනීමත් ඒ අතර තිබෙන මූලික කාර්යයක්. රටේ නිෂ්පාදනය කඩාවැටී, උද්ධමනය විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. රැකියා අහිමි වෙමින් තිබෙනවා. මාසික වැටුප් ලබන ජනතාවට ගත් ණය ගෙවා ගන්න බැහැ. මේ පීඩනයට එරෙහිව ජනතාව නැඟිටිනවා. එවැනි නැඟිටීමක් ප්‍රචණ්ඩකාරීත්වයට තල්ලු කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ නිසා ඉතා හොඳින් සංවිධානාත්මකව නැඟීසිටින ජන කණ්ඩායම්වලට අපේ කොට්ඨාස සභාව නායකත්වය ලබාදීම කළ යුතුයි. සතුරාට වාසිසහගත කිසිම දෙයක් නොකරන ආකාරයට සංවිධානාත්මක නායකත්වය දෙන්න කොට්ඨාස සභාව ක්‍රියා කළ යුතුයි.

ජාතික ජන බලවේගය බලය ලබාගැනීම සඳහා ඡන්දවලට සූදානම් වෙනවා. නමුත්, ආණ්ඩුව ඡන්දවලට බයයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මැතිවරණයකින් අත්පත් කර ගන්නා පරාජය හමුවේ තව දුරටත් ජනාධිපති පුටුවේ ඉන්න බැහැ. ඒ වාගේම ඡන්දයෙන් පත් කර ගත් මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව විසින් පලවාහැරියා. එහෙම නම්, වර්තමාන ආණ්ඩුවටත් ජනවරමක් නැහැ. නමුත්, ඔවුන් ඡන්දයකට යන්නෙත් නැහැ. ඡන්දයකට ගියොත්, ඔවුනට ලැබුණු ලක්‍ෂ හැටනවයක ජනවරම දැන් තිබෙන්නේ කොතැනද කියලා පැහැදිලි වෙනවා. රනිල්ටත්, රාජපක්‍ෂලාටත් එකට එකතු වී ඡන්දයකට යන්න බැහැ. ගම් මට්ටමේදී මේ දෙගොල්ලෝ එකතු කරන්න බැහැ. මේ වාගේ තත්වයක් තුළ ඡන්ද කල් දාන්න දෙගොල්ලොම කැමැතියි.

බලයක් නැති ආණ්ඩුව ඡන්ද කල් දාන්න නොයෙක් අටමගල් අටවමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවලට විශේෂ වගකීමක් අරගෙන සටනට සූදානම් වෙනවා වාගේම ඡන්දයට සූදානම් වෙන්නත් ඕනෑ. නමුත්, මේ රට ගොඩනඟන්න එකිනෙකා හඹා ගොස් පරාජය කිරීමේ මනෝභාවය වෙනුවට රට ගොඩනැඟීමේ සාමුහික හැඟීමකින් එකතු වෙන්න ඕනෑ. අනෙකාගේ වේදනාව මගේ වේදනාව බවට පත් වෙන්නේ කොහොමද කියන සාමුහික හැඟීමක් අපට අවශ්‍යයි. එසේ නැතිව උඩින් ආණ්ඩුවක් අටවා ගත් පමණින් රටක් හදන්න බැහැ. සමාජයේ පරිවර්තනයක් අවශ්‍යයි.

රටකට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් මේ රටට අත් කර දී අවසන්. රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලයට ගිහින් කියලා තිබුණේ, එදා ටැංකි ටික විකිණුවා නම්, අද තෙල් තියෙනවා කියලා. අපේ රටට තෙල් නැති වුණේ, ටැංකි නිසා නොවෙයි, ඩොලර් නැති නිසා. අයි.ඕ.සී. සමාගමට ටැංකි අටක් දීලා තියෙන්නේ. ඒ ටැංකි අට පුරවලා තිබුණෙත් නැහැ. අවශ්‍ය වී තිබෙන්නේ මේ රට ගොඩනැඟීම සඳහා නව ආර්ථික සැලැස්මක්, දේශපාලන පරිවර්තනයක් සහ ඒ වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ සූදානමක්. ගල් අඟුරු ගෙන්වීමෙන් ඩොලර් මිලියන පන්සියයකට වඩා අහිමිවී ඇති බව විගණකාධිපති වාර්තාවෙන් හෙළිවී තිබෙනවා. පොහොර ගෙන්වීමේදී ඩොලර් මිලියන අටක් අහිමිවී ඇති බවත්, තෙල් ගෙන්වීම, පොහොර ගෙන්වීම, සීනි ගෙන්වීම වාගේ සියලු ක්‍ෂේත්‍රවල සිදු කර තිබෙන මූල්‍ය අපරාධ ගැන විගණකාධිපති වාර්තාවලින් හෙළි වෙනවා. මේවාට වගකිව යුත්තන් එක්ක රටක් හදන්න බැහැ.

ගීතයක් රසවිඳින, පොතක් පතක් කියවන, චිත්‍රපටියක් බලන, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන හිතන සාමුහික සංස්කෘතියක් ගොඩනැඟිය යුතුයි. එවැනි ජනතාවක් සහිත කොට්ඨාස සභාවක මූලික කාර්යභාරයන් තුනක් තිබෙනවා. ජනතාවගේ නැඟිටීමට නායකත්වය දීම. එළැඹෙන ඡන්දයේදී කොට්ඨාසය ජයග්‍රහණය කරවීම සහ කොට්ඨාසය තුළ ජනතාවගේ පරිවර්තනයක් ඇති කිරීම සඳහා සිදු කරන සාකච්ඡාවක් ගෙන යාම ඒ කාර්යභාරයන් තුනයි. මේ කටයුතු සාර්ථක ලෙස කළහොත්, අපට ජයග්‍රහණය ලබන්න පුළුවන්.

අපි කිසි කෙනෙක් ආණ්ඩු ගන්නේ කාලය ගෙවන්න නොවෙයි. රට හදන්න. මේ ගොල්ලෝ එකිනෙකා ආරක්‍ෂා කරමින්, දූෂිතයන් රකිනවා. නමුත් අපි මේ දූෂිතයන්ට දඬුවම්දී, ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු අය කර ගන්නවා. රාජ්‍ය ආයතන විශාල පාඩුවක් සහිතව පැවැතීම රජයට බරක් බවට අද විශාල සාකච්ඡාවක් තිබෙනවා. ඒ ආයතනවලට දේශපාලන පත්වීම් මත සේවකයන් පුරවා, රාජ්‍ය ආයතන කඩාවැට්ටුවා. ආර්ථිකයේ නව අවස්ථා නිර්මාණය කර නව ව්‍යවසායකයන් හඳුන්වාදී, රැකියා උත්පාදනය කරනවා වෙනුවට ඡන්දය බලාගෙන රාජ්‍ය ආයතනවල රස්සා ලබා දුන්නා. නමුත්, ජාතික ජන බලවේගය පුරප්පාඩු නැති කිසිම ආයතනයකට රැකියා ලබා දෙන්නේ නැහැ. සංචාරක ක්‍ෂේත්‍රය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රය, නාවික ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් ආර්ථිකයේ ප්‍රමුඛතම අංශ හැටියට සංවර්ධනය කරනවා. අපේ පාලනයක් යටතේ රැකියා ලබා දෙන්නේ මේ විදියට ආර්ථිකය ප්‍රසාරණය කිරීමෙන්.

මේ දක්වා පාලකයන් කළේ රට පස්සට ගෙන යන ආර්ථික ක්‍රමයක් අනුගමනය කිරීමයි. අපි රට ඉදිරියට ගෙන යන ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කරනවා. අලුත් තරුණ පරම්පරාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම අපේ මූලික කාර්යභාරයක්. වර්තමාන තරුණයන් උදේ අටේ සිට සවස පහ දක්වා රැකියා කරනවාට වඩා නිදහස් අවස්ථා ගැන සිතනවා. ඒ අය වෙනුවෙන් දිරිගැන්වීම් සහිත සංයුක්ත, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් අපි ගොඩනඟනවා. සුද්දා ගිහින් අවුරුදු හැත්තෑහතරකට වැඩි වුණත්, තාමත් ගෙන යන්නේ සුද්දා හඳුන්වා දුන් රාජ්‍ය සේවයයි. නමුත්, එය කාර්යක්‍ෂම ජනතා සේවයක් බවට අපි පරිවර්තනය කරනවා.

අධ්‍යාපනය ලබන තරුණ දරු දැරියන් රැකියාවක නිරත වන එක අද ලෝකයේ සිදුවෙන දෙයක්. නමුත්, අපේ රටේ තිබෙන්නේ පොළොන්නරුවේ ඉගෙන ගන්නා දරුවා රස්සාවක් වෙනුවෙන් කොළඹ දිහා බලාගෙන සිටීමයි. නමුත්, නව නිපැයුම් ආර්ථිකයක් මඟින් ඒ දරු දැරියන්ට පොළොන්නරුව ප්‍රදේශය තුළම රැකී රක්‍ෂා ලබාදිය යුතුයි. ආර්ථික වර්ධනයත්, ආර්ථික සංවර්ධනයත් ඇති වෙන්නේ මේ ආකාරයට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරමින්, ලෝකයේ නව වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමෙන් පමණයි.

මේ රට ගොඩනැඟිය හැකි අදූෂිත, අවංකභාවයෙන් යුක්ත කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. ආර්ථිකය ගොඩනැංවීමේ කාර්යය වෙනුවෙන් අපි ආර්ථික කවුන්සිලයක් පිහිටුවා තිබෙනවා. මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, ආචාර්ය ශාන්ත ජයරත්න, මහාචාර්ය දයානන්ද සහ අපේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මේ කවුන්සිලයේ ක්‍රියා කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ක්‍ෂේත්‍රය චතුරංග අබේසිංහ සහෝදරයාගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙනවා. අපේ ආරක්‍ෂක කවුන්සිලය ගැන සමහර අය අහනවා. හිටපු ජෙනරල්ලාගෙන් සමන්විත ආරක්‍ෂක කවුන්සිලයක් අපි මේ තිස්වැනිදා පිහිටුවනවා. ඒ වාගේම විදේශ සබඳතාවන් ගැනත් අපි මූලිකවම අවධානය යොමු කර තිබෙනවා. ලෝකයේ අප ගැන අද තියෙන්නේ, ඉතාමත් කැත ප්‍රතිරූපයක්. අපට අහිමි වී තිබෙන ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉතා ශක්තිමත් ලෙස ලෝකය ඉදිරියේ බබළවන විදේශ ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා.

ප්‍රසන්න රණතුංග ගැන අන්තර්ජාලයේ හොයල බැලුවොත් එන්නේ අධිකරණයෙන් කෝටි දෙකහමාරක දඩයක් ගහපු කප්පම්කාරයෙක් කියලා. චොකා මල්ලි ගැන හෙව්වොත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුන කෙනෙක්. මහින්ද රාජපක්‍ෂගේ නම අන්තර්ජාලයේ ගහපුවාම ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් පතෙන් හෙළි කළ චීන සමාගමකින් පගා ගත්තා කියන තොරතුර එළියට එනවා. නාමල්ගේ නම ගහපුවාම ‘ක්‍රිස් ගනුදෙනුව’ ගැන ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් හෙළි කළ අල්ලස් දීම් ගැන තොරතුරු වැළක් එළියට එනවා. ලෝකය ඉස්සරහා රටේ නම කළු කළ මේ අයට රට ගොඩනඟන්න බැහැ. මානව හිමිකම්, නීතිය, ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, වැඩිහිටියන්ගේ ආරක්‍ෂාව වාගේ ලෝකය පිළිගන්නා නිර්ණායක තිබෙනවා. මේවාට අනුව අපේ සමාජය දියුණු කරන්න ඕනෑ. සමාජ ආරක්‍ෂාව සහිත රාජ්‍යයක් ගොඩනඟන්න ඕනෑ. එවැනි රාජ්‍යයකට තමයි, සංචාරක ව්‍යාපාරය දියුණු කළ හැකි වන්නේ. විදේශ ආයෝජන ගේන්නේ ඒ වාගේ රටකට. ඒ වෙනුවෙන් අවංක, අදූෂිත කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ ඉන්නවා.

ජාතික ජන බලවේගයේ වගකීම් දරන්න තේරී පත් වුණු කිසි කෙනෙක් තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගන්න ආව අය නෙවෙයි. වෙනදාට වඩා වැඩියෙන් අප දිහා බලන්න, කැමැත්තක් දක්වන ජනතාවක් අද ඉන්නවා. ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගනිමින්, එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී විශාල ජයග්‍රහණයක් ලබා ගත යුතුයි. ඊළඟ මහා මැතිවරණයේ දී අපේ ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ සංඥාව ඒ පළාත් පාලන මැතිවරණයෙන් ලබා දිය යුතුයි. පළාත් පාලන ඡන්දයෙන් ඒ සංඥාව හරියට ලබා දුනහොත්, ඉතා කෙටි කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම මහා මැතිවරණයෙන් අපට බලය ගන්න පුළුවන්. අපි මේ වැඩේට අතගැහුවේ, භාග ජයග්‍රහණ ලබාගන්න නොවෙයි. මේ රට ඛේදවාචකයකට හෙලපු මේ තත්වයෙන් ගොඩ ගන්න වෙන කිසිවකුට බැහැ. නාමල්ගේ මාමාගේ හෝටලයේ එක රැයක කාමරකුළිය ‘එයාර් ලංකා’ සමාගමේ ගුවන් ටිකට් එකකට වඩා කීප ගුණයක්. ගුවන් යානයක් ප්‍රමාද වුනාම කාමරයක් දෙන්නේ නාමල්ගේ මාමාගේ හෝටලයේ. මේ විදියට තමයි බිස්නස් එක යන්නේ. එහෙම අයට මේ රට ගොඩ ගන්න පුළුවන්ද?

ඇමැතිවරුන් නොගෙවූ ලයිට් බිල් ගැන මේ දවස්වල කතාබහක් ඇති වෙලා. ඇමැතිවරුන්ගේ නිල නිවාසවල බිල් අමාත්‍යාංශයෙන් ගෙවනවා. එහෙම නම්, හිඟ තියෙන්නේ කොහොමද? සමහරුන්ගේ ඇමැතිකම නැති වුණාමත් නිල නිවාසයේ පදිංචි වෙලා ඉන්නවා. නමුත් බිල් අමාත්‍යාංශයෙන් ගෙවන්නේ නැහැ. එතකොට තමයි හිගය ඇතිවෙන්නේ. ලයිට් බිල් නොගෙවනවා විතරක් නොවෙයි, මේ ගොල්ලෝ නිල නිවාසවල ඉන්නෙත් බලයෙන්. සමහර අය ඇමැති ධුර ගන්නේ ඇමැති නිල නිවාසවල ඉන්න බලාගෙනමයි. නාමල් රාජපක්‍ෂ පෙකිණිවැල කපපු දවසේ ඉඳල ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ගෙවල්වල. මහින්ද, ගෝටා දැන් ඉන්නේ ආණ්ඩුවේ ගෙවල්වල.

ගල් අඟුරු ගේන්න, ගෑස් ගේන්න මේ අසීරුම අවස්ථාවේ ලබා දෙන ආධාරවලින් පවා ගහනවා. මොන පාලකයොද මේ. ඒ නිසා මොවුන්ගෙන් අපේ රටට හෝ අපේ දරුවන්ට හෝ කිසිදු අනාගතයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දුර්දාන්ත කණ්ඩායම පරාජයට පත් කොට ජාතික ජන බලවේගයේ පාලනයක් ස්ථාපනය කිරීමට අපි හැම දෙනාම පෙළගැසෙමු කියා ඉල්ලා සිටිනවා.”