counter hit xanga
March 26, 2023

බංකොලොත් රටක – හමුදාකරණ ව්‍යාපෘති කුමක් සඳහා ද?

Last Updated on October 10, 2022 by Desman Chathuranga

රට මුහුණ දී සිටින්නේ අති දැවැන්ත ආර්ථික අර්බුදයකට ය. අර්බුදයක් කියනවාට වඩා රට බංකොලොත් වී ඇති බව කීම වඩා සත්‍යයට කිට්ටු ය. පෙර නොවූ විරූ තරම් දරුණු වූ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට ගුණාත්මකව වෙනස් වීමෙන් පසු ජනතා ඡන්දයෙන් ජනාධිපති බවට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් එළවා දමනු ලැබීය. ඔහුගෙන් පසුව වංචක ලෙසින් ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ සිය පාලනය ගෙන යනු ලබන්නේ ම මර්දනය ඉදිරියෙන් තබාගෙන ය. සිය ධුරය ලබා ගැනීමට පවා අනියමින් ඉවහල් වූ ජනතා ව්‍යාපාරය සහ ක්‍රියාධරයන් බරපතළ ලෙස මර්දනය කරන්නේ නිර්ලජ්ජිතව ය. ජනතාව දෛනික ආහාර වේල් තුනක් වත් ලබා ගැනීමට නොහැකිව සිටිද්දී, දරුවන් මන්දපෝෂණයට ඇද වැටෙමින් තිබෙද්දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුදා වෙනුවෙන් අතිවිශාල වියදමක් දරමින් සිටියි. දකුණේ වීදි පුරා හමුදා සොල්දාදුවන් ස්ථානගත කර තිබෙයි. රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂවරු ප්‍රමුඛ නඩය ප්‍රශ්නයට විසඳුම ලෙස මර්දනය විශ්වාස කරමින් කටයුතු කරන බව පැහැදිලි ය.

ස්වකීය පැවැත්ම වෙනුවෙන් මෙරට වාර්ගික අර්බුදයක් නිර්මාණය කළ ධනේශ්වරය, වාර්ගික අර්බුදයේ යුදමය පෙරමුණ විනාශ කර දමන්නට ද සිය දහස් ගණන් ජීවිත ද ජනයාගේ මුදල් ද කාබාසීනියා කර දැමූහ. වසර ගණනකට පෙර යුද්ධයේ නාමයෙන් ජනතාව සූරා කෑ මෙරට පාලකයෝ යුධාවසානයෙන් පසු මෙරට සුරපුරයක් වනු ඇතැයි පාරම් බෑහ. නමුත් යුද්ධය අවසාන වී දසකයකට වඩා ගතවූ පසු මෙරට බංකොලොත්ව ගොස් තිබේ. ඒ සියල්ල එසේ සිදුව තිබෙද්දී මර්දන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් යෙදෙන ආරක්ෂක වැය ශීර්ෂය නම් අඩුව නැත. යුද්ධය අවසන්ව ඇති සන්දර්භයක, කන්න නැති බංකොලොත් රටක හමුදා ශක්තිමක් කරමින් යන්නේ කුමක් නිසා දැ යි අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ අතර උතුර ගැන කිව යුතු ය.

හමුදාව හරහා උතුරේ ඉඩම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. මේ කුමක් සඳහා ද? උතුරේ ජනතාවගේ පාරම්පරික ඉඩම් මිලදී ගැනීමට ආණ්ඩුව මහාභාණ්ඩාගාරයේ ඇති ජනතා බදු මුදල් භාවිතා කරන්නේ කුමන සාධාරණීකරණ කොන්දේසියකට යටත් ව ද?

මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටු කෝට්ටෛ දෙමළ ජනයා පාරම්පරිකව දිවි ගෙවූ අක්කර 617ක ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවුක හමුදාව අත්පත් කරගෙන සිටිති. එහි පසුගිය වසර 13 පුරාවටම ගෝඨාභය නාවික හමුදා කඳවුර නම් හමුදා කඳවුරක් පවත්වාගෙන යනු ලබයි. මේ ඉඩම්වල පාරම්පරික හිමිකරුවන්ට වන්දි ලබා දීමට ආණ්ඩුව සූදානම් වෙයි. රට මෙතරම් බංකොලොත්භාවයට වැටී තිබිය දී පවා මෙසේ මුදල් ගෙවමින් උතුරු ජනයාගේ ඉඩම් පැහැර ගන්නට වික්‍රමසිංහ ආණ්ඩුවට ඇති වුවමනාව කුමක් ද? රනිල් ඉස්සරහට දමමින් මේ ගෙනයන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ මිලිටරිකරණ ව්‍යාපෘතිය බවට දැන් සැක නැත. වාර්ගක ප්‍රශ්නයේ විසඳුම පේන තෙක් මානයක නොතිබියදී මෙවන් ක්‍රියාමාර්ග ගැනීම ගැන ජනාධිපතිවරයා ලැජ්ජා විය යුතු ය.

උක්ත ඉඩම් නාවුක හමුදාව සිය බලඇණියේ සදාකාලික බුක්තියට සවි කර ගැනීමට උත්සාහ දැරූ සෑම විටම ඉඩම් හිමි ජනයා සහ ජනතා නියෝජිතයන් වෙතින් එල්ලවූ විරෝධය හමුවේ ව්‍යර්ථ වී ගියේ ය. තමන්ට අයිති ඉඩම් නැවත ලබා දෙන්නැයි ජනයා නිරන්තර උද්ඝෝෂණ පවත්වමින් සිටිති. ඒ අතර 2022 සැප්තැම්බර් 22 වැනි දින හමුදා සහයද සමගින් මේ ඉඩම් මැනීමට පැමිණි මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ජනතා විරෝධය හමුවේ පසුබැස යෑමට ද සිදුව තිබුණි.

මෙම විරෝධයට සම්බන්ධ වූ වයෝවෘද්ධ මාතාවකගේ වචන මෙසේ ය.

”අපියි අපේ දරුවොයි ඉපදුණේ හැදුනේ වැඩුණේ මෙහේ, නාවික හමුදාට හරි වෙන කාටහරි මේ ඉඩම් දෙන්න අපි කැමති නෑ, ළමයි හතරක් හිටියට මම තනියමයි මෙතන තර්ක කරන්නේ. මම දැන් නැවතිලා ඉන්නේ නෑදෑ ගෙදරක. නෑදෑයෝ කියා කොච්චර දවසකට නවාතැන් දෙයිද..? අපේ ළමයින්ට කුලී ගෙවන්න පුළුවන් ද..? සැමියා, ළමයි, දේපළ නැතිවුණ අපිට දැන් හිටපු ඉඩමත් නැති වෙලා දුක් විඳින්න වෙලා”

මර්දනය පිණිස තුවක්කු රැගත් සොල්දාදුවන් දකුණේ ද තැනින් තැන ස්ථානගත කර ඇතත්, උතුරේ ජනයාගේ මේ අතිශය සංවේදී ප්‍රශ්නය සමාන ලෙස ගෙන සිතනු පිණිස තවමත් දකුණේ ජනමනස සූදානම් නැත. වසර 40ක් පුරා මේ හඬක් නැති ජනයාගේ හඬ නෑසෙන පරිදි ජාතිවාදී ව්‍යාපෘතිවලින් දකුණේ ජනතා සවන්පත් වෙත අගුළු දමා ඇති බැවිනි.

-නිවහල්-