counter hit xanga
June 14, 2021

සත පහක් හෝ නොදුන් මැට්ටන්ගේ ඉටුකම අඳෝනාව!

කොවිඩ් මෙරට පැතිරීමත් සමඟම ඒ සඳහා සිදුකරනු ලබන කාර්‍යයන් සඳහා යම් පහසුවක් වීම වෙනුවෙන් කොවිඩ් 19 – සමාජ ආරක්ෂණ අරමුදලක් ” ඉටුකම ” යන නමින් පිහිටවූවා ඔබට මතක නැතුවා වන්නට විය නොහැකිය.ඒ වෙනුවෙන් මෙරට සිටින අනුන්ගේ දුක හඳුනන සියලු මට්ටම්වල ජනතාව සහ ආයතන,එමෙන්ම විදේශවල වෙසෙන්නාවූ දේශහිතෛෂී ලාංකිකයන් තමන් දහඩිය මහන්සියෙන් උපයන ලද මුදලින් කොටසක් නිර්ලෝභීව පරිත්‍යාග කරන ලදී.එලෙස ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන ලද සහ ඉදිරියටත් සිදුකරනු ලබන ජනතාව දිරිමත් කිරීම පිණිස ජනාධිපතිතුමා සහ අගමැතිතුමන් ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමම සිය මාසික වැටුපද මේ වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

මෙකී අරමුදලට දායක වීමට දැඩි ලෙසින්ම විරුද්ධ වූයේ කණ්ඩායම් ද්විතවයක් පමණි.එක් කොටසක් වූයේ විපක්ෂ නායක ප්‍රමුඛ කොටගත් විපක්ෂයේ සියලුම මන්ත්‍රී කණ්ඩායමයි. අනිත් කොටස වූයේ ස්ථිර වැටුපක් ලබන්නාවූ රාජ්‍ය අංශයේ සේවක පිරිසයි.රජයේ සේවකයන්ගේ වැටුපෙන් දිනක වැටුප කැමතිනම් පමණක් පරිත්‍යාග කරන්නැයි ඉල්ලූ විටක ලෝක විනාසය සිදුවූවාක් මෙන් ඔවුන් හැසිරුන ආකාරය කවරෙක්ටවත් අමතක වන්නට ඉඩක් නැත.

( කොයිහැටිවේවා මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කල අවංක රාජ්‍ය නිලධාරීන්ද අනන්තවත් සිටි අතර එවන් උතුම් මනුෂ්‍යයන් කිසිවිටෙකත් මේ විවේචනය අදාල කරගත යුතු නැත.) දැන් එසේ සත පහක් හෝ අරමුදලට ලබාදීමට අකමැති වූ අයවලුන් ඉටුකම අරමුදලේ මුදල් වියදම් වූ ආකාරය ගැන සිය වස්ත්‍රද උනා දමමින් ප්‍රශ්න කරනු දැකගත හැකිය.එසේ තමන් හෙලුවැල්ලෙන් සිට අනිකාගේ අමුඩේට හිනා වෙන්නාවූ පිරිස්වලට දැන ගැනීම පිණිස ඉටුකම අරමුදලේ දැනට පවතින මුදල් ශේෂය සහ එහි මුදල් පාවිච්චි වූ ආකාරය පහත පරිද ගෙනහැර දැක්විය හැකිය.

  • අරමුදලට බැරවූ මුදල – රු.1 752 402793.24
  • අරමුදලේ පවතින ශේෂය – රු. 1 360 922 969.24

අරමුදලේ මුදල් වැය කල ආකාරය
PCR ආශ්‍රිත වියදම් – 42 605 812 .00
දැනුවත් කිරීම් – 67 543 967.00
නිරෝධායන වියදම් – 38 031 065.00
පරිපාලන වියදම් – 3000.00
ගෙවීමට ඇති බැරකම්
එන්නත්කරණය ආශ්‍රිත වියදම් – 41 545 980.00
ගිලන් රථ ගෙන්විම සඳහා වන වියදම් – 194 000 000.00
ICU ඇඳන් සඳහා වන වියදම් – 7,750,000.00
ගෙවා ඇති සහ ගෙවීමට ඇති මුදල් – 391 479 824.000

මේ දමා ඇති කාරණය තේරුම් ගැනීමට නොහැකිව සහ තේරුම් ගියත් සිය සමාජ මාධ්‍ය කුලීකාර භූමිකාව ඉටුකරන සමහරක් බංකොලොත් විපක්ෂ ක්‍රියාකාරීන් මේ සංඛ්‍යාවන් විහිලුවට ලක්කරනු මේ වන විට දැක ගත හැකිය.සමහරක් පිරිස් වෙළඳපොලේ ඇති ටොයෝටා වෑන් රථයක මිල සහ මේ අරමුදලේ ගිලන් රථ 10 ක් සඳහා ගිය මුදල සංසන්දනය කරන ප්‍රමාණයටම මරී මෝල් මැට්ටන් වී ඇත. ඒ මැට්ටන් මෙතෙක් දිනක් සිතා ඇත්තේ ගිලන් රථයක් යනු නිකම්ම නිකම් වෑන් රථයක් ලෙසින් ය.ගිලන් රථයක් යනු එසේ නිකම් නිකම් වෑන් රථයක් නොවේ.එහි විවිධ වූ අංගෝපාංගයන් රාශියක් පවතී.එය එක්තරා අකාරයකට ජංගම රෝහලක් කියා පැවසුවත් වැරදි නැත.එවැනි වැඩි දියුණු කරන ලද රථයක් සහ වෙළඳපොලේ ගිලන් රථයක මිල සංසන්දනය කරන මොවුන් මීට මාසෙකට කලින් අමන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බස් අසා හයිඩ්‍රෝක්ලෝරෝක්වීන් වලට වඩා ප්ලැකනිකල් කොරෝනවලට හොඳ යැයි පැවසුවා අපට මතකය.

එමෙන්ම ලංකාවේ මෙතෙක් සිදුකරනු ලැබූ නිරෝධායන කටයුතුවලින් අතිශය බහුතරයක් සිදුකලේ නොමිලේ බව ප්‍රසිද්ධ කාරණයකි.එසේ මධ්‍යස්ථාන වෙන් කරමින් ඔවුන්ට ආහාර පාන සහ ඖෂධ ආදියද ලබාදෙමින්,එම මධ්‍යස්ථානවල සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් ආදියද සැපයීම වෙනුවෙන් රජය ඉටුකම අරමුදල දායක කොටගෙන ඇත.එන්නත්කරණය ආශ්‍රිත වියදම්,ලෙසින් මෙහි දක්වා ඇත්තේ එන්නත්කරණය කිරීමට අවශ්‍ය කරන්නාවු පරිසරය ඒ සඳහා අවශ්‍ය කරන්නාවූ මූලික අමුද්‍රව්‍ය වෙනුවෙන් වැය කරන ලද මුදල් ප්‍රමාණය මිසක එන්නත් මිලදී ගැනීම වෙනුවෙන් රජය දරණ මුදල් ප්‍රමාණය නොවේ.එසේ එන්නත් මිලදී ගැනීම වෙනුවෙන් රජය වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය මෙම ඉටුකම අරමුදලට බැරවුනු සමස්ත අරමුදල මෙන් කිහිපගුණයක් වේ.

මෙරට සෞඛ්‍ය සේවය යනු නොමිලේ ලබාදෙන්නකි.ඔබ කොරෝනා රෝගියෙක් බවට සැක කරන්නේ නම් නිරෝධායනයේ සිට සිදුකරනු ලබන සෑම PCR පරීක්ෂණයක සිට එන්නත්කරණය දක්වා සියලු දෑ නොමිලේ මස මුදල් මත ලබා නොදේ.(පුද්ගලික රෝහල්වලින් ඇතැම්විට මුදල් ගෙවා මේ PCR පරීක්ෂණයන් සිදුකල හැකි අතර නමුත් බහුතරයකගේ මේ පරීක්ෂණයන් සිදුකරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.)

එවැනි ආකාරයේ විශාල මෙහෙයුමකට වැය වන මුදල සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටකට දරාගැනිමට අපහසු වීම නිසාවෙන්ම මේ ආකාරයේ අරමුදලක් රජය පිහිටවූයේ ඒ මෙහෙයුමට යම් දායකත්වයක් සුලු වශයෙන් හෝ ලබාගැනීමටය.ඒ වෙනුවෙන් සත පහක් හෝ බැර නොකොට වියදම් වු ආකාරය පිලිබඳව පමණක් ප්‍රශ්න කරන්නාවූ පිරිස්වල මානසිකත්වය කවර තත්වයක පවතින්නක්දැයි වටහාගැනීමට ඔවුන්ගේ මේ හැසිරීමම ප්‍රමාණවත් වේ.