counter hit xanga
June 26, 2022

වරාය නගර විශේෂ ආර්ථික කොමිසම! ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක්ද? රට බෙදීමක්ද? චීන කොලනියක්ද? භූ දේශපාලනය ගොදුරු වීමක්ද?

Last Updated on April 25, 2021 by Panduka Herath

වරාය නගර විශේෂ ආර්ථික කොමිසම ස්ථාපිත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් මගින් ප‍්‍රකාශයට පත් වූයේ මාර්තු 24 දිනයි. අපේ‍්‍රල් 8 වෙනිදා ඒ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය. ගැසට් පත‍්‍රය පළවීමෙන් පසු පසුදිනම ක්ෂණිකව ප‍්‍රථම විරෝධය පළ කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ නේවාසික ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) විසිනි. එම ප‍්‍රකාශය සිදු කරනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය හරහා මාධ්‍යවේදීන්ගේ වටරවුම් සාකච්ඡුාවේදීය. ප‍්‍රතිපත්ති සම්පාදකයින් එහි ආර්ථික බලපෑම ගැන විමසිල්ලෙන් සිටිය යුතු බව ඇය අවවාදාත්මකව කියා සිටියාය. වෙනත් කරුණුවලට අමතරව සුවිශේෂීව ඇය අවධාරණය කළේ එම පනත මගින් සිදු කෙරෙන අති විශාල බදු සහන ගැනය. එමෙන්ම කළු සල්ලි සුදු සල්ලි බවට පත්කරන මූල්‍ය මධ්‍යස්ථානයක් බවට එම කලාපය පත්වන බවද ඇය කියා සිටියාය.

පැහැදිලිව ඇගේ ප‍්‍රකාශය තානාපතිනියගේ ඇ`ගිලි ගැසීම රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට ඇඟිලි ගැසීමකි. විදේශ අමාත්‍යාංශය කළ යුතුව තිබුණේ වහාම ඇය කැඳවා රජයේ ප‍්‍රතික‍්‍රියාව දැක්වීමය. විරෝධයට මූලිකත්වය දුන් ඇය අනුගමනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නීතිවේදීන්ගේ සංගමය,ජාතිකවාදී අන්තවාදීන් කණ්ඩායම්, ආණ්ඩු නොවන සංවිධාන (NGO)විසින් මේ වන විට පෙත්සම් 20ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මතකද! ධිවර,පරිසර, ප්‍රශ්ණ හරහා විරෝධතා අද … රට බෙදන තැනට …

ශ්‍රේස්ඨාධිකරණය වෙත බලය පැවරී තිබෙන්නේ එම පනතේ ව්‍යවස්ථාවට සිදුකරන බලපෑම පිළිබඳව තීරණය කිරීමය. එය සිදුවිය යුතුමය. දෙනු ලබන තීරණය රජය පිළිගත යුතුවේ. එහි ප‍්‍රශ්නයක් නැත. එය පුරවැසියාගේ මූලික අයිතියකි. අප අවධානය යොමු කළ යුතු වන්නේ එම පනතේ දේශපාලනයට සහ අදාළ ආර්ථික පැතිකඩවලටය. රට බෙදීමක් සිදුවීමට යන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිබඳව ක‍්‍රියා කිරීමට ව්‍යවස්ථාවෙනම බැඳී සිටි. එවැනි අනතුරු තිබේ නම් ඒවා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීරණ පාර්ලිමේන්තුව පිළිගත යුතුය.

එසේ නම් අප සාකච්ඡා කළ යුත්තේ එහි සංකල්පය භූ දේශපාලනයේ ගොදුරක් වේද සහ චීන කොලනියක් වේද යන්න පිළිබඳවයි. ආර්ථික කලාපය පිළිබ`ද සංකල්පය විශේෂ ආර්ථික කලාප පිළිබඳ සංකල්පය අලූත් එකක් නොවේ. අපේ රටේද 1978න් පසු මහ කොළඹ විශේෂ ආර්ථික කලාප ගණනාවක් පිහිටුවනු ලැබීය. ඒවා අප දැක ඇත්තෙමු.

විමසිය යුත්තේ ඉන් අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබුණද යන්නයි. එසේ නොලැබීමට හේතු ගණනාවකි. 1983 කඵ ජූලිය සහ තිස් වසරක යුද්ධය ඊට බලපෑ තීරණාත්මක සාධකයන්ය. දෙවනුව දුර්වල පරිපාලනය නිසා සිදුවූ ෂණ, දේශපාලනකරණය ආදිය ප‍්‍රධාන සාධකයන්ය. ඉන් ගත යුතු පාඩම් බොහෝය. වත්මන් යෝජිත වරාය නගර ආර්ථික කලාපය ඊට වඩා පුළුල් පරිමාණයේ දැවැන්ත ව්‍යාපෘතියකි. ලෝක ආර්ථිකය සමග ඍජු ලෙස බද්ධ වන ව්‍යාපෘතියකි.

චීන කොලනිය

මෙය චීන කොලනියක් වේද? මේ ප‍්‍රශ්නය මතු කරනු ලබන්නේ දැනට වරාය නගරය ගොඩනඟා තිබෙන්නේ චීන ණය ආධාර මඟින් වන හෙයිනි. දැන් නගරය ගොඩනඟා හමාරය. හිස් නගරයක් වශයෙන් පවතී. එය එසේ තබා ගන්නවාද? නැත්නම් ආර්ථික ව්‍යාපෘතියක් බවට පත් කර ගන්නවාද? චීනය ආධාර සැපයූ පමණින් එය චීනයට අයත් වන්නේ නැත. චීනයට කොලනි ඇත්තේද නැත. ඉතිහාසයේ තිබුණේද නැත. චීනය ලෝකයේ කිසිදු රටක් ආක‍්‍රමණය නොකළ රටක් බව බොහෝ දෙනා දන්නේ නැත. චීනය ආක‍්‍රමණයට ලක් වූ රටකි. තායිවානය සහ හොංකොං. තවමත් පූර්ණ ලෙස චීනයට හිමිවී නැත. එය වළක්වනු ලැබ තිබෙන්නෙ ඇමෙරිකාව විසිනි. හොංකොං තවමත් ආර්ථික වශයෙන් බටහිර බලපෑමට ලක්ව ඇති චීනයට අයත් දුපතකි.

චීනය ලොව පුරා රටවලට ණය ආධාර ලබා දී තිබේ. ඇමරිකාව ලබා ඇති ණය ප‍්‍රමාණයෙන් 3/4ක් ලබාගෙන තිබෙන්නේ ආසියාවෙනි. ණය සැපයූ පමණින් එම රටවල් කොලනි වන්නේ නැත. මෙය හුදෙක් දෘෂ්ඨිමය වශයෙන් එල්ල කරන ප‍්‍රහාරයකි. හේතුව චීනයේ බලයේ සිටින්නේ කොමියුනිස්ට් පක්ෂයයි. ණය ලබාගත් රටවල් කොලනි වන්නේ කෙසේද? ශ‍්‍රී ලංකාව චීනයෙන් ණය ලබා තිබෙන්නේ මුළු ණය ප‍්‍රමාණයෙන් 10%ක් පමණය. ජපානයෙන් මීට වඩා ණය ලබාගෙන තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ඊට වඩා ණය ලබා තිබේ. ගතවූ වසර 40 තුළ චීනය සංවර්ධනය වන රටවලට ණය පමණක් නොව විවිධ ආධාර ලබාදී තිබේ. මෙම චෝදනාව එදා නැඟුවේ නැත. දැන් එවැනි චෝදනාවක් නගන්නේ චීනය දැන් ඇමරිකාව අභිබවා ආර්ථික ක්ෂේත‍්‍රයෙහි ඉදිරියට යන බැවිනි. ඒ අනුව එය දෘෂ්ටිමය අවලාදයකි. එහි පිටුපස චින්තනය, කොමියුනිස්ට් විරෝධයයි. සමාජවාදයට විරෝධයයි. ධනපති පන්තියේ පක්ෂ එවැනි චෝදනා ඉදිරිපත් කිරීම පුදුමයට කරුණක් නොවේ. එය ඔවුන්ගේ පන්ති වුවමනාවයි.

ජ.වි.පෙ. වෙනස

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එම චෝදනාව ඉදිරිපත් කරන්නේ තම පංති උවමනාවන් වෙනස් කර ඇති හෙයින්ද? එසේ නැත්නම් ලෝක දේශපාලනය දේශපාලන ආර්ථිකය තේරුම් ගැනීමට තරම් පන්ති විග‍්‍රහයක් නොමැති නිසාද? ඉදිරිපත් කරනු ලබන මීළඟ තර්කය මෙම ව්‍යාපෘතිය තුළින් ශ‍්‍රී ලංකාව භූ දේශපාලනයට ගොදුරු වන බවයි. එය පෙරටුගාමී පක්ෂයේද තර්කයකි.

ලෝක ආර්ථික රටාව වෙනස් වීම ලෝක ආර්ථික බලතුලනය වෙනස් වීම නිසා සිදුවී තිබෙන්නේ අධිරාජ්‍යවාදී බලය සිඳී යාමයි. ‘අධිරාජ්‍යවාදය’ ධනවාදයේ ඉහළම අවධියයි. මේ පිළිබඳව අදටත් වලංගු න්‍යායික ශාස්ත‍්‍රීය සංග‍්‍රහය වන්නේ ව්ලැඞ්මීර් ලෙනින්ගේ පොත් පිංචයි. ඇමරිකාව සතුව තිබූ ඒකාධිකාරී ආර්ථික බල කේන්ද්‍රයට අයත් ස්වාභාවික සම්පත් මූල්‍ය සම්පත්, නිෂ්පාදන සම්පත් බිඳ වැටෙමින් තිබේ. ජගත් මාධ්‍ය ජාලයද විසිරී ගොස් තිබේ. මිලිටරි බලය අතින් රුසියාව සහ චීනය ඇමරිකාව සමඟ කරට කර සිටිති.

කලින් ප‍්‍රාග්ධනය ඒකරාශි වූ මධ්‍යස්ථාන තුන ඇමරිකාව, යුරෝපය සහ ජපානය වර්තමානය වන විට ලොව පුරා විසිර යමින් තිබේ. නව මූල්‍ය මධ්‍යස්ථාන මතුවී තිබේ. ලෝක ආර්ථික රටාව බහුද්‍රව වෙමින් පවති. දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනගනු ලැබූ ‘බ්‍රේටන්වුඞ් ව්‍යාපෘතිය’ අකර්මන්‍ය වී තිබේ. ඒ වෙනුවට නව සේද මාවත ආර්ථික ව්‍යාපෘතිය (Belt and Road)රටවල් සියයකට වැඩි ගණනකට ව්‍යාප්ත වී තිබේ.

ඇමරිකානු උත්සහය

මෙම කි‍්‍රයාවලියෙහි ප‍්‍රතිඵලය ඇමරිකාව යුරෝපයෙන් දුරස් වීමය. යුරෝපයෙන් බි‍්‍රතාන්‍ය වෙන්වීමයි. ඒ වෙනුවට ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙර ගමන්කරු බවට පත්ව තිබේ. මෙය වසර 500ට පසු සිදුවී ඇති ප‍්‍රබල වෙනසකි. මෙකී සියලූ සාධක විසින් අධිරාජ්‍යවාදය දුර්වල කර තිබේ. සතරවන කාර්මික විප්ලවය (තාක්ෂණ) වේගවත් වෙමින් පවතී. එහිදීද චීනය ඉදිරියෙන් සිටි. ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට හුදකලාවීමට සිදුවූයේ ඒ අනුවය. ඇමරිකානු ආර්ථිකය පණ ගන්වා ගැනීමට සිදුවී තිබෙන්නේ මුදල් නෝට්ට අච්චු ගැසීමෙන්ය. ඩොලරය තවමත් ලොව ප‍්‍රබල මුදල වන බැවින් ඇමරිකාවට එසේ ක‍්‍රියා කළ හැකිය. එහෙත් ප‍්‍රාග්ධනය තම රටට ගෙන්වීමට ඔවුන් අසාර්ථක වී තිබේ. තිබෙන ප‍්‍රාග්ධනය චීනයට ගලා යෑම නවතාලීමටද ඩොනල්ඞ් ට‍්‍රම්ප් අසමත් විය.

ඉන්දු-පැසිෆික් උපාය මාර්ගික ව්‍යාපෘතිය අටවා ගත්තේ අල්ලා ගත හැකි අවසන් පිදුරු ගස වශයෙනි. ඉන්දියාව මෙහිදී අවශ්‍යම සාධකයකි. චීන-ඉන්දියා ප‍්‍රතිවිරෝධතාවයන් උපරිම ලෙස යොදා ගනිමින් දකුණු ආසියාවේ රටවලට බලපෑම් කිරීමට වෑයම් දරයි. බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය ඒ සඳහා යොදාගැනීම ගත් සියලූ උත්සාහයන් අසාර්ථක වී තිබේ. දකුණු කොරියාව, ජපානය, ඕස්ටේ‍්‍රලියාව ඇමරිකානු පක්ෂපාතී රටවල් තුනම චීනය සහ ආසියානු සංවිධානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට පැමිණ තිබෙන්නේ එම රටවල ආර්ථිකය රැකගැනීම සඳහාය. භූ දේශපාලනය තේරුම් ගැනීමට නම් ඉහත දැක්වූ සාධක ගැඹුරින් අධ්‍යනය කළ යුතුය.

පවතින ගෝලීය භූ දේශපාලන කලාපීය සාධක සියල්ල සලකා බැලීමේදී කොළඹ වරාය නගර විශේෂ ආර්ථික ව්‍යාපෘතිය අපේ රටට හිතකර ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීම සියලූ දේශපේ‍්‍රමීන්ගේ මෙන්ම ජාත්‍යන්තරවාදීන්ගේ වගකීමයි. අධිරාජ්‍යවාදයේ මරලතෝනිය හමුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලී බලවේගයන්ට ව්‍යාපෘතියට සහය දීම හැර වෙනත් විකල්පයක් ඉතුරුව නැත. යෝජනා ඉදිරිපත් කළ යුත්තේ එම ව්‍යාපෘතිය ඵලදායි එකක් බවට පත් කිරීමටය. එය වළක්වාලීම අධිරාජ්‍යවාදය ශක්තිමත් කිරීමකි. මෙය සාර්ථක වුවහොත් නිසැකවම ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත.

-දේශපාලන ලියුම්කරු – –