counter hit xanga
March 28, 2023

අරාජිකත්වයකට යාම වලකා ගත යුතුය – වික්ටර් අයිවන්

Last Updated on April 29, 2022 by Desman Chathuranga

දැන් ලංකාවේ අර්බුදය තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක තැනකය. විචක්ෂණ ප්‍රායෝගික විසඳුමක් නිසි වේගයකින් ඇති කර ගැනීමට අසමත් වෙතොත් පාලක පක්ෂය, විරුද්ධ පකෂය, මහජන නැගිටීම යන අංශ තුනම ඇතුළු මුලු රටම ජයගැනීම පහසු නැති මහා අරාජිකත්වයකට තල්ලූ වී යනු නොවැලැක්විය හැකිය. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග, අත්‍යාවශ්‍ය ආහාර වර්ග, පොහොර හා ඉන්ධන අවශ්‍යතාවන් ලබා ගැනීම සඳහා හා දුප්පත් මිනිසුන්ව ආරක්ෂා කිරීමට හේතුවන ආරක්ෂණ දැලක් ඇති කොට පවත්වාගෙන යාම සඳහා එම අවශ්‍යතාවන්ගේ ප්‍රමාණයට ගැලපෙන මූල්‍ය ආධාරයක් රටට අත්‍යාවශ්‍යය. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා වෙනත් ආකාර වලින් ලබා ගත හැකි වනු ඇත්තේ මහජන නැගිටීමට සම්බන්ධ හා සම්බන්ධ නැති මහජනයාගේද, සියළු දේශපාලන පක්ෂවලද, ජාත්‍යන්තරයේද, පිළිගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සහිත අන්තර් වාර පාලනයක් ඇති කර ගැනීමට ලංකාව සමත් වන්නේ නම් පමණය. එය ප්‍රමාදයකින් තොරව හැකි ඉක්මණින් උදා කරගත යුතු තත්වයකි. එසේ නොවෙතොත් අත්‍යාවශ්‍ය ඖෂධ නැති, ආහාර නැති, විදුලිය නැති, ඉන්ධන නැති, පොහොර නැති, ජනජීවිතය දැන් තිබෙන තත්වයට වඩා කිහිප ගුණයකින් අවුල් කරන මහජනයා බලවත් ලෙස කෝපයට පත් කිරීමට හේතුවන හා රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය බිඳ දැමීමට හේතුවන පූර්ණ අරාජිකත්වයකට රට තල්ලු වී යන තත්වයක් ඇති විය හැකිය.

මගේ මතය අනුව නීතිඥ සංගමය, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සංවිධානය කල වෘත්තීයවේදින් එකතුව හා 21 වැනි සංශෝධනය පිලිබඳ අදහස ද වෙනත් විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා ද මෙම අර්බුදය ජය ගැනීමට හේතුවන සප්‍රයෝගික හා ස්ථීරසාර විසඳුම් ලෙස සැළකිය නොහැකිය. එම යෝජනා වලින් වැඩි හරියක් සකස් කර තිබෙන්නේ අර්බුදයේ නියම ස්වභාවය සැළකිල්ලට ගෙන නොව #GoHomeGota යන තරුණ නැගිටීමේ ප්‍රධාන උදාන පාඨය සැළකිල්ලට ගෙන ඊට ගැලපෙන අකාරයටය. එම පාඨය ඉතා ආකර්ශනීය විය හැකි වුවත් ප්‍රායෝගික බවෙන් තොරය. එම පාඨය තරුණ පරපුර පාරට ගෙන්වා ගැනීමට තරම් ආකර්ශනීය වුවත් එය තරුණ පරපුරේ නැගිටීම ව්‍යවස්ථාමය රාමුවකට ගැනීමට තිබෙන හැකියාව වැළකීමට හේතුවී තිබේ. ගෝඨාභය ඔවුන්ට වැදගත් වන්නට ඇත්තේ සංකේතාත්මක අර්ථයෙන් ය. ඔවුන්ට වඩා වැදගත් වන්නට ඇත්තේ රටේ පවත්නා දූෂිත සමාජ දේශපාලන ක්‍රමයේ ගැඹුරු වෙනසකි. එය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ඔස්සේ ජය ගතයුතු තත්වයකි. අවසනායේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් නැතුවම #GoHomeGota පාඨයට සීමා වූ තැනක ජනතා නැගිටීම කොටු කර තැබීමට එම පාඨය හේතු වී තිබෙන්නේ යැයි කිව හැකිය.

විසඳුම් ප්‍රායෝගික විය යුතුය.

ගෝඨාභය සිය කැමැත්තෙන් ධූරය අත්හැර නොයන්නේ නම් ඔහු එම තනතුරෙන් ඉවත් කල හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයෙක් තනතුරෙන් පහකරීම සරළ හෝ පහසු දෙයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යය. දෝෂාභියෝගයක් සඳහා ප්‍රතිපාදන ඇති කර තිබෙන්නේද ජනාධිපති කෙනෙක් ඉක්මනින් තනතුරෙන් පහකළ හැකි ආකාරයට නොව ඒ සඳහා දීර්ග කාලයක් ගතවන ආකාරයටය. ගෝඨාභය එම තනතුරෙන් ඉල්ලා අස්වුවද අවසාන විග්‍රහයේදී අනුප්‍රාප්තිකයා තීරණය කරනු ඇත්තේ පාර්ලිමේන්තුව විසිනි. ඔහු මහජන විශ්වාසයට හා පිළිගැනීමට හේතු නොවී ඔහුටද ගෙදර යන ලෙස ඉල්ලා මහජනයා පාරට බසින තත්වයක් ඇති වුවහොත් සිදු විය හැක්කේ කුමක්ද?

ජාතික ලැයිස්තුවේ හොඳ කිහිප දෙනෙකු පාරලිමේන්තුවට ගෙන ඔවුන්ට තනතුරු දීමේ අදහස ද මනෝරාජික ය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කරන්නේ පක්ෂ වුවත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ බලයක් පක්ෂවලට නැත. සාමාන්‍යයෙන් ඔවුන් සිය කැමැත්තෙන් එම තනතුරු අත් හරිනු ඇතැයි සිතිය නොහැකිය. යහපාලන ආණ්ඩුව කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මලිත් ජයතිලක ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවේ ධූර කාලය අවසන් වූ පසු මලිත් මන්ත්‍රී කමෙන් ඉවත් කොට ඒ වෙනුවට ධූරකාලය අවසන් කල ජනාධිපතිවරයා එම තනතුරට පත්වීමේ අරමුණ ඇතිවය. එහෙත් මලිත් තනතුරෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා හිටපු ජනාධිපතිවරයාට ඒ සිහිනය සැබැ කරගැනීමට හැකිවූයේ නැත. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන්ට අදාල සැබෑ යථාර්ථය ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

අන්තර් වාර පාලනයක් ඇති කොට ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමෙන් පසු මාස අටක් තරම් කාලයකට පසු මැතිවරණ පැවැත්වීමේ අදහසද ලාමක සේම මනෝරාජික බව කිව යුතුය. අයි. එම්. එෆ්. වැඩේ හරි ගියද ණය ප්‍රතිව්‍යූහ ගත කිරීමේ වැඩසටහන අවසන් කොට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා පමණක් මාස හත අටක තරම් කාලයක් ගතවනු ඇති බවට ගණන් බලා තිබේ. අනෙක් අතට මැතිවරණ වලට යන්න යන්නේ මැතිවරණ ක්‍රමයේ මුලික දූෂිත ස්වභාවයවත් වෙනස් නොකර නම් මේ තරුණයින් කරන ලද අරගලයේ තේරුම කුමක්ද? සිස්ටම් චේන්ජ් එක හෙවත් ක්‍රමයේ වෙනසක් ඇති කරන්නට යන්නේ ඒ මැතිවරණ වලින් පසුද? එය කරන්නේ කවුද? සිස්ටම් චේන්ජ් එකකට කැමති නැති පිරිසක් බලයට පත් වුවහොත් සිස්ටම් චේන්ජ් එකට සිදුවන්නේ කුමක් ද?

21 වන සංශෝධනය ද මනෝරාජිකය. එම ඉලක්කය සපුරා ගැනීම සඳහාද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යය. 21 සපුරා ගත්තද එයින් සිස්ටම් චේන්ජ් එකක් රටට ලැබෙන්නේ නැත. ඒ නිසා ගෙවුම් ශේෂ අර්බුදයට අතිරේකව සමාජ-දේශපාලන ක්‍රමයේ හා රාජ්‍යයේ අර්බුද ජයගැනීමට හේතුවන ලෙස සිස්ටම් චේන්ජ් එකක් ලබා ගත හැකි ක්‍රමයක් තිබේද යන්න සොයා බැලීම ඉතා වැදගත් ය.දෘෂඨිමය පසුගාමීත්වයඅතුරු ව්‍යවස්ථාව හෙවත් අන්තර් වාර ව්‍යවස්ථාව (Interim Constitution) යන්නෙන් අදහස් වන්නේ කිසියම් රටක සමාජ- දේශපාලන ක්‍රමය, ආර්ථිකය, රාජ්‍යය යන අංශ සියල්ල හෝ ඉන් කිහිපයක් අර්බුදයට ගිය අවස්ථාවකදී ඒ අර්බුදයට ගිය ක්‍රමයෙන් නව ක්‍රමයකට ව්‍යවස්ථාමය අඛණ්ඩතාවය ආරක්ෂා කරගනිමින් මාරුවීමට පාලමක් ලෙස යොදා ගන්නා, ලෝකයේ ඉතාමත් බහුල ලෙස යොදාගෙන ඇති, අන්තර්ජාතික නීතියෙන් ද පිළිගන්නා, ව්‍යවස්ථාමය ක්‍රමයකි.

ලංකාව ව්‍යවස්ථා විෂයේදී සැළකිය හැක්කේ ඉතාමත් නොදියුණු හා පසුගාමී අදහස් දරන රටක් ලෙසය. ලංකාව තරම් චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන වෙනත් රටක් තවත් ඇද්ද යන්න සැක සහිතය. එහෙත් ඒ ගැන ව්‍යවස්ථාදායකය තුළ කිසිම දිනක ගැඹුරු සාකච්ඡාවක් සිදුවී නැති අතර ලංකාවේ ශාස්ත්‍රාලිය ආයතන වලද ඒ ගැන එකදු වැදගත් පර්යේෂණ පත්‍රිකාවක් වත් පළවී නැත. එසේම ලංකාවේ සිදුවන හොරකම් හා දූෂණය ගැන පොදුවේ කොතෙකුත් කථා කර ඇතත් 1978 සිට රටේ බලයට පත් ජනාධිපතිවරුන් අඩු වැඩි වශයෙන් පවත්වා ගෙන ගොස් තිබෙන වස්තු කොල්ලය හා එම කොල්ලය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරුන් නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කිරීමට ඉඩදීම මගින් ඔවුන්ට අයථා ලෙස වස්තුව උපයාගැනීමට ලබා දී තිබුන අයිතිය හා ඒ දෙයාකාරයටම සිදුවූ ක්‍රියාකාරකම් වලින් මහා භාණ්ඩාගාරයට සිදු වෙමින් තිබූ අති විශාල ආර්ථික හානිය ගැන පාර්ලිමේන්තුවේ කිසිදු වැදගත් සංවාදයක් සිදුවී නැති අතර ශාස්ත්‍රාලිය වශයෙන්ද එකම පර්යේෂණ පත්‍රිකාවක් වත් ලියවී නැත. විගණකාධිපතිවරුන් ද ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තා කර නැත.

ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාව සිටින පසුගාමිත්වයේ තරම පෙන්නුම් කරන නිදර්ශන දෙකක් මෙසේය. ලංකාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම ගොඩ නඟා තිබෙන්නේ අල්ලස් හා දූෂණ මර්දනය සඳහා හොංකොං හෝ සිංගප්පූරුවේ තිබුන කොමිසන් සභා ක්‍රමය සැළකිල්ලට ගැනීමෙන් තොරවය. 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමිසමක් සකස් කිරීමේදී ද ඉන්දියානු මැතිවරණ කොමිසම සැළකිල්ලට ගෙන නැත. ඉන්පසු නැවත 19 වෙනි සංශෝධනයේදී ද ඉන්දියාවේ මැතිවරණ කොමිසම සැළකිල්ලට ගෙන මැතිවරණ කොමිසමේ අඩුපාඩුකම් නිවැරදි කිරීමක් සිදු නොවීය. ලංකාව හා සමාන බහුවිධ අර්බුදයන්ට ගිය රටවල් ඒවා ජය ගෑනීම සඳහා පරණ ව්‍යවස්ථාමය රාමුවෙන් අළුත් ව්‍යවස්ථාමය රාමුවකට මාරුවීම සඳහා යොදා ගැනුණු හා යොදා ගනිමින් තිබෙන බලවත් ක්‍රම වේදයක් ලෙස සැළකිය හැකි අන්තර් ව්‍යවස්ථාව හෙවත් අතුරු ව්‍යවස්ථාව ගැන ලංකාවේ ව්‍යවස්ථා හා දේශපාලන න්‍යායවාදින් එක්කෝ දන්නේම නැති බව හා නැතිනම් ප්‍රමාණවත් තරමින් දන්නේ නැති බව පෙනේ.

අන්තර්වාර ව්‍යවස්ථාව

රාජ්‍යය, සමාජ-දේශපාලන ක්‍රමය හා ආර්ථිකය යන අංශ සියල්ල හෝ ඉන් වැඩි හරියක් කඩා බිඳ වැටී අසමත් හා අරාජික තත්වයකට පත්ව තිබෙන රටකට එම තත්වයෙන් ගොඩ ඒමට අවශ්‍ය ප්‍රතිපාදන පරණ ව්‍යවස්ථාව තුළ තිබිය නොහැකිය. අන්තර් වාර ව්‍යවස්ථාවක් ලෙස සැලකෙනුයේ අර්බුදයට ගිය රටක් එම සංක්‍රමණීය කාලය තුල අළුත් ව්‍යවස්ථාවක් හදා ගන්නා තෙක් රටේ පාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය විශේෂ බලතල සේම අන්තර් වාර පාලනයක් අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය විශේෂ විධි විධාන ද ඇතුළත්, අළුත් ව්‍යවස්ථාව හදා ගත යුතු අකාරය ද පැහැදිලි කරන හා අර්බුදය ජයගැනීම සඳහා ක්‍රියාවට නඟන්නට යන ප්‍රතිසංස්කරණ වැඩසටහන ද ඇතුළත් වන ලෙස සකස් කරගන්නා අතරමැදි තාවකාලික ව්‍යවස්ථාවකටය. (මෙම විෂය තේරුම් ගැනීම සදහා “Interim Constutions” IDEA 2015 යන පත්‍රිකාව කියවීම වැදගත්‍ ය. එය අන්තර්ජාලයෙන් ලබා ගත හැකිය. https://www.idea.int/…/interim-constitutions… )

අන්තර් කාලින ව්‍යවස්ථා සඳහා දැක්විය හැකි නිදර්ශන කිහිපයක් මෙසේය. නේපාලය (2007 සිට 2015), තායිලන්තය (2006 සිට 2007), රුවන්ඩාව (1993 සිට 2003), දකුණු අප්‍රිකාව (1994 සිට 1997) සහ පිලිපීනය (1986 සිට 1987). අන්තර් කාලින ව්‍යවස්ථාව ලංකාව වැනි විශාල අර්බුදයකට ගිය රටකට එම අර්බුදයට මුහුණ දීම සඳහා සුදුසු අන්තර් කාලින පාලනයක් ඇතිකර ගැනීමට හා අර්බුදය ජයගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට හා නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමට බලය සමඟ ව්‍යවස්ථාපිත රාමුවක් ලබා දෙන තාවකාලික ව්‍යවස්ථාමය ක්‍රමයකි.

වර්ණවත්ම අන්තර් ව්‍යවස්ථාව ලෙස සැලකෙනුයේ දකුණු අප්‍රිකානු අන්තර් ව්‍යවස්ථාවය. සිදු කෙරෙන පරිවර්ථනය අදියර දෙකකින් සිදුවිය යුතු බවට පාලක පක්ෂය හා දකුණු අප්‍රිකානු කොංග්‍රසය අතර එකඟත්වයක් ඇත කරගෙන තිබුණි. ඒ අනුව පළමු අදියරයේ දී අන්තර් කාලීන ව්‍යවස්ථාවක්ද අප්‍රිකානු කොංග්‍රසයේ නියෝජිතයින් ද ඇතුලත් වන ලෙස අන්තර් කාලීන ආණ්ඩුවක්ද ඇති කර ගත්තේය. පළමු අදියරයේ සිදු කළ යුතු දේවල් සේම දෙවැනි අදියරයේදී සිදුකළ යුතු දේවල්ද අන්තර කාලින ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි. ඒ අනුව තෝරාගත් ආණ්ඩු ක්‍රමය සඳහා මැතිවරණයක් පවත්වා තේරී පත්වන සියළු දෙනා අවුරුදු පහක කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගත යුතුය. එසේ තෝරා පත් කරගන්නා ව්‍යවස්ථාදායකය නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස ද ක්‍රියා කල යුතුය. ව්‍යවස්ථා සම්පාදනය කිරීම පොදු එකඟතාවක් ඇතිකරගෙන තිබු ව්‍යවස්ථා මූලධර්ම 34 කට අනුකූලව සිදු කළ යුතු විය. ව්‍යවස්ථා සම්පාදනයට මහජනයා ක්‍රියාකාරි ලෙස සම්බන්ධ කර ගැනීමට ද ව්‍යවස්ථා සම්පාදනය වසර දෙකක කාලයක් තුළ නිම කිරීමටද ව්‍යවස්ථාව සම්මත කර ගත යුතු අකාරය ද අන්තර් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි. මැන්ඩෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීය. අන්තර් ව්‍යවස්ථාව කෙටුම් පත් කෙරුණේ පාර්ලිමේන්තුව තුළ නොව ඉන් පිටතය. එය කෙටුම් පත් කිරීමෙන් පසු ත්‍රෛයි මණ්ඩල පාරිලිමේන්තු වට ඉදිරිපත් කොට සම්මත කරගත්තේය. 1994 අප්‍රේල් 27 වන දින සිට නව ව්‍යවස්ථාව සම්මත කරගත් 1997 පෙබරවාරි 04 වන දින තෙක් දකුණු අප්‍රිකාවේ බලාත්මක ව්‍යවස්ථාව වූයේ එම අන්තර් ව්‍යවස්ථාවය.

ලංකාව තෝරා ගත යුතු මග

දකුණු අප්‍රිකාවේ අන්තර් ව්‍යවස්ථාව පරිවර්ථනයට සියළු පාර්ශව සම්බන්ධ කරගැනීමට ව්‍යවස්ථාමය පදනමක් ලබා දෙනවාට අතිරේකව පරිවර්ථනය ක්‍රමවත් හා විධිමත් ලෙස ගලා යාමටට සුදුසු ව්‍යවස්ථාමය අවකාශයක් ලබාදුන්නේය. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඔවුන් කැමති විදියකට ව්‍යවස්ථාව හැදීමේ නිදහසක් තිබුණේ නැත. එය සැකසිය යුතුව තිබුනේ අන්තර් ව්‍යවස්ථාවට ඇතුළත් ව්‍යවස්ථා මූලධර්ම 34 ට අනූකූලවය. ඒ මගින් ව්‍යවස්ථාවේ දළ සැකිල්ල සියළු දෙනාට කල් තියා දැකීමේ හැකියාව තිබුණි. ව්‍යවස්ථා සම්පාදනය වසර දෙකකින් අවසන් කරන විට ආණ්ඩුවේ සර්ව පාක්ෂික ස්වරූපය තවත් අවුරුදු තුනක් පවත්වාගෙන යාමට බැඳී සිටියේය. ප්‍රතිසංස්කරණ ආරම්භයේදී දේශපාලන පිරමීඩයේ මුදුනේ සිටියේ සුදු ජනාධිපතිවරයෙකි. ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අතරමැදි අදියරයක දී පිරමීඩයේ මුදුනේ සිටි සුදු ජනාධිපතිවරයා වෙනුවට ඒ තැන ගත්තේ කළු ජනාධිපතිවරයෙකි. මැන්ඩෙලා “GoHomeBotha” කියා හඬ නැගුවේ නැත. පරිවර්තනය සිදුවූයේ ප්‍රති පක්ෂ අතර ඇති කරගන්නා මනා අවබෝධයකින් යුතුව හා ව්‍යවස්ථාමය රාමුවක් තුළය. පරිවර්ථනය සදහා ලංකාව තෝරා ගත යුත්තේද එවැනි විධිමත් ව්‍යවස්ථාමය මාවතක්ය. අරගලයට සම්බන්ධ සියළු ප්‍රධාන පාර්ශව අතර එනම් ආණ්ඩුව, විරුද්ධ පක්ෂය හා මහජන නැගීටීමට සම්බන්ධ ඔවුන්ගේ නායකයන් අතර පරිවර්තන වැඩසටහනක් සදහා පොදු එකඟතාවක් ඇති කරගත යුතුය. එයද අදියර දෙකක් යටතේ කෙරෙන (මැතිවරණය දක්වා හා මැතිවරණයෙන් පසු) වැඩසටහනක් බවට පත් කර ගත හැකිය. අතුරු ව්‍යවස්ථාවක් ඇති කර ගනිමින් සුදුසු අනතර් පාලනයක් ද ඇතිකර ගත හැකිය. අළුතෙන් තේරී පත්වන ව්‍යවස්ථාදායකය යටතේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ වැඩසටහන ද ඊට ඇතුළත් කළ හැකිය. ඒ මගින් ඇති කරන පරිවර්ථනය ව්‍යවස්ථානුකූල රාමුවක් තුළ විධිමත් ලෙස ගලා යන දෙයක් බවට පත් කළ හැකිය.

දැනට රටේ හැම වැදගත් තැනකම කටයුතු සිදු වෙමින් තිබෙන්නේ අරාජික ස්වරූපයෙනි. රජය අරාජිකය. විපක්ෂය තුල ඇත්තේද අරාජිකත්වයකි. මහජන (තරුණ) නැගිටීම තුළ ඇත්තේද අරාජිකත්වයකි. පරිවර්ථනයක් සදහා වන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා සාකච්ඡා ආරම්භ කල හැකිනම් එම ප්‍රධාන අංශ තුනේ තිබෙන අරාජිකත්වය ද තුනී කිරීමට හේතුවනු ඇත. එසේ නොවෙතොත් රට පහසුවෙන් ගොඩ ගත නොහැකි බිහිසුණු අරාජිකත්වයකට තල්ලු වී යනු නොවැලැක්විය හැකිය. අරාජික තත්වයක් ඒකාධිපති තත්වයකටත් වඩා භයානකය.

-වික්ටර් අයිවන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී