counter hit xanga

බදියුදීන් සොහොයුරන් ගැන හෙලිවු දේ!

"බොහෝදුරට ලක්ෂ 300ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ."

Last Updated on June 18, 2021 by Desman Chathuranga

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන් වන ඊබ්‍රහිම්ගේ පුත්‍රයන් දෙදෙනාට නීති විරෝධීව මුදල් ඉපැයීමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අවස්ථාව ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 42 දෙනකුට පමණ විරුද්ධව ජූලි මස තුන්වන සතියේදී නඩු පැවැරිමට කටයුතු කරන බවයි.නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමන්ට පැවසූ බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා.

මාවනැල්ල බුදුපිළිම කැඩීම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයෙන් පුපරන ද්‍රව්‍ය සොයාගැනීම, වනාතවිල්ලුව සිද්ධිය, තස්රීන් නැමැත්තාට වෙඩි තැබීම ආදී සිද්ධි සම්බන්ධයෙන් නඩු 8ක් සම්බන්ධයෙන් 32 දෙනකුට විරුද්ධව නඩු පවරා ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාගේ විමර්ශන සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍යවෙදින් ප්‍රශ්ණ කර සිටියා….

ඉදිරියට තවත් තවත් කී දෙනෙක් අත්අඩංගුවට ගනී ද දන්නේ නෑ. ඒක නොකඩවා යන විමර්ශනයක්. ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යනවා. ඔහු නිදොස් නම් අනිවාර්යයෙන් ම ඔහුව නිදහස් කරයි. නැත්නම් නීතිපතිතුමාට නඩු පැවරීම සඳහා ලිපිගොනුව යොමු කරයි. ඔහුගේ සම්බන්ධය තියෙන්නේ මෙතෙන ඒක සනාථ කරන්න සිද්ද වෙනවා. ඊබ්‍රහිම්ගේ පුත්‍රයින් දෙදෙනා තමයි Shangri-La එකෙයි තවත් තැනකයි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කළේ, ඒ පුතුන් දෙදෙනාගේ සමාගමට නීතිවිරෝධී ලෙස කෝටි ගණනක් මුදල් ඉපැයීමට අවස්ථාවක් ලබාදුන්නා. ඒ මුදල් තමයි සහරාන් ට. බොහෝදුරට ලක්ෂ 300ක් පමණ. මේ ප්‍රහාරය එල්ල කිරීමට හා ඒ අදාළ කටයුතුවලට. ඒකට තමයි මම හිතන්නේ රිෂාඩ් බදියුදීන් මහතා ව අත්අඩංගුවට ගෙන තියෙන්නේ.

මෙම මාධ්‍ය හමුවට එක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පාස්කු ප්‍රහාරය පරීක්ෂණවලදී විවිධ අවස්ථාවල දී පුද්ගලයින් 724ක් අත්අඩංගුවට ගෙන තිබේන බවයි. එයින් පුද්ගලයින් 227ක් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවමත් පොලීසිය භාරයේ පුද්ගලයින් 83 දෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද සදහන් කළා.

මේ අතර සැකකරුවන් විසින් විවිධ අවස්ථාවල දී පරිහරණය කළ රුපියල් මිලියන 205කට ආසන්න මුදල්, ස්වර්ණාභරණ සහ මැණික් සහ බැංකු ගිණුම් 100කට ආසන්න ප්‍රමාණයක තිබු මුදල් රු මි 134ක් පමණ අක්‍රිය කිරිමටද කටයුතු කර තිබේ.