counter hit xanga
October 18, 2021

සුපිරි බලවතුන් අසමත් වූයේ ඇයි?

CHINA RUSSIA lankaecast

Last Updated on May 15, 2021 by Panduka Herath

කොවිඞ් -19 නම් ගෝලීය කොරෝනා වසංගතය පිළිබද පුවත පළමුවෙන්ම ප‍්‍රකාශයට පත් වූයේ 2019 දෙසැම්බර් 31 වැනි දිනය. 21 වන සියවසේ තුන්වන දශකය (2021) ආරම්භයත් සමගය. චීනයේ වූහාන් නගරයේ වෙළදපොලකින් හටගත් එකක් බවට මුලින් සැක කළද එම මාරාන්තික වෛරසය ස්වභාව ධර්මයාගෙන් හටගත් එකක් බවට සැකයක් නැත. පසු කාලයේදී එය මුලින්ම හට ගත්තේ යුරෝපා රටකින් බව ඇතැම් විද්‍යාත්මක පර්යේෂකයින් සැක පළකර තිබේ.

ඒ කතාවේ ඇත්ත නැත්ත සෙවීම පර්යේෂකයින්ට පවරා වර්තමානයේ තත්ත්වය සාකච්ඡා කරමු. වයිරසය ලෝක මට්ටමින් සමාජ ගත වී මාස 17ක් පමණ වේ. මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 160කි. ඉන් මිය ගිය ගණන මිලියන 3.3කි. (තිස් තුන් ලක්ෂයකි) ලොවේ ජනගහණය බිලියන හතක් නම් (මිලියන 7000ක්) නම්, ඉන් මිලියන 160ක් ආසාදිත වී තිබේ. මිය යෑමේ නිමාවක් නැත. වසංගතයේද නිමාවක් නැත. මුඵ ලොව සියලූ රටවල ජනතාව මීට ගොදුරුව හමාරය.

වසංගතය ආරම්භය ලොවේ විශාලතම ජනගහණයෙන් යුතු රට වන චීනයේය. (මිලියන 1400කි) මාස තුනක් තරම් කෙටි කාලයක් තුළ චීනයේ කොමියුනිස්ට් පාලනයට එය පාලනය කළ හැකි විය. එසේ නොවුණා නම් මේ වන විට මිය යන්නට තිබු සංඛ්‍යාව සිතාගන්නටවත් බැරිය.

වූහාන් පළමු හුදකලාව

එසේ පාලනය කරනු ලැබුවේ වූහාන් නගරය හුදකලා කිරීමෙනි (ලොක් ඩවුන්). අද අපද අනුගමනය කරන සෞඛ්‍ය නියෝග සියල්ල කි‍්‍රයාත්මක කරනු ලැබීය. ප‍්‍රාන්තයද හුදකලා කරනු ලැබීය. සංචරණය සීමා කරනු ලැබීය. ඒ අනුව සෙසු ප‍්‍රාන්තවලට පැතිරී යෑම අවම කරනු ලැබීය. මිය ගිය ගණන 3,400කින් නතර කරලීමට චීන රජය සමත් වීය. මෙම කොරෝනාව ගැන අද අප දන්නා තොරතුරු එදා ලොව දැන සිටියේ නැත. චීනය දැන සිටියේද නැත. එහෙත් තමන් නොහදුනන සතුරා මෙල්ල කිරීමට හැකි වූයේ චීනයේ පවතින මහජන සෞඛ්‍ය පද්ධතියේ බලමහිමය නිසාය.

ජනතාවගේ සෞඛ්‍ය රජයේ වගකීම බව නීතියෙන්, සදාචාරයෙන්, දේශපාලන න්‍යායෙන් බැදී සිටින හෙයිනි. චීනයේ එය පාලනය කරනු ලැබුවේ එන්නත් භාතිතාවෙන්ම නොවේ. එන්නත් භාවිතාව ඇරඹුණේ 2020 දෙසැම්බර්වලදි මාස 12කට පසුවය. චීනය එය පාලනය කරන විට ධනේශ්වර රටවල ඇතැම් නායකයින් (ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇතුඵව) චෝදනා කළේ චීන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණය කරන බවයි. ජීවිත ගලවා ගැනීම, මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් වශයෙන් සලකනු ලැබීය. වූහාන් නගරය ලොක් ඩවුන් කිරීම මිනිස් අයිතීන් උල්ලංඝණය කළ බව කියා සිටියද, අද ඔවුන්ගේ රටවල් ඇතුඵව මුඵ ලොවම ලොක් ඩවුන් කර දැන් මාස 17ක් ගත වී ඇත.

එකී චෝදනා කොමියුනිස්ට් විරෝධී පදනම මත ධනවාදී දේශපාලන නායකයින්, දෘශ්ඨි න්‍යාචාර්යවරුන් සහ ධනේශ්වර මාධ්‍ය ජාලාවන් විසින් ඇද හැලූ වෛරීය අවලාද සහ අපවාද පමණ බව දැන් ඔප්පු වී හමාරය. චීනයේ ආර්ථික ක‍්‍රමය, සමාජ ක‍්‍රමය, පාලන ක‍්‍රමය, ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත ගොඩනැගූ බව වසරක කෙටි ඉතිහාසයෙන් ඔප්පු කොට හමාරය. චීනය ලොවේ දෙවන ආර්ථික බලවතා වුවද තවමත් එය සංවර්ධනය වන රටකි. එය 73 වසරක කෙටි ඉතිහාසයක් ඇති නව චීනයයි. අධිරාජ්‍යවාදී සූරා කෑමෙන් තොරව, යුද්ධ ආක‍්‍රමණවලින් තොර බහුජාතික ඒකාධිකාරි සමාගම් හරහා සොරාගත්, ගරාගත් සුපිරි ලාභ නොමැතිව ගොඩනැගුණු ආර්ථිකයකි. චීනය තවමත් සිටින්නේ සමාජවාදයේ ප‍්‍රාථමික අවධියේය.

අසරණ වූ සුපිරි රාජ්‍යයන්

කි‍්‍ර.ව. 1600-2020 දක්වා පුරා වසර 500කට වැඩි ඉතිහාසයක් තිබෙන සුපිරි සංවර්ධිත ආර්ථික බලවතුන් මුඵ ලොවම පාලනය කර අධිරාජ්‍යවාදී බලවත් රටවල් කොරෝනාව හමුවේ අසරණ වී සිටින හැටි අපි දකිමු. නව ලිබරල්වාදයේ කප්පිත්තන් බවට පත්වී සිටින ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය පමණක් නොව නව ලිබරල්වාදය හරහා නැගී එන සුපිරි රාජ්‍යයක් බවට පත්වීමට දගලන ඉන්දියාවද පත්ව ඇත්තේ ශෝචනීය තත්ත්වයකටය.

මීට හේතුව සෞඛ්‍ය, සේවාවකට වඩා මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමයි. එහි ඖෂධ තොග සගවා තබා ගැනීම හිගයක් ඇති කිරීම තුළින් මිල වැඩි කර ගැනීම සංවර්ධිත ධනවාදී රටවල ප‍්‍රතිපත්තිය වී තිබේ. කොරොනාව සදහා එන්නත සොයා ගැනීම සදහා වසර 7-9ක් පමණ ගත වේ යැයි මුලදී අපේක්ෂා කළද, වසරක් තරම් කෙටි කාලයක් තුළ එන්නත් ගණනාවක් රටවල් කිහිපයකින්ම අත්හදා බලා අවසන් කිරීමට හැකිවීම විද්‍යාවේ ජයග‍්‍රහණයකි.

මිනිසාගේ තවත් නිර්මාණයකි. මිනිසාගේ නව නිර්මාණයක් එනතෙක් ඉවසා දරා සිටීමට නොහැකිව මිත්‍යාවේ සරණ සොයා ගිය පාලකයින්ද 21 වන සියවසේ රටවල් පාලනය කිරීමද අභාග්‍යයකි. එහෙත් එය මිනිසාගේ වුවමනාවන් අනුවය. 2020 දෙසැම්බර් 5 වැනිදා රුසියාව ඔවුන්ගේ ‘ස්පුට්නික්’ එන්නත තම ජනතාවට ලබා දීමත්, දෙසැම්බර් 8 වැනිදා ‘ෆයිසර්’ එන්නත බි‍්‍රතාන්‍ය ජනතාවට ලබාදීමත් සිදුවුණි. ඉන්පසු බි‍්‍රතාන්‍ය ‘ඔක්ස්ෆර්ඞ්’ එන්නත නිපදවීම ඉන්දියාවේ සමාගමට භාර දුන්හ. චීනය ‘සයිනෝෆාම්’ එන්නතද, ඇමෙරිකාවේ ‘මොඩර්නා’ එන්නතද, ‘ජොන්සන් ජොන්සන්’ එන්නතද වෙළදපොළට පැමිණ ඇත. කියුබාව තම රටේ ජනතාවට චීන සහ රුසියානු එන්නතද ලබා දී තිබේ.

මෙහිලා විශේෂත්වය ආසියාවේ පළමු එන්නත චීනයේ නිපදවීමය. ප‍්‍රමාද වී නිෂ්පාදනය කළද, වැඩි වශයෙන් ලොව බෙදාහැර තිබෙන්නේ චීන එන්නතයි. මේ වන විට චීන එන්නත රටවල් 100ක භාවිතා කෙරේ. ලතින් ඇමරිකාවේ පමණක් මිලියන 150කට චීන එන්නත ආධාර වශයෙන් ලබා දී තිබේ. මිල අධික එන්නත ඇමරිකාවේ නිෂ්පාදිත ‘ෆයිසර්’ එන්නතයි. අඩු මිලකට ලබා දෙන එන්නතකි ‘ස්පුට්නික්’ එන්නත. චීන එන්නත සියලූ මහද්වීපවල භාවිතා කෙරේ.

සමාජවාදී රාජ්‍යයන්

දේශපාලන ආර්ථිකමය වශයෙන් ගත් කළ මෙම ගෝලීය කොරෝනා වසංගතයෙන් සාධක දෙකක් නිරාවරණය කර ඇත.

  1. කොරෝනාව පාලනය කිරීම
  2. කොරෝනාව පැතිරීම වළක්වාලීම/නැත්නම් අවම කිරීම

මෙහිදී ඉදිරියෙන් සිටින රටවල් බවට පත් වී තිබෙන්නේ චීනය, වියට්නාමය, ලා ඕසය, කියුබාව, උතුරු කොරියාව ආදී සමාජවාදී රටවල්ය. ඊට අමතරව ධනවාදී රටවල් වුවද, මහජන සෞඛ්‍ය පද්ධතිය කි‍්‍රයාත්මක වන නවසීලන්තය වැනි රටවල්ය. ලෝක ජනගහනයට විශේෂයෙන්ම සංවර්ධනය වන ආසියා, අපි‍්‍රකා, ලතින් ඇමෙරිකාව පමණක් ඇතැම් යුරෝපානුරටවලද එන්නත් සපයන්නේ චීනය හා රුසියාවයි.

චීනය සහ රුසියාව ලොව පිළිගත් ඖෂධ නිෂ්පාදිත රටවල් නොවේ. ලොවේ ඖෂධ නිෂ්පාදනයේ ඒකාධිකාරිය තිබෙන්නේ ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යයටය. ඊට අමතරව ඇතැම් යුරෝපානු රටවලටය. චීනය, රුසියාව සහ කියුබාව එන්නත් නිෂ්පාදනය කරන රටවල් බවට පත්වීම කොවිඞ්-19 යේ සාධනීය පැතිකඩයි. ඖෂධ ඒකාධිකාරිය ඉතිහාසයේ පළමු වරට බිද දැමු අවස්ථාවයි. චීනය සහ රුසියාව නොවන්නට ලොවේ දුප්පත් ජනතාවට කුමන සහනයක්ද? එන්නත නිපදවීමේ සිට භාවිතය ලබාදීම අතරතුර කාලය තුළ ඇතැම් ජාතික රාජ්‍යයන්හි වෛද්‍යවරුන් ඇතුඵ විද්‍යාඥයින් සමග එක්සත් ජාතීන්ට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) හැසුරුණු, කි‍්‍රයාකළ ආකාරය වැදගත් වන්නේ එම කි‍්‍රයා පිළිවෙත පිටුපස දේශපාලනයක් කි‍්‍රයාත්මක වූ බව පෙන්වීම සදහාය.

ඇමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ නිෂ්පාදිත එන්නත් භාවිතයට ගත්තේ, වෙළදාමට යොමු කරනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් නැතිවය. එහෙත්, චීන සහ රුසියානු එන්නත් භාවිතයට WHO හි අනුමැතිය අවශ්‍ය බවට බලගතු මතයක් පතුරුවා හරිනු ලැබීය. එපමණක් නොව WHO සංවිධානය පවා චීන එන්නතට අනුමැතිය ලබා දීමට මාස 03ට වඩා කල් ගත්තේය. 1945 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන අරක් ගෙන සිටියේ යටත් විජිත මතධාරීන්ය. විද්‍යාඥයින් වුවද, ඔවුනට දේශපාලනයක් තිබුණි. UNCTAD සංවිධානයේ අධිපති ධුරයට පත් ආචාර්ය ගාමිණි කොරයා, එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ තුන්වන ලෝකයේ ආර්ථිකයන්ට අත දෙන ක‍්‍රමවේද නිර්මාණය කළ බැවිනි.

WHO පන්ති දේශපාලනය

WHO අනුමැතිය අවශ්‍ය බව අපේ වෛද්‍යවරු, විද්‍යාඥයින්ද කියා සිටියහ. චීන එන්නත ලක්ෂ 06ක් ලැබුණද, එය පාවිච්චි කිරීමට රජයට අවශ්‍ය වුවද, නිලධාරි පැලැන්තිය විද්‍යාවේ මුවාවෙන් හරස් වූයේ තම දේශපාලනයට අනුවය. WHO ලොක්කාට දුරකතනයෙන් කතා කිරීමට ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිට සිදුවිය. අපේ ඊනියා විශේෂඥ කමිටුවල අනුමැතිය ලැබුණේ WHO අනුමැතියෙන් පසුවය. එහෙත් ඒ වන විට WHO අනුමැතිය නොමැතිව ඇමරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ එන්නත් භාවිතයට ගැනීමට ඒ රටවල රාජ්‍ය නායකයෝ තීරණය කොට තිබුණි. බ‍්‍රසීලයේ වෛද්‍යවරුන් චීන සහ රුසියානු එන්නත ගෙන්වා ගත්තේ බ‍්‍රසීල ජනාධිපතිගේ විරෝධතා මැදය. රුසියාව තම ජනතාවට එන්නත ලබා දුන්නේ WHO අනුමැතිය නොලබාය. මෙතැන පැවතියේ දේශපාලනයකි.කොවිඞ් -19 නිරාවරණය කළ තවත් සාධනීය පැතිකඩකි, WHO එකේ පන්ති දේශපාලනය යටත් කිරීමට හැකිවීම.

අධිරාජ්‍යවාදය දුබල වීම

කොවිඞ් -19 නිරාවරණය කළ තවත් යථාර්ථයකි අධිරාජ්‍යවාදයේ මවාගත් බලමහිමය සුපිරි බලවත්, කලක් එකම න්‍යෂ්ඨික බලවතා වූ ඇමරිකාවේ සැබෑ තත්ත්වය දැන් මුඵමනින්ම අනාවරණය වී තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලය කේන්ද්‍රගත වී තිබුණේ ආර්ථිකයේ පහත දැක්වෙන ඒකාධිකාරි ක්ෂේත‍්‍රයන් හයක් මතය.

අවි නිෂ්පාදනය, තෙල් නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, මූල්‍ය බලය (ඩොලරය), ඖෂධ කර්මාන්ත සහ මාධ්‍ය ජාලාව එම ක්ෂේත‍්‍රයන් හයය. මෙම ක්ෂේත‍්‍රයන් හයේම බලය හීන වී තිබේ. එය සිදු වූයේ චීන ආර්ථිකය දෙවන ලෝක ආර්ථික බලවතා වීමට සමගාමීවය. මහජන සෞඛ්‍ය පද්ධතියන් නැති වීම නිසා කොරෝනාව පාලනය කිරීමට බැරිවිය. එන්නත තුළින් ඩොලර් එකතු කිරීමද චීන සහ රුසියානු එන්නත නිසා ව්‍යර්ථ විය. යුද්ධ නොමැති නිසා අවි නිෂ්පාදනය අර්බුදයකය. මැද පෙරදිග රුසියාව සහ ඉරානය නිසා තෙල් අධිකාරය අහෝසි විය. චීනය ලොවේ කාර්මික බලවතා බවට පත්ව ඇත. චීනය ලොවේ ප‍්‍රධාන අපනයනකරු සහ ආනයනකරුය. චීනය ලොවේ ප‍්‍රධාන විදේශ විනිමය සංචිතයයි. එමගින් ඩොලර් තර්ජනයට ලක්වෙමින් තිබේ. මාධ්‍ය ජාලාවේ ඒකාධිකාරයද හීනවී තිබේ.

කොවිඞ් -19 තුළින් අධිරාජ්‍යවාදයේ ගරා වැටීමද දැක ගත හැකිවිය. ලොව වෙනස් වෙමින් පවතින බව පෙන්නුම් කරයි. සිදුවන දේ තේරුම් ගැනීමට නම්, ලෝක දේශපාලනය මාක්ස්වාදී කෝණයෙන් බැලිය යුතුය. හුදෙක් ආර්ථික විද්‍යා කෝණයෙන් නොව දේශපාලන ආර්ථික කෝණයෙන්ද බැලිය යුතුය. කොරෝනා ගෝලීය වසංගතය සහ එන්නතේ පන්ති දේශපාලනය.

-දේශපාලන ලියුම්කරු විසිනි –