counter hit xanga
March 26, 2023

“ජන සභා” අපට මොනවටද?

Last Updated on October 3, 2022 by Lankae Cast

“ජන සභා” ගැන මෑත කතාව ආරම්භ කෙරුණේ නිර්දේශපාලනික යැයි හා සියල්ලන් නායකයින් යැයි කියූ ගාලු මුවදොර පිටියෙහි රොද බැඳුණු සාමකාමී තරුණ විරෝධය පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැදිහත්ව ප්‍රචණ්ඩ ලෙස ඉන් පිටතට ගෙන ගිය පසුවය. ව්‍යවස්ථාමය ක්‍රියාවලියට පිටතින් අගමැති හා ජනාධිපති ඉවත් කළ හැකි වූයේ ඔවුන්ගේ දේශපාලනය නිසා යැයි ගණන් හැදූ පෙරටුගාමී නායකත්වය රාජ්‍ය බලය ගැනීමේ “ඊළඟ පියවර”සඳහා උපාමාර්ග සාකච්ඡා කරන්නට වූයේ ජන බලයක් ගැන ඔවුන් සතුවූ අධි තක්සේරුව සමගිනි. “ජන සභා” ගැන කතාව ඒ සමගින් ඔවුන් ඔවුන්ගේ දේශපාලන ජාලවල කතා වන්නට පටන් ගත්තකි.

මැතිවරණ සඳහා ගමට ගොඩ බසින්නට එහි තිබූ ආකර්ශනය හේතුවෙන් ජ.වි.පෙ පිටුපසින් සිටියදී ජාතික ජන බලවේගයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අනුග්‍රහයත් දැන් ජන සභා හැදීමට මැදිහත්ව ඇත. ජන සභා යනු දිගු ඉතිහාසයක් ඇති ආරම්භක අවදියේ ජනතාවගේ දේශපාලන මැදිහත්වීම් සමගින් ප්‍රජා මට්ටමේ ඇති වූ ස්වාධීන සංවිධාන ව්‍යුහයන් ය.

මෙය ඒ සම්බන්ධයෙන් ලියැවෙන ඉතාම කෙටි සටහනකි.

ජාත්‍යන්තරයේ කතා සැකෙවින්

එවැනි පළමු අත්දැකීමක් සටහන් වන්නේ සාර් රුසියාවෙහි ය. 1905 රුසියානු විප්ලවයට සටන් පාඨ ඉදිරිපත් වූයේ ගොවීන්ට ඉඩම් මෙන්ම දේශපාලන වශයෙන් සාර් රාජාණ්ඩුව වෙනුවට ජනතා නියෝජනයක් සහිත ව්‍යවස්ථාමය ආණ්ඩු පාලනයක් වෙනුවෙනි. එහි කැඳවුම්කරුවන් ගණනාවක් සිටියහ. ප්‍රධාන වූයේ ලිබරල්වාදී එකමුතුව ය. ජනවාරියේ දියත් කෙරුණු මෘග මර්දනයේ කෲරතම ලේ වැකි ඉරිදාවෙන් පසු අප්‍රේල් වනවිට සාර් පාලනයට නතුව තිබූ පින්ලන්තය, ජෝර්ජියාව, පෝලන්තය සහ බෝල්ටික් ප්‍රාන්ත වලටද විරෝධතා පැතිර ගොස් සාර් අධිරාජ්‍ය පුරා කැරළිකාරී තත්ත්වයක් ඇති විය. ඇතැම් ප්‍රදේශවල සාර්වාදී සාම්ප්‍රදායික නාගරික ආගමික කණ්ඩායම් සමග යුදෙව් විරෝධී සාර් පාලනයේ නිලධර පිරිස් සහ පොලීසියේ බලධාරීන්ද හවුල් වූ “කලු සතක” කණ්ඩායම් සාර් හමුදාවේ සහාය ඇතිව කැරළිකරුවන් සමග ගැටුනි.

ඒ කැරළිකාරී පසුබිමෙහි ජුලි-අගෝස්තු වනවිට සාර් පාලනයට එරෙහි මහා වැඩ වර්ජන ඇති විය. ලිබරල්වාදී එකමුතුව ප්‍රාදේශීයව ස්වාධීන “නියෝජන සභා” පිහිටුවා ගැනීමට යෝජනා ඉදිරිපත් කළහ. රුසියාවෙන් පිටමං වූ ලෙනින් නොසිටි බොල්ෂෙවික් පක්ෂය “නියෝජන සභා” පිහිටු වීමට විරුද්ධ විය. මෙන්ෂෙවික්වරුන් සහ ට්‍රොට්ස්කි කම්කරුවන්ට සහ ගොවීන්ට නියෝජන සභා පිහිටුවා ගැනීමට ඇරයුම් කළහ.

පළමු එවැනි කමිටුවක් හැදුනේ ඉවානොවො-වොස්නෙසෙන්ස්ක් කාර්මික ප්‍රදේශයේ ය. සාන්ත පීටර්ස්බර්ග්හි ඉතා සාර්ථක වැඩ වර්ජන සංවිධානය කෙරුණේ “සෝවියට්” යැයි නම් ලැබූ මේ ස්වාධීන සේවක නියෝජන සභා විසින් ය. වැඩ වර්ජන මෙහෙයවීමේ සිට ප්‍රදේශය පාලනය කිරීම දක්වා සාන්ත පීටර්ස්බර්ග් හෙවත් පෙත්‍රොගාද් ඇතුළු නගර කිහිපයක සෝවියට් කිහිපයක් වර්ධනය විය. 1917 ඔක්තෝම්බර විප්ලවය වනවිට කම්කරු සෝවියට් බොහෝමයක් ඉතා ශක්තිමත්ව තහවුරුව තිබිණ. ඔවුන්ගේ තොරතුරු ජාල, සටන් හා ආරක්ෂක සැළසුම් ක්‍රියාත්මක කළ හැකි කලමනාකරණ හැකියාවකුත් වර්ධනය කරගෙන තිබිණ. එවැනිම තත්ත්වයෙන් නොවුනත් ගොවි සෝවියට්ද හැදී තිබිණ.

“මයි ලයිෆ්” මැයෙන් සිය ස්වයංචරිතාපදානය ලියූ ලියොන් ට්‍රොට්ස්කි කම්කරු හා ගොවි සෝවියට් ගැන තැබූ සටහන් අතුරින් එක් තැනක ලියා තිබුණේ “විප්ලවීය විනාසයක් යනු මහා නාය යෑමක් හෝ ගංවතුරක් වැනි විනාසයක් නොවේ. විප්ලවවාදී හෙයියම්මාරුවක් සමග ක්ෂණිකව නව බලාධිකාරී ක්‍රියාවලියක හැඩ තල හැදෙන්නේය. නව අදහස් සහ මිනිසුන් ස්වභාවිකවම එහි නව මං සොයමින් ඒ ඔස්සේ පැතිර යති,” යනුවෙන් ය.

ඔහු ඉන් කියූවේ 1905 අසම්පූර්ණ රුසියානු විප්ලවයෙහි ඉස්මතු වූ සෝවියට් සභා සමග වූ නව අධිකාරී ක්‍රියාවලියෙහි සංකල්පීය විකාශනය පිළිබඳව ය. එය 1905 දී නව අත්දැකීමක් වූ පසු 1917 ඔක්තෝම්බර විප්ලවය ආරම්භයේදීම සෝවියට් යනු විප්ලවවාදී ජනතා සංවිධාන ජාලයක් වූවකි. එය එවර හුදෙක් ස්වාධීන කම්කරු හා ගොවි සෝවියට් වශයෙන් පමණක් නොව, බෙල්ෂෙවිකයින්ගේ නව අධිකාරී බලය ගොනු කෙරුණු විකල්ප රාජ්‍ය බලයේ පෙරහුරුවක්ද විය.

දෙවන අත්දැකීමක් වශයෙන් ආසියානු කලාපයේ ජන සභා පළමුව සඳහන් වන්නේ පැරණි නොබෙදුණු කොරියාවෙහි ය. ඒවා දේශපාලන නායකත්වයක මැදිහත්වීමකින් තොරව සමාජයේ පහළ මට්ටමේ ප්‍රජා අවශ්‍යතා වෙනුවෙන් ජනතාව හදා ගත් සංවිධාන විය. දෙවන ලෝක යුද්ධය අවසානය වනවිට කොරියාව පුරා ජන සභා හැදෙන්නට වූයේ ආණ්ඩු පාලනයක අධිකාරී බලයක් සමාජයේ පහළ මට්ටමට නොදැණුනු හෙයිනි. සරළ තේරුමෙන් 1945 වනවිට කොරියානු සමාජය අරාජික වූ හෙයිනි. එක පැත්තකින් සෝවියට් රුසියානු හමුදා කොරියාවට ඇතුලු වන්නට විය. අනෙක් පැත්තෙන් ජපන් ආක්‍රමණික හමුදා ඉවත්ව යන්නට විය. ඒ විදේශ බල ගැටුම් සමග රටේ පාලනයට වගකිව හැකි ආණ්ඩුවක් ඉතිරි නොවුනි. එබැවින් කොරියානු ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා යම් සංවිධානාත්මක අධිකාරයක් අවශ්‍ය විය. ඔවුන්ගේම ඓනිද්‍රීය ජන සභා පිහිටුවා ගැනීම ඊට ඔවුන්ගේ විසඳුම විය. පහළ සමාජයේ ඓන්ද්‍රීය සභා ලෙස ඒවා පැවතියේ වසර දෙක තුනක් පමණි. 1948 න් පසු දෙබෑ වූ කොරියාවේ උතුරෙහි ජන සභා රාජ්‍යගත කෙරිණ. දකුණු කොරියාවේ සියල්ල සීඝ්‍රයෙන් තලා දැමුණි.

අපේ ජන සභා අත්දැකීම්

අපේ රටේද “ජන සභා” යනු වසර 50 ට ආසන්න පැරණි කතාවකි. එය 1968 දියත් කෙරුණු ශ්‍රී.ල.නි.ප, සමසමාජ හා ශ්‍රී ලංකාවේ කො.පය එකතුවී හදා ගත් සමගි පෙරමුණු සන්ධානයේ දේශපාලන ප්‍රකාශනයෙහි සඳහන්ව තිබුණකි. එහි ජන සභා නම් කර තිබූයේ “ජනතා කමිටු” වශයෙනි. ඉන් අරමුණු කෙරුණේ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල කටයුතු ජනතා අධීක්ෂණයට හා නියාමනයට යටත් කිරීමෙන් ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ දැමීමත් නව නිෂ්පාදන සැළසුම් සැකසීමේදී ජනතා අභිලාෂ සඳහා අවකාශ හැදීමත් ය. ඒ වෙනුවෙන් 1971 අංක 16 නමින් ජනතා කමිටු පනතක්ද සම්මත කෙරුණි.

එකී පනත විසින් ජනතා කමිටු දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට හා ජනතා කමිටු කොමසාරිස්වරයෙකු පත් කිරීමට ප්‍රතිපාදන තිබිණ. ප්‍රාදේශීය නිර්දේශ මත ජනතා කමිටු සාමාජිකයින් පත් කිරීම කොමසාරිස්වරයාගේ වගකීම විය. ජනතා කමිටු වසරකට වැඩි කලක් සක්‍රීයව නොපැවතින. ඒසේ පැවතියේද වැඩිමනත් සමසමාජ දේශපාලන බලපෑම පැවති ප්‍රදේශ වලය.

ඉන් වසර 40 ට පමණ පසු රාජපක්ෂ පාලනය විසින් 2010 දී ජන සභා 14,400 ක් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල පිහිටුවීමට සැළසුම් කෙරිණ. ඒ වෙනුවෙන්ද වෙනම ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලැබිණ. ඒවා මගින් සියලු සංවර්ධන සැළසුම් ක්‍රියාවට නගන බවට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති මාධ්‍යයට කියා තිබුණි. එහෙත් එයද ‘70 සභාග ආණ්ඩුවේ මෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් විය.

ජන සභා සංයුති සහ දේශපාලනය

ඉතිහාසයෙහි හමුවන මේ ජන සභා සතු ආකෘතීන් දළ වශයෙන් තුනකි. පළමුව 1905 දී හමුවන සාර් රුසියාවෙහි ජන සභා ආකෘතිය ප්‍රජාතන්ත්‍රවාදී ජන නියෝජනයක් සහිත විශේෂයෙන් නාගරික හා ග්‍රාමීය මැදපංතික ස්වාධීන නියෝජන සභා විය. නගරයේ එවැනි සභා බොහෝ දුරට කම්කරු නියෝජනයේ හයියෙන් ක්‍රියාත්මක විය. දේශපාලන සංවිධාන එවැනි ජනතා නියෝජන වෙනුවෙන් පෙනී සිටියත් 1905 දී එම සංවිධාන හැදෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශන වශයෙනි.

මෙහි ඇත්ත ස්වාධීන හා සක්‍රීය පැවැත්ම දැකිය හැක්කෙ 1945 – 46 කාලයේ ඇති වූ කොරියානු ජන සභා අතර ය. ඒවා පිහිටු වන්නට සාර් රුසියාවේ මෙන් දේශපාලන උනන්දු කිරීම් හා කැඳවීම් නොතිබුණි. ඒ සඳහා උත්තේජනයක් වූයේ ආණ්ඩු පාලනය බිඳ වැටීමෙන් ඇති වූ අරාජික තත්ත්වය තුල සාමාන්‍ය එදිනෙදා දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට සාමාන්‍ය ජනතාවට තිබූ අවශ්‍යතාවය විය. මෙය සෘජු දේශපාලනයෙන් නිදහස් ජන සභා ආකෘතියකි.

දෙවන ආකෘතිය මුල් රුසියානු ජන සභාවල ඓන්ද්‍රීය උත්පත්තියෙන් ලද ස්වාධීනත්වය දේශපාලනික න්‍යාය පත්‍රයකට මාරු වූවක් විය. ඒවා බොහෝමයක් 1917 ඔක්තෝම්බර විප්ලවය වෙනුවෙන් බොල්ෂෙවිකයන්ගේ සෘජු මැදිහත්වීම් ඇතිව තහවුරු කෙරුණු “සෝවියට්” විය. එබැවින් ඉතා ක්‍රියාකාරී සෝවියට්වල කම්කරු නියෝජනය විශාල වූ අතර ඒවායේ නායකත්ව කාර්ය භාරය බොහෝවිට බොල්ෂෙවික් සාමාජිකයින් අත රඳවා ගත්තකි.

රුසියානු ඔක්තෝම්බර (1917) විප්ලවයේ විකල්ප රාජ්‍ය පාලන ව්‍යුහය සැදුණේ බොල්ෂෙවිකයින් හැදූ එවැනි සෝවියට් වලිනි. එකල රුසියානු අග නුවර වූ පෙත්‍රොගාද් හි ට්‍රොට්ස්කි සභාපතිත්වය දැරූ සෝවියට් සභාව විප්ලවීය ජාතික බල මධ්‍යස්ථානය වශයෙන් ඉස්මතු වූයේද බොල්ෂෙවික් දේශපාලනය සමගින්ය. එයට හේතු වූයේ අනෙක් සෝවියට් සභා සම්බන්ධීකරණය කිරීමේ සහ දේශපාලන තීන්දු ගැනීමේදී එය ඉතා කාර්යශීලී බෝල්ෂෙවික් නියෝජන සභාවක් වූයෙනි.

මේ ආකෘතීන් දෙකටම වෙනස් තෙවැන්න රාජ්‍යවාදී ජන සභා වර්ගයකි. එය අපගේ ජන සභා පිළිබඳ අත්දැකීම ය. ආණ්ඩුව හෝ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ මැදිහත්ව ප්‍රාදේශීය ප්‍රජා සංවිධාන හැදීමත් ඒ වෙනුවෙන් නීති සකසා ගැනීමත් සිදු කෙරෙන්නේ ය. නැතිනම් රාජ්‍ය ආයතන යොදා ගෙන ප්‍රජා සංවිධාන පිහිටවනු ලබන්නේය. ඒවාට “ජන සභා, ජනතා කමිටු, සේවක සභා” නැතිනම් “සංවර්ධන කමිටු” වැනි හැඳින්වීම් දෙනු ලැබේ. එවැනි උත්සාහ “ජන සභා” පෙනුම ලබන්නේ සමාජයේ පහළ තලයේ ප්‍රාදේශීය හෝ සේවා ස්ථානවල කුඩා ප්‍රජා සමූහ ලෙස පුද්ගලයින් සංවිධානගත කර ගැනීමෙහි ය. කවර නමකින් හැඳින් වූවත් ඒවා මෙහෙය වනු ලබන්නේ ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙනි.

ජන සභා සතු ආකර්ශනය

ජන සභා අපේ රටේ වාමගාමී දේශපාලනයෙන් ඔබ්බට ජනප්‍රිය දේශපාලනයේද සටන් පාඨයක් බවට පත් වූවකි. බොහෝ වාමගාමී දේශපාලන පක්ෂ දැන් “ජන සභා” යැයි කතා කරන්නේ දේශපාලන බලය හා ගැටිය හැකි රුසියානු ජන සභා ආකෘතියට ය. එය සෘජු දේශපාලනික ආකෘතියකි.

ජන සභා යෝජනා වූ වහා එයට වමේ, මැද හා දකුණේ න්‍යාය පත්‍ර තුනක් සමග අත ගැසීම් මේ වනවිට දැකිය හැකිය. පළමු වමේ යෝජනාව වූයේ මතු “අරගලය” වෙනුවෙන් ප්‍රාදේශීයව ජනතාව ගොනුකර ගැනීම වෙනුවෙනි. එබැවින් ඒ යෝජනාව රුසියානු “සෝවියට්” කොපි කිරීමක් වැනි උත්සාහයකි.

එහෙත් පවතින ආර්ථික බිඳ වැටීම තුල අපේ සමාජය හැසිරෙන්නේ 1905 හෝ 1917 රුසියානු සමාජය ලෙස නොවේ. එදා රුසියානු සමාජය සාමුහිකත්වය අත්විඳි සමාජයකි. සමාජ පැවැත්ම වෙනුවෙන් “සහභාගිත්ව” ගනුදෙනුවක් තිබුණකි. ඒ සාමුහිකත්වයෙහි පරාර්ථකාමී සදාචාරයක් රැකුණි. එනිසා ඔවුහු පොදු ඉලක්කයක් වෙනුවෙන් සෝවියට් සභා ලෙස ඒකරාශි වූහ.

අපේ මේ සමාජයේ ඒ සියල්ල විවෘත වෙළඳපල ආර්ථිකය විසින් බිඳ දමා ඇත. සදාචාරයක් නැති සමාජ වටිනාකම් කණපිට හරවා ඇති, තනිව රජ වන්නට තරග වදින ආත්මාර්ථකාමී සමාජයක සෝවියට් පන්නයේ ඓන්ද්‍රීය ජන සභා පිහිටුවීම පහසු නැත. එබැවින් මෙහි වැඩි ඉඩක් ඇත්තේ දේශපාලන සංවිධානයකට තමන්ගේ සාමාජික හිතවතුන් සමගින් තවත් කිහිප දෙනෙකු හවුල් කර ගන්නා ප්‍රාදේශීය කමිටු ජන සභා ලෙස නම්කර ගැනීමට ය.

රාජ්‍ය බලය සමගින් එවැනි කමිටු හැදීමේ ඉඩ ඇත්තේද මෙය තරගකාරී ආත්මාර්ථකාමී සමාජයක් වන හෙයින් ය. ආණ්ඩුවේ දේශපාලනය සමග ගැට ගැසීමෙන් වාසි ලැබිය හැකි යැයි මේ සමස්ථ සමාජයම බාල දේශපාලන සංස්කෘතියකට නතුව ඇති හෙයින් ය. එබැවින් රාජ්‍ය හැදිහත්වීම් සමග පිහිටුවනු ලබන ජන සභා ප්‍රාදේශීය දේශපාලනය හා රාජ්‍ය බලය සමග පැවතෙන්නකි. එහෙත් ඒවාට කමිටුවෙන් පිට සහෘද හවුලක් හැදෙන්නේ නැත.

ජන බලය

වඩා වැදගත් වන්නේ සැවොම සමාජයේ පහළ ස්ථර ප්‍රජා මට්ටමෙන් ගොනු කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ය. එය කොරියානු අත්දැකීමට වඩා රුසියානු අත්දැකීමේ ආස්වාදය හේතුවෙනි. පහළ සමාජයේ ප්‍රජාව රාජ්‍ය බලයට විකල්ප ජනතා බලයක් ලෙස රට පුරා සංවිධානාත්මකව ගොනු කළ හැකි යැයි 1917 රුසියානු ඔක්තෝම්බර විප්ලවයේ ඉතිහාස කතාව පෙන්වන හෙයිනි.

රුසියාවේ මෙන් සෝවියට් වැනි ජන සභා නොවුනත් විශේෂයෙන් මැනිලා නගරය පුරා දිග හැරුණු පිලිපීනයේ 1986 පෙබරවාරි ජනතා නැගිටීමද සාමාන්‍ය ජනතා ශක්තිය මතින් රාජ්‍ය නායකයින් ඉවත් කළ හැකි බැව් ඔප්පු කෙරුවකි. එහි ආසන්නම උණුසුම් අත්දැකීම ඇත්තේ අපට ය. ජනතා අපේක්ෂාවන් කවුරුන් විසින් හෝ එක් ගොනුවකට කැඳවූ පසු රාජ්‍ය නායකත්වය ඉවත් කිරීමේ බලයක් ඇතැයි අප්‍රේල් – ජුලි ජනතා විරෝධතා පෙන් වූවකි.

අප පිලිපීනයෙන් සැළකිය යුතු අයුරු වෙනස් වන්නේ ඒ ජනතා බලයට පිලිපීනයේ පැහැදිලි නායකත්වයක් කොරසන් අඛිනෝ සමග පැවති අතර, පාරට පැමිණි ජනතාව මෙහෙය වූ සංවිධාන බලය පිලිපීනයේ කතෝලික පල්ලිය විසින් ලබා දීම ය. එහෙත් අපේ පාරට පැමිණි ජනතාවට එවැනි නායකත්වයක් නොවුනි. එවැනි සංවිධානාත්මක මෙහෙයවීමක්ද නොවුනි. එබැවින් මෙහි මතු වූයේ අරාජික ජනතා බලයකි. එය කාට වූවත් මංකොල්ල කෑ හැකි වූවකි.

එනිසා ජන සභා හෝ සේවක සභා ලෙස එවැනි ප්‍රජා සංවිධාන ජාලයක් හැදීමේ වාසිය ඇත්තේ බලය ප්‍රදර්ශනය කරන්නාවූ ජනතාවට යැයි හැමෝම සිතන නමුත් ඔක්තෝම්බර විප්ලවයේදීවත් එය ජනතාවගේ වාසියට ඉතිරි නොවුනි.

ඊට ඇති කෙටි උත්තරය නම්, අඩු දියුණු, වැඩවසම්වාදී හෝ ගෝත්‍රවාදී සංස්කෘතීන් සමගින් වන ආසියානු සහ අප්‍රිකානු සමාජයන්හි නැවත දේශපාලන ප්‍රභූ පැලැන්ති හැදෙන අතර ඔවුන්ගේ අභිමතයට අනුව බලය තීන්දු වන්නේ ය.

කුසල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක