counter hit xanga
March 26, 2023

යුද්දෙ නිසා වැඩිපුරම විඳවන්නේ කාන්තාව…

Last Updated on March 8, 2022 by Desman Chathuranga

යුද්දෙ නිසා වැඩිපුරම විඳවන්නේ කාන්තාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.BMICH හි පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම -2022ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රටේ තීරණාත්මක පිරිස බවට කාන්තාවෝ පත්ව ඇති බවයි.

“යුක්රේනය, රුසියාව ගහගත්තත් අමෙරිකාව, ඉරාකය ගහ ගත්තත් වැඩිපුරම විඳවන්නේ කාන්තාව.ඒ වගේ අන්ත තත්ත්වයක් තමයි වසර තිහක් තිස්සේ ලංකාවෙත් තිබුණේ. උතුරේ දැරිවියන්ව බලෙන් කොටි යුද්දෙට ඇදගෙන ගියා. යුද්දෙට ගිය අයගෙ බිරින්දෑවරු දහස් ගණනක් වැන්දඹුවො වුණා. හැමදාම දකුණේ කොහේ හෝ ගෙදරකට උතුරේ යුද්දෙන් මිය ගිය තරුණයකුගෙ මිනියක් ගේනවා. උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල කාන්තාවෝ දහස් ගණන් මර බයේ ජීවත් වුණා.”

“වසර තිහක් දුක් විඳපු කාන්තාවන් තමයි යුද්දෙ නිමා වුණහම වැඩිපුරම සතුටු වුණේ. අපේ රටේ යුද්ධය ඉවර කිරීම තමයි උපන් නූපන් කාන්තාවන්ට කරන්න පුළුවන් වුන ලොකුම සේවය. ඒ බව මම ඉතාම ආඩම්බරයෙන් කියන්න ඕනෑ.නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ කාන්තාවන්ට එබදු බයක් ආයෙත් ඇති වුණා. නමුත් ජාතික ආරක්ෂාව තහවුරු කරලා ආයෙත් එබදු බයක් කාන්තාවන්ට උදා නොවෙන්න වග බලාගෙන තිබෙන බවත් මම කියන්න ඕනෑ.”

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම -2022ට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙසේ ද කීවේය.

නොයෙක් ආකාරයේ ප්‍රශ්න මැද්දේ වුණත් අද අපි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න අමතක කරන්නෙ නෑ. අපි විතරක් නොවෙයි ලෝකයේ බොහොමයක් රටවල් නොයෙක් බරපතල ප්‍රශ්නවලට මුහුණ දීලා සිටියත් මේ ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න අමතක කරලා නෑ. ඒ ගැන අපි ඉතාම සතුටු වෙනවා.
සහෝදරියනි,

මේ ජාත්‍යන්තර කාන්තා දිනයේ, මම කැමැතියි අපේ රටට වාගේම මගේ දේශපාලන ජීවිතයටත් විශාල ආදර්ශයක් ලැබුණු කාන්තාවක් ගැන මතක් කරන්න. එතුමිය තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.

මම 1970 ලංකාවේ ලාබාලම මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට යන කොට මගේ නායිකාව වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එතුමිය තමයි මම දේශපාලනයේ දැක්ක නිර්භීතම නායිකාව. ඒ වාගේම රටට ආදරේ, ජාතික හැඟීමක්, දේශීය හැඟීමක් ඇතිව රට මෙහෙයවපු නායිකාව. ලංකාවේ තිබුණ විදේශයන් සතු කොම්පැණි ජනසතු කළා. එදා ඒක ලොකු නිර්භීත පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. විදේශ කොම්පැණි සතුව තිබුණ වතු ජනසතු කළා. එහෙම කරලා නතර කළේ නෑ.

එතුමිය සිය රට දේ සිරිසැප දේ කියලා අපේ රටේ දේශීය ආර්ථිකය ගොඩනගන්න නිර්භීතව වැඩ කළා. ලංකාව ගොවිතැනින් ස්වයංපෝෂණය කරන්න දේශීය කර්මාන්ත දියුණු කරන්න දැවැන්ත අධිෂ්ඨානයකින් වැඩ කළ නායිකාව තමයි සිරිමාවෝ මැතිනිය. මම හිතනවා ඒ තමයි ලංකාවේ ගෑනුකම.

රට ස්වයංපෝෂණය කරන්න දේශීය ආර්ථිකයක් ගොඩ නගන්න කැප වෙලා නිර්භීතව වැඩ කරනකොට එදා එතුමියට විශාල විවේචනවලට වාගේම අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අද වාගේම තමයි. දේශීය ආර්ථිකයක් ගොඩනගන්න කහ පැලේ ඉඳන් අපේ දේ අපි හදාගන්න හදනකොට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුහුණ දුන්න අභියෝග ප්‍රශ්න සියල්ලට අපිත් මුහුණ දෙනවා. අපි දන්නවා අපේ රටේ කාන්තාවන් ප්‍රාර්ථනා කරන දේවල්, කාන්තාවන් රටේ ස්වාධීනත්වය ගැන හිතන විදිය. ඒ අයගෙ ප්‍රාර්ථනා ඉටු කරන්න ඕනෑ.

සහෝදරියනි,

ලෝකෙම පිළිගත්ත එක දෙයක් තමයි කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය යුද්ධය බව. යුද්දෙ නිසා කාන්තාවන්ට තමයි වැඩිපුරම වේදනා විඳින්න වෙන්නෙ. යුක්රේනය, රුසියාව ගහගත්තත් අමෙරිකාව, ඉරාකය ගහ ගත්තත් වැඩිපුරම විඳවන්නේ කාන්තාව.ඒ වගේ අන්ත තත්ත්වයක් තමයි වසර තිහක් තිස්සේ ලංකාවෙත් තිබුණේ. උතුරේ දැරිවියන්ව බලෙන් කොටි යුද්දෙට ඇදගෙන ගියා. යුද්දෙට ගිය අයගෙ බිරින්දෑවරු දහස් ගණනක් වැන්දඹුවො වුණා. හැමදාම දකුණේ කොහේ හෝ ගෙදරකට උතුරේ යුද්දෙන් මිය ගිය තරුණයකුගෙ මිනියක් ගේනවා. උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල කාන්තාවෝ දහස් ගණන් මර බයේ ජීවත් වුණා.

වසර තිහක් දුක් විඳපු කාන්තාවන් තමයි යුද්දෙ නිමා වුණහම වැඩිපුරම සතුටු වුණේ. අපේ රටේ යුද්ධය ඉවර කිරීම තමයි උපන් නූපන් කාන්තාවන්ට කරන්න පුළුවන් වුන ලොකුම සේවය. ඒ බව මම ඉතාම ආඩම්බරයෙන් කියන්න ඕනෑ.නමුත් පාස්කු ප්‍රහාරයත් එක්ක අපේ රටේ කාන්තාවන්ට එබදු බයක් ආයෙත් ඇති වුණා. නමුත් ජාතික ආරක්ෂාව තහවුරු කරලා ආයෙත් එබදු බයක් කාන්තාවන්ට උදා නොවෙන්න වග බලාගෙන තිබෙන බවත් මම කියන්න ඕනෑ.

සොහොයුරියනි,

අපි දන්නවා ලෝකෙ වාගේම අපේ රටේත් කාන්තාවන් හැම ක්ෂේත්‍රයකම වේගයෙන් ඉදිරියට එන බව. අපේ රටේත් තීරණාත්මක පිරිස බවට පත්වෙලා ඉන්නෙ කාන්තාවො.
කොරෝනා අර්බුදය නිසා කාන්තාවන්ට විදේශ ගතවීම නතර කරන්න වුණා. අද ඇති වෙලා තියෙන ඩොලර් අර්බුදයට ඒ නතරවීමත් එක ප්‍රශ්නයක්. ඇඟලුම්වලින්, තේ දල්ලෙන් මේ රටට ඩොලර් ගෙනාවේ කාන්තාවන්. අපි වතුකරේ පඩිය වැඩි කළහම ඒකෙන් වැඩිපුරම ප්‍රතිලාබ ලබන්නේ කාන්තාවන්.ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘත කළොත් ඒකෙන් වැඩිපුරම ප්‍රතිඵල ලබන්නේ කාන්තාවො. ඒ විතරක් නොවෙයි අද විශ්වවිද්‍යාලවලට වැඩිපුරම ඇතුළත් වෙන්නේ කාන්තාවො බව පේනවා.

මේ උත්සවයෙන් පස්සේ කාන්තා පාසල් 08ක් සහ මිශ්‍ර පාසල් 02 ක් ජාතික පාසල් කරන උත්සවයකටත් මම සහභාගී වෙනවා. අපේ දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමතිතුමා, රාජ්‍ය අමාත්‍යතුමන්ලාත් ඒ සියල්ල කරන්නෙත් කාන්තා දිනයට සමගාමීව බව කියන්න ඕනෙ. මේ හැමදේම කරන්නෙත් මේ රටේ කාන්තාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි.

අපි අද බොහොම අසීරු තත්ත්වයක ඉන්න බව අපි පිළිගන්නවා. විදුලිය, ඩීසල්, ගෑස් හිඟ වෙනකොට අපේ රටේ කාන්තාවො දුක්විඳින බව අපි දන්නවා.මේ ළඟදි ජනාධිපතිතුමාගෙ ගෙදර ඉස්සරහට ගිය කාන්තාවක් මේ ගැන එතුමා දන්නවද කියලා ඇහුවා. කවුරුවත් කියන්න ඕන නෑ ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා. මට මතකයි දෙවැනි කොරෝනා රැල්ල වෙලාවේ ඔය කට්ටිය ජනාධිපතිතුමාට බල කළා රට වහන්න කියලා. වැහුවෙ නැත්නම් ස්වයං ලොක්ඩවුන් කර ගන්නවා කිව්වා. එහෙම රටක් මාස ගණනක් වැහුවාම ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටෙන බව වහන්න කියපු අය දැනගෙන හිටියා.

රට වහලා ගාමන්ට් ඇරල තියෙනකොට ගාමන්ට් වහන්න ගාමන්ට් පොකුරක් හැදෙයි කියලා ඒකත් වහන්න ඒ අය බලපෑම් කළා. එදා රට වැහුවාම මීට වඩා ජනතාවට විපාක විඳින්න සිද්ධ වෙන බව ජාතිය අමතලා කියලා තමයි ජනාධිපතිතුමා රට වැහුවේ. නමුත් අද ඒක ඇත්ත වෙලා තියෙනවා. අද රට වහන්න කියපු අය කවුරුවත් දුක් විඳින ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.

ඒ විතරක් නොවෙයි අපිව පරාද කරලා 2015 ගෙදර යැව්වා. ඒ වෙනකොට අපි නොරොච්චෝලෙ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් අවුරුදු අටක් තුළ ඉදි කරලයි ගෙදර ගියේ.නමුත් 2015 ඉඳන් යහපාලන ආණ්ඩුව එක මෙගාවොට් එකක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කළේ නෑ. එහෙම අය අද පන්දම් අරගෙන විදුලි කප්පාදුවට එරෙහිව පෙළපාළි යනවා. ඒ යන කාටවත් මතක නෑ එක මෙගාවොට් එකක්වත් ඒ ගොල්ලො එකතු කළේ නැති බව.

ආදරණීය සොයුරියනි,

මේ තිබෙන දුෂ්කරතා විතරක් නොවෙයි, ඒවා ඇති වීමට බලපෑ හේතුත් තේරුම් ගන්න. අපි පක්ෂ භේදයක් නැතිව මේ ගැන හිතමු. මේ දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් වැඩ කරමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!