මෙම වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවත් එහි අනුපාතය 5% ක මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. BBC ය සමග එක්වෙමින් මහ බැංකුවේ අධිපති සදහන් කළේ දැනට ඍණ මට්ටමේ පවත්නා උද්ධමන අනුපාතය මෙම වසර මැද භාගය වන විට ධන මට්ටමට පත්විය හැකි බවයි.
පසුගිය දෙසැම්බරයේ උද්ධමන අනුපාතය ඍණ 1.7 ක්
රටේ පොලී අනුපාත තවදුරටත් අඩු කරන බවත් ඒ සමඟ වෙළෙඳපොළට සහ මහජනතාවට මගපෙන්වීම සඳහා නව විනිමය අනුපාතයක් හඳුන්වා දෙන බවද ඔහු අවධාරණය කර සිටියා.
උද්ධමනය යනු, සරලවම මිල ගණන්වල ඉහළ නැගීම බව බොහෝ දෙනා දන්නා කරුණක්. නමුත්, වෙළෙඳපොළ ආර්ථිකයක මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යන නිසා උද්ධමනය යනු හුදෙක් එක් එක් භාණ්ඩයේ මිල ගණන්වල ඉහළයාම නොවන බව දැනගෙන සිටිම වැදගත්.
උද්ධමනය යනු ආර්ථිකයක සියලුම අංශවල කාලයක් පුරා සිදුවන මිල ගණන් ඉහළ යාම පිළිබිඹු කරන සාමාන්‍ය සංසිද්ධියකි. එය සාමාන්‍ය මිල මට්ටමේ අඛණ්ඩ ඉහළ යාම දැක්වීම සඳහා භාවිතා කරනු ලබන ආර්ථික විද්‍යාත්මක වචනයකි.