ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා… හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි. –පෙරටුගාමී සමාජවාදී පක්ෂය

‘ආණ්ඩුව යන පාර හරිද?’ යන තේමාවෙන්  පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (10 ) දින දිවයින පුරා නගර මුල් කරගෙන අත් පත්‍රිකා බෙදීමක් සිදුකරන ලදී. 2025 අය වැය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනා 22ක් පිළිබඳ සහ ආර්ථික අර්බුදය හමුවේ බැට කන සාමාන්‍ය ජනතාවට ඉදිරි අයවැයේදී සහන ලබා දිය යුතු බව අවධාරනය කරමින් මෙම පත්‍රිකා බෙදීම සිදුකරන ලදී. එහිදී අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදීම ඡායාරූපවල සටහන් වේ.

“The government has a moral responsibility to fulfill the hopes of the people… but that can only be achieved if it implemented radical reforms from the very beginning.” – Frontline Socialist Party

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

” අපි මෙවර අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුවට යෝජනා ගණනාවක් ඉදිරිපත් කලා. නමුත් ආණ්ඩුව ඒ යෝජනා අවධානායට ගත් බවක් පේන්න නෑ. එහෙත් රටේ ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන එක අපේ වගකීමක්. 

යුද්ධයෙන් පසුව පැවති හැම ආණ්ඩුවක්ම පසුගිය කාලෙ පුරාවටම ජනතාවට දැරිය නොහැකි මට්ටමේ විශාල ආරක්ෂක වියදමක් නඩත්තු කළා. යුද්ධයක් පවා නැති රටක එතරම් අති විශාල මුදලක් ආරක්ෂව සඳහා යෙදවීම අනවශ්‍ය දෙයක්. මොකද මේ රටේ අධ්‍යාපණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් විසඳිය යුතු ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියනවා. ඒවට අවශ්‍ය ප්‍රතිපාදන තවදුරටත් කප්පාදු කරමින් යන්නේ ආණ්ඩුවලට සල්ලි නෑ කියන මන්තරේ ජප කරමින්. අද වෙද්දි ලංකාවේ දුප්පත් ග්‍රාමීය පාසල්වල දරුවන්ට ඕන කරන අවම පහසුකම් ටිකවත් නෑ. පන්තිකාමර නෑ, වැසිකිළි ටික හරියට නෑ. පුස්තකාළයක් විද්‍යාගාරයක් නැති පාසල් ලොකු ප්‍රමාණයක් තියනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගොඩගැහිලා. රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ නෑ. වෛද්‍ය උපකරණ නෑ. ශල්‍යකර්මයක් කරගන්න ඕන වුනාම ලෙඩ්ඩු දවස් ගණං ලිස්ට් එකේ බලාගෙන ඉන්න ඕන පහසුකම් සීමිත නිසා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ අනවශ්‍ය වියදම් කප්පාදු කරලා අධ්‍යාපනයට සෞඛ්‍යයට වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දමන්න කියලා. 

පසුගිය 2023 අවුරුද්දේ මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන්ට රජෙයෙන් දීපු බදු සහනය බිලියන 1049ක්. රුපියල් කෝටි ලක්ෂයකට වැඩී එහි වටිනාකම. මිනිස්සු බොන බෙහෙත් පෙත්තට දරුවන්ගේ පොත්පතවලට ගහපු වැට් බද්ද 18%ක් වෙද්දි අත්‍යාවශ්‍ය ආහාරවලින් විශාල බද්දක් අය කරද්දී තමයි කෝටිපති ව්‍යාපාරිකයන්ට බිලියන ගණං සහන දෙන්නේ. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ පසුගිය වසංගතය සහ ආර්ථික අර්බුදය වෙලාවේ දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යන්න පුලුවන් කමක් තිබුණේ නෑ. මේවා නිසා ඔවුන් විශාල ණය අර්බුදයකට ඇද වැටිලා ඉන්නේ. ඔවුන්ගේ දේපළ පවර ගන්න ගෙනාව අසාධාරණ පරාටේ නීතිය දැනට අත් හිටවලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව දැන් තීරණය කරලා තියනවා පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක කරන්න. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ අසාධාරණ නීතිය අහෝසි කරන්න කියලා. ඒවගේම සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර නැවත යථා තත්ත්වයට පත්වන තුරු ඔවුන්ට යම් සහන කාලයක් ලබා දිය යුතුයි.

ඊලඟ බරපතළම ප්‍රශ්නය  තමයි මේ රටේ වැඩකරන ජනතාවගේ වැටුප් ප්‍රශ්නය. මිනිස්සු ගන්න වැටුප ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සම්පූර්ණ කරන්නවත් ප්‍රමාණවත් නෑ. දැනට ආණ්ඩුව කතාකරනවා රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමක් ගැන. නමුත් පෞද්ගලික අංශයට සෑහෙන කාලයකින් වැටුප් වැඩි වීමක් වෙලා නෑ. ඔවුන්ගේ මූලික වැටුප පවා තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. ඒ නිසා රාජ්‍ය පෞද්ගලික සහ වතු කියන සියලු අංශවලට ජීවත් වීම සඳහා ප්‍රමාණවත් වැටුප් වැඩි කිරීමක් කරන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා. අයි එම් එෆ් යෝජනා එක්ක ආව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙදි පෞද්ගලික අංශ සේවකයින්ගේ ETF , EPF අරමුදල් විශාල කප්පාදුවකට මුහුණ දුන්නා. අලිය ගිලපු දිවුලට වෙච්ච දේ තමයි මේ අරමුදල්වලට වෙලා තියෙන්නේ. අනාගතේ පෞද්ගලික අංශයේ රැකියා කරන කෙනෙක් තමන්ගේ සේවක අරථසාධක අරමුදලේ මුදල් ගන්න ගියාම සොච්චමක් තමයි ලැබෙන්නේ. මේ අසාධාරණය නැවත නිවැරදි කරන්න ඔන.

මේ දේවල් වුනේ පසුගිය ආණ්ඩු කාලේ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා ඇතුළු නඩය තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරික හවුල රකින ගමන් මේ රටේ දුප්පත් පීඩිත පන්තිය තවදුරටත් අගාධයට ඇදල දාන්න කටයුතු කලා. නමුත් ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ගෙනාවේ අලුත් බලාපොරොත්තුවක් එක්ක. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඉස්ට කරන්න සදාචාරාත්මක වගකීමක් මේ ආණ්ඩුවට තියනවා. හැබැයි ඒක කරන්න වෙන්නේ මේ පළමු අවස්ථාවෙදිම රැඩිකල් ප්‍රතිසංස්කරණවලට ගියොත් විතරයි. ඒ සඳහා ජනතාවගේ පැත්තෙනුත් මැදිහත් වීමක් බලපැමක් ආණ්ඩුවට කරන්න ඕන. එහෙම නොකර බලාගෙන හිටියොත් මේ අයවැයෙනුත් ජනතාවට කිසිම දෙයක් ලැබෙන්නෙ නැතුව යනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවට තමන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා එකතුවෙමු කියන යෝජනාව කරනවා. “

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *