ඉන්දියාව සමග ශ්‍රි ලංකා රජය අත්සන් කල ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතු බවත් මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ ජනතාද්‍රෝහී හොර ගිවිසුම් හකුළා ගන්න තුරු අපි ඉදිරියටත් සටන් කරන බවයි.

“ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කරපු අනිත් බරපතළම ගිවිසුම තමයි Defence agreement එක. අපි දන්න ඉතිහාසය තුළ රටේ ස්වාධීනත්වය අහිමිවන විදිහේ මෙවැනි ආරක්ෂක ගිවිසුම් එකයි අත්සන් කරලා තියෙන්නේ. ඒ 1948 අවුරුද්දෙදි ලංකාවට නිදහස ලැබෙන වෙලාවේ අපේ රටේ වරාය ගුවන්තොටුපළ පාවිච්චි කිරීමේ අයිතිය මහා බ්‍රිතාන්‍යයට ලැබෙන විදිහට අත්සන් කළ ගිවිසුම. ඒ වෙලාවෙ අපිට ඒක කරන්න වුනා. මොකද ලංකාවට නිදහස දුන්නෙම ඒ කොන්දේසිය එක්ක. නමුත් අපි දැන් ඒ ගිවිසුමෙන් ඉවත් වෙලා ඉන්නේ. දැන් ආණ්ඩුව සූදනම් වෙන්නේ අපේ රටේ භූමිය සහ දේශපාලන තීන්දු තීරණ ප්‍රතිපත්ති ඉන්දියානු භූ දේශපාලන උපායමාර්ගය ඇතුළේ හිර කරන්න.”

“දැන් ආණ්ඩුව මාව විස්වාස කරන්න අරයව විස්වාස කරන්න කිය කිය ඊයෙ මුළු රටම ඉන්දියාවට පාවාදීමක් තමයි කලේ. රටේ ජනතාව මැස්සෝ මදුරුවො ගාණට දාලා ඔවුන්ගේ ජීවිත අවධානමේ වැටෙන විදිහේ ගිවිසුම් අත්සන් කලේ ඒ නිසා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ආණ්ඩුවට කියනව මේ කියන ජනතාද්‍රෝහී ගිවිසුම් වහාම අහෝසි කළ යුතුයි සහ මේ ගිවිසුම්වල තිබන කරුණු රටට හෙළිකල යුතුයි. එහෙම නොවුනොත් මේ ජනතාද්‍රෝහී හොර ගිවිසුම් හකුළා ගන්න තුරු අපි ඉදිරියටත් සටන් කරනවා. “

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය සහ ගිවිසුම් සම්බන්ධයෙන් පලකල අදහස්!

” ලංකාවේ ආණ්ඩුව ඊයේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමගම ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කළා. හැබැයි මේ ගිවිසුම් මොනවද සහ ඒ ගිවිසුම්වල තියෙන කරුණු මොනවද කියන කාරණය තවමත් රටේ ජනතාවට හෙළිකරලා නෑ. දැන් ඊයෙ ආණ්ඩුව නිවේදනය කරපු විදිහට ඉන්දියාව සමග ගිවිසුම් 7ක් අත්සන් කරලා තියනවා. බරපතළම කාරණය තමයි මේ ගිවිසුම් අඩුමතරමින් පාර්ලිමේන්තුවට, කැබිනිට් මණ්ඩලයටවත් ඉදිරිපත් නොකර තමයි අත්සන් කරලා තියෙන්නේ. ආණ්ඩුව මේ විදිහට ලංකාව පාවාදෙන රටේ ස්වාධිපත්‍යයට තර්ජනයක් වෙන විදිහේ ගිවිසුම් අත්සන් කළ දිනය ඉතාම ඓතිහාසික දවසක්. මීට අවුරුදු 54කට කලින් 1971 අප්‍රේල් 5 වෙනිදා තමයි නිදහස හා යුක්තිය වෙනුවෙන් ජනතාවිමුක්ති පෙරමුණ පළමු අරගලය ආරම්භ කළේ. එහෙම දවසක රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරන ගමන් අප්‍රේල් විරු සමරුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ කතාවෙන් පැහැදිලියි අද JVP ආණ්ඩුව අද ඉන්න තැන. ඔහු කිව්වේ ඉන්දියාව වගේ බලගතු රටක අගමැතිවරයෙක් ලංකාවට පැමිණීම අපේ රටට ගෞරවයක් කියලා. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේම ජනතා විමුක්ති පෙරමුණ අද වැටිල ඉන්න පසුගාමී මානසිකත්වය. යටත් ධීන මානසිකත්වය. එහෙම පසුගාමී ප්‍රකාශ නිකුත් කරන ගමන් ටිල්වින් සිල්වා අපෙන් අහනවා අපි මේ රට පාවාදෙයි කියලා හිතනවද කියලා ?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි කියන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව රට පාවාදුන්නද නැද්ද කියන එක තීරණය කරන්න ඕන රටේ ජනතාව.

ආණ්ඩුව ඊයෙ අත්සන් කළ ගිවිසුම් තවමත් හෙළි කරලා නෑ. නමුත් අපිට මේ ගිවිසුම් ගැන යම තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියනවා. අපි මේ අනාවරණය කරන තොරතුරු වැරදිනම් ආණ්ඩුවට පුලුවන් නිවැරදි තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන්න. සහ වැදගත්ම දේ තමයි මේ හංගගෙන ඉන්න ගිවිසුම් ජනතාවට වහාම ඉදිරිපත් කරන්න. මොකද අපි තොරතුරු දැනගැනීමේ පනත යටතෙත් ආණ්ඩුවෙන් ඉල්ලීම් කලා ඉන්දියව සමග අත්සන් කරන ගිවිසුම්වල පිටපත් ලබාදෙන්න කියලා. නමුත් තවමත් ඒ ගැන ආණ්ඩුව පැත්තෙන් උත්තරයක් නෑ.

ඊයෙ අත්සන් කළ එක ගිවිසුමක් තමයි ලංකාවේ ප්‍රධාන විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය ඉන්දියාවේ විදුලිබල සම්ප්‍රේෂණ පද්ධතිය සමග ඒකාබද්ධ කිරීමේ ගිවිසුම. ලංකාවේ පැවති නීතිය අනුව මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ හැකියාවක් තිබුණෙ නෑ. නමුත් රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුව කාලේ කාන්චන විජේසේකර ඇමතිවරයා ගෙනාව පනතෙන් මේ සඳහා ප්‍රතිපාදන හිමි වුනා. වැදගත්ම දේ තමයි වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව ඒ වෙලාවෙ මේ ජනතාද්‍රෝහී පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ සඳහා මැදිහත් වුනේ වර්තමාන විදුලිබල අමාත්‍ය නිමල් ජයකො. ඔවුන් එදා රටට පොරොන්දු වුනේ ජාතික ජනතාවග ආණ්ඩුවක් යටතේ මේ පනත අහෝසි කරනවා කියලා. නමුත් අද ඒ කලින් කරපු කියපු සියල්ලම අමතක කරලා ආණ්ඩුව ඒ ජනතාද්‍රෝහී පනත පාවිච්චි කරල අපේ රටේ බලශක්ති ස්වාධීනත්වය ඉන්දියාවට පාවා දෙන බරපතළ ගිවිසුමක් අත්සන් කරලා තියනවා. දැන් ආණ්ඩුවේ ඇමතිවරු ඇවිත් මේකෙන් අපේ රටේ වැඩි විදුලිය ඉන්දියාව විකුණන්නත් පුලුවන් මදි වුණොත් ඉන්දියාවන් ගන්නත් පුලුවන් වගේ සුරංගනා කතා කියනවා. නමුත් ඇත්ත කතාව තමයි ඉන්දියාව බංගලිදේශයට සහ නේපාලයට කළ දේම තමයි අපේ රටටත් කරන්න සූදානම් වෙන්නේ. අද නේපාලෙට ඔවුන්ගේ රටේ ජලාශවල වතුර පිරිලා අපතේ යන තත්වයක් තුළත් ඒ ජලය පාවිච්චි කරල ජල විදුලිය නිපදවීම කරන්න බෑ. ගිවිසුම අනුව කවර තත්වයක් යටතේ වුනත් ඔවුන් අනිවාරෙන් ඉන්දියාවෙන් විදුලිය මිලදී ගන්න ඕන. ලංකාවේ ආණ්ඩුව ඉන්දියාව එක්ක අත්සන් කරලා තියෙන්නෙත් මෙවැනිම බරපතළ කොන්දේසි සහිත ගිවිසුමක්.

අපි දන්නවා පසුගිය 2024 අවුරුද්දෙදි විතරක් නිවෙස්වල පියසිමත සවිකල සූර්‍යපැනල හරහා රටේ ජනතාව ජාතික විදුලි පද්ධතියට මෙගාවෝට් 600ක් අලුතින් එකතුකළා. නමුත් ආණ්ඩුව ඒ විදිහට නිවෙස්වලින් විදුලිය ලබාගැනීම අවළංගු කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කරලා දැන් සාම්පූර්වල ඉන්දියාව විසින් ඉඳිකරන මෙගාවෝට් 50ක සූර්‍ය විදුලි බලාගාරය ගැන උදම් අණනවා. මේක විහිලුවක්. රටේ ජනතාව විසින් නිශ්පාදනය කරලා ජාතික පද්ධතියට නිකුත් කළ බලශක්තියට පයින් ගහලා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ.

මෙතන තියෙන බරපතළම ප්‍රශ්නය තමයි මෝදි මේ සූද වෙන්නේ එක පැත්තකින් ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය හැසිරවීමේ බලය ඉන්දියාව සතු කරගන්න. මේක අපේ ගෙදර ස්විච් බෝඩ් එක අල්ලපු ගෙදර හයි කරගන්නව වගේ වැඩක්. ඊටපස්සෙ අපිට වෙන්නේ අල්ලපු ගෙදර අය කියන කියන පදේට නටන්න. අනිත් එක තමයි අපේ රටේ පරිසර පද්ධතිය සහ සම්පත් විනාශ කරමින් ඉන්දියානු ආර්ථිකයට අවශ්‍ය විදුලිය මෙරට තුළදී නිශ්පාදනය කරගැනීමෙ යටිකූට්ටු උපායමාර්ගයක් මෙහි අන්තර්ගත වෙනවා. මේක ඉතාම භයානකයි.

ඊටපස්සෙ ආණ්ඩුව ඊයෙ ඉන්දියාව එක්ක ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් කළා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට දිගින් දිගටම මේ ඩිජිටල් හැදුනුම්පතට විරුද්ධ වුණේ රටේ ජනතාවගේ සංවේදී ජෛවමිතික දත්ත බලහත්කාරයෙන් රජය විසින් අත්පත් කරගන්න නිසා. මේක මිනිස්සුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක්. අනිත් එක තමයි අපි අද ඉන්නේ දත්ත යුගයක. ලෝකය පුරාම බරපතළ දත්ත මංකොල්ලයන් වෙන වෙලාවක් මේක. එහෙම වෙලාවක ආණ්ඩුව අපේ සංවේදී ජෛවමිතික දත්ත ඇතුලත් පද්ධතියක් නිර්මාණය කිරීමේ අයිතිය ඉන්දියානු සමාගමකට පවරන්න සූදානම් වෙනවා. මේ සමාගම මොකක් ද සහ අදාළ සමාගම තෝරාගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියවත් රටෙ ජනතාවට හෙළිකරලා නෑ. ආණ්ඩුව කියනවා මේ පද්ධතිය හැදීම විතරයි ඉන්දියානු සමාගම කරන්නේ එතනින් එහාට දත්ත ඇතුළත් කිරීම කරන්නේ ලංකාවෙ සමාගමක් කියලා. නමුත් ඉන්දියානු සමාගම මේ පද්ධතියට පිවිසිමේ අයිතියක් තියාගන්න එකක් නෑ කියලා ආණ්ඩුවට දෙන්න පුලුවන් සහතිකය මොකක් ද ? අනිත් එක ලංකාවේ සමාගම අදාළ දත්ත සොරකම් නොකර හිදීවි කියන එකේ වගකීම කවුද ගන්නේ ?

අනිත් එක මෙහිදී ඖෂධ නියාමන ගිවිසුමක් අත්සන් කරලා තියනවා. අපි දන්නවා ලංකාවට ගෙන්වන ඖෂධ මොනවද සහ ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට. නමුත් මේ ගිවිසුමෙන් ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු බලයට සමාන අයිතියක් ඉන්දියාවේ ෆාමර් කෝටියා ආයතමයට ලබා දෙන්න එකඟ වෙලා තියනවා. අපි අහන්නේ මෙහෙම තීරණයක් ගන්න ලංකාව කියන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් ද ? අපේ ජනතාව බොන්න ඕන කවර ප්‍රමිතියක බෙහෙත් ද කියන එක තීරණය වෙන්න ඕන ලංකාවේ රජය මගින්. රජය තමයි ඒ බෙහෙත්වල ගුණාත්මක භාවය ගැන වගකියන්න ඕන. නමුත් ආණ්ඩුව සූදානම් වෙන්නේ ඒ වගකීම ඉන්දියාවට පවරන්න. එතනින් එහාට කොමිස්වලට ඕන කුණු ගොඩක් ගෙනල්ලා රටේ ජනතාවට පොවයි ඖෂධ කියලා.

අනිත් එක තමයි ඖෂධ සැපයුම සඳහා අත්සන් කළ ගිවිසුම. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කාලේ නිකුත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව. දැනට ලංකාවේ රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට. ටෙන්ඩර් කැඳවීම ලංසු තැබීම ඇතුළු සියලු බලය තිබුණේ මේ ආයතනයට. දැන් මේ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය දරණ වගකීම ඉන්දියානු සමාගමකට පවරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ.අදාල ඉන්දියානු සමාගමේ නමවත් රටට හෙළිකරලා නෑ. අපිට තියෙන තොරතුරු අනුව ලංසු තැබීමකින් සහා ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ වර්ග 187ක් අදාළ සමාගමෙන් මිලදී ගන්න එකඟ වෙලා තියනවා.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *