ජනතාව ගන්න පරිප්පු ඇටේ ඉඳලා හාල් ඇටේ ඉඳලා බදු ගෙවද්දි මහාපරිමාණ ව්‍යාපාරිකයෝ රජයට නොගෙවා පැහැරහැරපු බදු ප්‍රමාණය බිලියන 560කට වැඩි බව ” IMF මර උගුලට – ඉන්දියන් පාවාදීමට – ජන පීඩාවට එරෙහි ‘ජන පෙළගැස්ම’ මැයෙන් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ නගර දැනුවත් කිරීම අද (23) දින මහනුවර නගරයෙන් ආරම්භ කරමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව අවධාරණය කරනවා.

” ජන අරගල ව්‍යාපාරය විදිහට අපි පහුගිය කාලේ පුරාම හඬ නගමින් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව. රටේ ආර්ථිකය ගොඩගන්නවා කියලා ඇවිත් අපේ රට ක්‍රමයෙන් ණය උගුලක හිර කරන ව්‍යාපෘතියක් තමයි ඔවුන් ක්‍රියාත්මක කරමින් ඉන්නේ. අනිත් පැත්තෙන් ඉන්දියාව ටිකෙන් ටික දැල් එළමින් අපේ රටේ ඉඩම් ටික වරායවල් ටික බලශක්තිය මේ සියල්ල කොල්ලකමින් යනවා. අපි මේ සටන ආරම්භ කලේ මේ ආණ්ඩුව බලයට පත් වෙන්නත් කලින් ඉඳලා.
නමුත් මේ ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරනවා කියලා. නමුත් බලයට ආවට පස්සේ ඒ සියල්ල අමතක කරලා දැන් පරණ නවලිබර් වැඩපිළිවෙළම ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් යනවා. එදා පාසල් වැසීමට එරෙහිව පාරට බැහැපු අයම අද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ලෝක බැංකුවේ සැලසුම් කර තියාගෙන යනවා. ඒ සැලසුම්වල තියෙනවා පාසල් 3000ක් වහන යෝජනා. එදා විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව සඨන් කරපු අයම එදා රනිල්ට කාන්චනට සම්මත කරගන්න බැරි වුණු විදුලි පනත සම්මත කරළා විදුලිබල මණඩලය විකුණන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ විදුලිබල මණඩලය මස් කරලා විකුණන සැලසුමේ එක පියවරක් විදිහට තමයි අද ජනතාවගේ විදුලිබිල වැඩි කරලා තියෙන්නෙත්. අද වෙද්දි රටේ ජනතාවට තුන් වේලවත් කන්න විදිහක් නෑ. අත්‍යාවශ්‍යය ආහාර ද්‍රවය සියල්ලටම බදු ගහලා. දරුවන්ගේ පොත් පත් ටිකට ඔබ ලෙඩ වුණාම ගන්න බෙහෙත් ටිකට පවා බදු ගහලා. මේ සියල්ල වෙන්නේ IMF එක සතුටු කරන්න. ජනතාව ගන්න පරිප්පු ඇටේ ඉඳලා හාල් ඇටේ ඉඳලා බදු ගෙවද්දි මහාපරිමාණ ව්‍යාපාරිකයෝ රජයට නොගෙවා පැහැරහැරපු බදු ප්‍රමාණය බිලියන 560කට වැඩියි. නමුත් ඒ බදු අය කරගන්න කිසිඳු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නෑ.
අනිත් පැත්තෙන් අද ඉන්දියානු උවමනාවන්ට අනුව තමයි ආණ්ඩුව නැටවෙන්නේ. මුත්තු නගර් ප්‍රදේශයේ අක්කර 800ක ඉඩම් මේ වෙද්දිත් ඉන්දියානු සමාගම්වලට බදු දීලා. ප්‍රදේශයේ වගා කරමින් ජීවත් වුණු ගොවි පවුල් 351ක් බලහත්කාරයෙන් එළවලා තමයි මේ ඉඩම් ඉන්දියාවට දුන්නේ. අද වෙද්දි මන්නාරම දූපතම ඉන්දියාවට දෙන්න සූදානම් වෙනවා. ඛනිජ කැණීමටයි සුළං බලාගාර හදන්නයි. අපි දන්නවා මන්නාරම කියන්නේ ජාත්‍යන්තර පක්ෂි පර්යටන කොරිඩෝවක් තියෙන තැනක්. ඒ සියලු දේවල් අමතක කරලා ධීවරයන්ගේ ජීවිත තුට්ටුවකට මායිම් නොකර තමයි මන්නාරම මෝදිට පුදන්න සූදානම් වෙන්නේ.
මේ සියල්ල දිහා බැලුවම අපිට පේනවා ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ එදා රනිල්ලා රාජපක්ෂලා ක්‍රියාත්මක කරමින් හිටපු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළම තමයි කියන එක. ආණ්ඩුවේ මේ ආර්ථික දේශපානලන වැඩපිළිවෙළ ඉදිරියට ගියොත් ඉදිරි අවුරුදු දහය ඇතුළේ රට විශාල උගුලක හිර වෙනවා. ඒ අනතුර කල් තියා අඳුරගෙන තමයි ජන අරගල ව්‍යාපාරය අද නගරයෙන් නගරයට ඇවිල්ලා ජනතාව දැනුවත් කරන්න තීරණය කලේ. දැන් ගොඩක් අය රනිල්ව අත් අඩංගුවට ගැනීමෙන් ඇස් නිලංකාර කරගෙන ඉන්නේ. ඒ නිසා මේ වැටෙන ආර්ත්ථික මර උගුල පේන්නෙ නෑ. අපි රටක් විදිහට ණය උගුලක හිර වෙන්න යන එක දැන් කාටවත් පේන්නෙ නෑ. රනිල්ව හිරේ දාපු පුවත කරේ තියාගෙන ගියාට කමක් නෑ. නමුත් ආණ්ඩුව වහාම ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දිය යුතුයි. ආණ්ඩුව රනිල්ව හිරේ දාලා ජනතාවගේ ඇස් නිලංකාර කරන ගමන් හොර පාරෙන් රනිල්ගේ වැඩපිළිවෙළ කරේ තියාගෙන යන්න තමයි සූදානම් වෙන්නේ.
අපි ජන අරගල සන්ධානය විදිහට මේ රටේ ජනතාවට කියනවා IMF වැඩපිළිවෙළට ඉන්දියන් මැදිහත්වීමට එරෙහිව ජන බලයක් ගොඩනගන්න එකතු වෙන්න කියලා. මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ පරජාය කරන්න පුලුවන් වෙන්නේ එවැනි ජනතා බලයකට විතරයි. “
ආණ්ඩුව හැදුව ජනතාවට ඒ් ආණ්ඩුව හරි පාරට ගන්න පුලුවන්, මහජන බලයක් හදමු! – වසන්ත මුදලිගේ

” අද මේ නුවර නගරේ ඉන්න ත්‍රීවිල් එකක් එළවන තාත්තලා, හන්දියේ කඩයක් දාගෙන කියක් හරි හොයන අම්මලා මේ හැමෝම ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒ අම්මලාගේ ඒ තාත්තලාගේ ප්රශ්නය අරගෙන තමයි අද අපි ඔබ ඉදිරියට ආවේ. අපි එහෙම එනකොට ආණ්ඩුව කියනවා තාම අවුරුද්දයිනේ අනේ තව ටිකක් ඉවසන්නලු. අපි අහනවා අපිට බලාගෙන ඉන්න කියන්නේ ඇයි. බෙල්ල මුලටම් බදු ගහලා මිනිස්සුන්ට තුන් වේල කන්න නැති කරද්දි අපි තවත් බලාගෙන ඉන්න ඕනද ? පාසල් දරුවන්ගේ පොත්පත්වලට බදු ගැහුවා මදිවට ගමේ ඉස්කෝලේ වහන්න සැලසුම් හදාගෙන එනකොට අපි බලාගෙන ඉන්න ඕනද ? මුත්තු නගර්වල ගොවියන්ව මන්නාරමෙ ධීවරයන්ව එළවලා ඉඩම්ටික ඉන්දියානු සමාගම්වලට විකුණද්දි අපි බලාගෙන ඉන්න ඕනද ? එහෙම බලාගෙන ඉන්න තවදුරටත් බැරි නිසා තමයි අපි ජන අරගල සන්ධානය විදිහට නගරයෙන් නගරයට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන්න තීරණය කලේ.
දැන් මේ සියල්ල කරන ගමන් ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බයිලා ගහනවා. මේවට එරෙහිව කතාකරන්කොට අපිට කියනවා කෑ ගහන්න එපාලු. අපි කෑ ගැහුවොත් පරණ හොරු නැගිටිනවලු. අපි අහනදා පරණ හොරු නැගිටින්නේ අපි මේ ප්‍රශ්න කතාකරන නිසාද ? නැත්තං ආණ්ඩුව ඡන්දෙට කලින් දීපු පොරොන්දු අමතක කරලා දැන් ක්‍රියාත්මක කරමින් ඉන්න ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ නිසාද ? මන්නාරමේ ධීවරයෝ තමන්ගේ ඉඩම් ටික ඉන්දියාවට පාවාදෙන්න එපා කියලා ආරම්භ කරපු සත්‍යග්‍රහයට අදට දවස් 21ක්. දැන් මේගොල්ලො බලාගෙන ඉන්නේ මොනවහරි කරලා ඒ ජනතාව එතනින් එලවලා ඉන්දියාවට දූපතම ලියලා දෙන්න. නමුත් අපි කියනවා ජන අරගල ව්‍යාපාරය විදිහට අපි ඒකට ඉඩ තියන්නේ නෑ. අපි මන්නාරම දූපත විකිණීම්ට එරෙහිව අරගල කරනවා. මුත්තු නගර් ඉඩම් ටික ඉන්දියාවට දෙන්න එපා කියලා සඨන් කරන ගොවියෝ එක්ක අපි ඉන්නවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ අරගලය ඇතුලේ අපි ඉන්නවා.
දැන් මේ රටේ ජනතාව ආණ්ඩු හදලා ආණ්ඩු එලවලා හෙම්බත් වෙලා ඉන්නේ. අලුතින් ආණ්ඩුවක් හදන්න හරි ආණ්ඩුව එලවන්න හරි කියලා නෙවෙයි අපි අද ඔබ ඉදිරියට ඇවිත් ඉන්නේ. අපි විස්වාස කරනවා මෙතෙක් කල් ආණ්ඩු ක්‍රියාත්මක කරන්න් ගියපු ජනතාද්‍රෝහී වැඩපිළිවෙළවල් අපි පරාජය කලේ මහජන බලයෙන්. ඔබ මෙච්චර කල් කලේ ඡන්දෙ දීලා ආණ්ඩුවක් හදලා ගෙදරට වෙලා බලාගෙන ඉන්න එක. අපි කියන්නේ දැන් එහෙම බලාගෙන හිටියා ඇති. ආණ්ඩුව හැදුවා වගේම ඒ හදපු ආණ්ඩුව හරි පාරේ අරගෙන යන්න පුලුවන් මහජන බලයක් හැදෙන්න ඕන. දැන් මේ ආණ්ඩුව පාලනය කරන්නේ IMF එක. දැන් ආණ්ඩුව පාලනය කරන්නේ ඉන්දිව. මේ ආණ්ඩුව පාලනය කරන්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. ඒ නිසා තමයි ආණ්ඩුව IMF එකයි ඉන්දියාවයි සතුටු කරන ගමනක යමින් ඉන්නේ. අන්න ඒ ගමන වෙනස් කරන්න නම් ජනතාව මේ ආණ්ඩුවට මැදිහත් වෙන්න ඕන. අන්න ඒ මහජන බලය ගොඩ නගන්න එකතුවෙන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. “