ඇමරිකාව සමග අත්සන් කළ හොර ගිවිසුම හෙළිකරන ලෙස වත්මන් රජයට බලකර සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටි.

ආණ්ඩුව එක්සත් ජනපදය සමග රහසිගතව අත්සන් කළ ආරක්ෂක ගිවිසුම පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒ සම්බන්ධ විරෝධය පළ කරමින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සදහන් වන්නේ “ඉන්දු – පැසිෆික්” උපාය මාර්ගය යටතේ දකුණු චීන මුහුදේ චීනයට එරෙහිව ගෙනයන ප්‍රකෝපකාරී ක්‍රියා ඉන්දියානු සාගරය තෙක් ව්‍යාප්ත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින මොහොතක මෙම ගිවිසුම අත්සන් කර ඇති බවයි.

විශේෂ නිවේදනය

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා නොවැම්බර් 14 වැනිදා ගිවිසුමක් අත්සන් කළ බව ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය වාර්තා කර ඇත. ඇමරිකාව වෙනුවෙන් මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් මෙයට අත්සන් කළ බවත්, ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අත්සන් කළ බවත් සඳහන් වේ. මෙම ගිවිසුම එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේ අත්සන් කළ බවද වාර්තා වී තිබේ.

සෝවියට් කඳවුර බිඳ වැටීමෙන් අනතුරුව ලෝකයේ තනි යුද බලය අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1993 දී එක්සත් ජනපදය මෙම රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) ආරම්භ කරනු ලැබීය. එයට ලොව පුරා විරෝධය ඒ කාලයේ සිටම ගොඩනැගුණේ එය ඇමරිකා එක්සත් ජනපදයේ යුද උවමනාවන් වෙනුවෙන් අනෙකුත් රටවල පිහිටීම, සාගරය, වරාය, ගොඩබිම් පහසුකම් ආදිය භාවිතා කිරීම ඉලක්ක කරගෙන තිබුණු බැවිනි. ලෝක දේශපාලනය ඒක ධ්‍රැවීය තත්වයෙන් වෙනස් වී බහු ධ්‍රැවීය තත්වයක් දක්වා වර්ධනය වී තිබෙන වත්මන් තත්වය යටතේ මෙවැනි ආක්‍රමණකාරී ගිවිසුමකට එළඹීමට ලංකාවේ ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කිරීම බරපතල දේශපාලන වරදකි. ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණකාරී යුද මෙහෙයුම් වලට ලංකාව ගැට ගැසීමට තීරණය කරන්නේ නේටෝ සංවිධානය හරහා යුක්‍රේනය ප්‍රමුඛ කර නැගෙනහිර යුරෝපයේත්, ඊශ්‍රායලය හා එක්ව මැදපෙරදිග කලාපයේත් ලේ වැකි යුද්ධ සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ප්‍රවේශ වී සිටින මොහොතකය. එමෙන්ම වෙනිසියුලාවට එරෙහි විවෘත යුද තර්ජනයක් සිදු කර ලතින් ඇමරිකානු කලාපය රුධිරයෙන් නැහැවීමට ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් සිටින මොහොතකය. වඩා වැදගත් කරුණ වනුයේ ඇමරිකා එක්සත් ජනපදයේ “ඉන්දු – පැසිෆික්” උපාය මාර්ගය යටතේ දකුණු චීන මුහුදේ චීනයට එරෙහිව ගෙනයන ප්‍රකෝපකාරී ක්‍රියා ඉන්දියානු සාගරය තෙක් ව්‍යාප්ත කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින මොහොතක මෙම ගිවිසුම අත්සන් කිරීමයි.

මෙම ගෝලීය තත්වය නිසා අධිරාජ්‍යවාදි යුද්ධයක් න්‍යෂ්ටික ව්‍යසනයක් නිර්මාණය කිරීමට වැඩි සම්භාවිතාවක් ඇති අතර ආණ්ඩුව ආරක්ෂක සහයෝගීතාවයකට යන එක්සත් ජනපදය සහ එහි ප්‍රතිවාදී රාජ්‍යයන් සියල්ලක්ම පාහේ න්‍යෂ්ටික බලවතුන් බව රහසක් නොවේ. එය ජනතාවගේ ආරක්ෂාව පාර්ශවයෙන් අතිශය බරපතළ අනතුරුදායක තත්වයකි. මෙම ගිවිසුමට අදාළව පමණක් නොව වත්මන් ආණ්ඩුවේ විදෙස් සබඳතා ක්ෂේත්‍රයේ සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ආතතියක් මතුවූ අවස්ථාවේ සහ ගාසා සංහාරයට අදාළව මැදිහත්වූ ආකාරය මේ සඳහා නිදසුන් දෙකක් පමණි. ලංකාව පොදුවේ පිළිගත් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව නිරීක්ෂණය වේ. IMF එකඟතාව සහ ඉතාම අවාසිදායක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා ලංකාව ආර්ථික උගුලක සිර කරන ආකාරයටම මෙවැනි ගිවිසුම් හරහා භූ දේශපාලන උගුලකට හසු කරමින් යන බව පැහැදිලිය. 

ඉන්දු – පැසිෆික් කලාපයට අදාලව ඇමරිකා එක්සත් ජනපදය ක්වඩ් (QUAD) නමින් යුද සන්ධානයක් ගොඩනගා ඇති අතර එය චීනය ඇතුළු රටවල් නම් කර ඇත්තේ “ආසියාවේ නේටෝව” ලෙසිනි. එම  යුද සන්ධානයට ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව ඇතුලත් වේ. ලංකාවේ ආණ්ඩුව 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළ අතර සැප්තැම්බර් 29 වැනිදා ජපානය සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන්  කරන ලදී. පසුව නොවැම්බර් 14 වැනිදා ඇමරිකාව සමගද ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් අත්සන් කර ඇත. එනම් ලංකාවද ක්වඩ් යුද සන්ධානයේ සහායකයෙකු වෙමින් තිබේ. දැනටමත් එක්සත් ජනපදය සමග ACSA, අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුමක් අත්සන් කර ඇති ලංකාව, මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් අත්සන් කිරීමට බලකළ SOFA, හමුදා ස්ථානගත කිරීමේ ගිවිසුම කරා යාමේ අතරමැදි පියවරක් ලෙස මෙම ගිවිසුම ක්‍රියා කරන්නේද යන ප්‍රශ්නය විශේෂයෙන් මතුවේ. මේ සියල්ල එකට ගත් කල ලංකාව ඉන්දියානු සාගර කලාපය තුළ අතිශය ප්‍රතිගාමී අධිරාජ්‍යවාදී යුද වැඩපිළිවෙලකට ගැට ගසමින් තිබෙන බව පැහැදිලිය. අනෙක් අතට මෙම භූ දේශපාලන ප්‍රතිවිරෝධයන් යුද්ධ ලෙස පුපුරා යන මොහොතක ලංකාව එයට මැදිවීමේ සහ ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව අහිමි වීමේ අවදානම ඉහඵ යමින් තිබේ.

මෙහිදී ඉතාම බරපතළ කරුණ වන්නේ මෙම ගිවිසුම් අත්සන් කිරීමට පෙර හෝ පසුව ඒ පිලිබඳ කිසිදු තොරතුරක් ජනතාවට ලබාදීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමයි. ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකර නිහඬව සිටින අතර නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන ඇමතිවරයා මෙම ගිවිසුම් ජනතාවට හෙළි නොකරන බවට ප්‍රකාශයක් සිදුකර ඇත. මීට පෙර ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ජනතාවට හෝ අවම වශයෙන් පාර්ලිමේන්තුවට ලබා නොදුන් අතර ජනතාවට හොර රහසේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් අතිශය වැදගත් තීරණ ගැනීම ආණ්ඩුව නිතරම කියන යහපත් දේශපාලන සංස්කෘතියට අදාළ වන්නේ කෙසේද, ආණ්ඩුවම කියන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වලට සම්බන්ධ වන්නේ කෙසේද යන කරුණු ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුය.

ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කළ ආරක්ෂක සහයෝගිතාව පිලිබඳ අවබෝධතා ගිවිසුම වහාම ජනතාවට හෙළිදරව් අකරණ ලෙසද, මෙකී SPP ගිවිසුම් වලට අදාලව ලෝකයේ ගොඩනැගී ඇති විරෝධය සලකන විට එය කිසිසේත්ම ලංකාවට හිතකර නොවන බව පැහැදිලි නිසා එය වහා අහෝසි කරන ලෙසද අපි ආණ්ඩුවට බල කරමු. භූ දේශපාලන බලපොරයක සහ විනාශකාරී අධිරාජ්‍යවාදී යුද්ධයක හවුල්කරුවන් බවට ලංකාව පත් කිරීමට ඉඩ නොදෙන්නටත් ඉන්දියානු සාගරයේ අධිරාජ්‍යවාදී රූකඩ රාජ්‍යයක් බවට ලංකාව පත්කර අසල්වැසි රටවල් අවදානමට ලක් කිරීමට ඉඩ නොදෙන්නටත් අප ප‍්‍රමුඛතාව දිය යුතුව ඇත. එම අත්‍යවශ්‍ය උවමනාවන් වෙනුවෙන් ආණ්ඩුව අත්සන් කළ මෙම හොර ගිවිසුම් පරාජය කිරීම සඳහා පුළුල් මහජන බලයක් ගොඩනැගීමට එනම් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්නට එක්වන ලෙස අපි ලාංකීය ජනතාවට ඇරයුම් කර සිටිමු.


මධ්‍යම කාරකසභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2025 නොවැම්බර් 17 

United States and Sri Lanka Formalize Security Cooperation: Montana National Guard Signs MOU with Sri Lanka Armed Forces Under the State Partnership Program

U.S. and Sri Lanka Formalize Security Cooperation: Montana National Guard Signs MOU with Sri Lanka Armed Forces Under the State Partnership Program – U.S. Embassy in Sri Lanka

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *