ලංකාවේ පළමු වතාවට ජාතික පුවත්පත් වල සහ චිත්‍ර කථා පොත්වල මුල් පිටපත් ප්‍රදර්ශණයක් (21) දින තලවකැලේ සුමන මහා විද්‍යාලයේ දි ආරම්භ කෙරිණ.කොටගල සහ තලවකැලේ යන තැපැල් කාර්යාලවල තැපැල් ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන ආර්.පී.ජයන්ත (තලවකැලේ ජයන්ත) විසින් මෙම ප්‍රදර්ශණය සංවිධානය කර තිබූ අතර, එම ප්‍රදර්ශණය (21-22) දින නොමිලේ පැවැත්වීමටයි කටයුතු කර තිබෙන්නේ.

තලවකැලේ ජයන්ත වසර ගණනාවක් ජාතික පුවත්පතක තලවකැලේ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන්ද කටයුතු කර ඇත.මෙම ප්‍රදර්ශණයට 1920 වසරේ සිට 2025 වසර දක්වා මෙරට තුල පළ කරන ලද ජාතික පුවත්පත්, චිත්‍ර කථා පොත් 2000ක් පමණ සහ වර්ථමානයේ ත්‍රීඩි (3D) තාක්ෂණයෙන් කියවිය හැකි පුවත්පත් කිහිපයක්ද මෙම ප්‍රදර්ශනයට අතුලත් කර තිබුණි.

ප්‍රදර්ශණයට එක් කර තිබු ජාතික පුවත්පත් සහ චිත්‍ර කථා පොත් ඇතැම් ඒවා සත 75 සිට රු.10 දක්වා මිල ගණන් යටතේ මිලදී ගත් ඒවා බවයි ජයන්ත මහතා කියා සිටියේ “මෙම ප්‍රදර්ශණය පිලිබද අදහස් දැක්වූ තලවකැලේ ජයන්ත මහතා කියා සිටියේ

“මම පාසල් ගියේ තලවාකැලේ සුමන මහා විදුහලටයි. මම පුංචිම කාලේ තමයි සතුට චිත්‍ර කථා පුවත්පත ආවේ. ඒ කාලේ මට අකුරු කියවන්න බෑ. මම බැලුවේ චිත්‍ර විතරයි. අහල පහල අයගෙන් ඒ කතා අහ ගන්නවා. හරිම ආසාවෙන් මම ඒ චිත්‍ර රස වින්දා ..

කොහොම හරි මම තාත්තට කියල පත්තරේ ගෙන්න ගන්නවා. අමාරුවෙන් අකුරු ගලප ගන්නවා. චිත්‍ර ඒ විදිහටම අඳින්න උත්සහ ගන්නවා. මෙහෙම කාලයක් යද්දී සතුට පත්තරෙයි මිහිර පත්තරෙයි මම කියවා ගත්තා. මගේ තාත්තා ඒ කාලේ වැඩ කලේ කොළඹ. තාත්තා කොළඹ ඉඳලා සති දෙකකට වතාවක් ගෙදර එනකොට මට සතුට, මිහිර විතරක් නොවෙයි අනෙක් ප්‍රවෘත්ති පත්තරත් අරගෙන ආවා. මම ආසාවෙන් ඒවා කියවල පරිස්සම් කරලා අරන් තිබ්බා.


කාලයක් යද්දී සුමන විදුහලේ දක්ෂතම චිත්‍ර ශිල්පියා උනේ මම. පාසලේ බිත්ති සඟරාවේ මාගේ චිත්‍රයක් අනිවාර්යෙන්ම තිබුනා. මම පාසල් චිත්‍ර තරඟාවලි රාශියකට ඉදිරිපත්වෙලා ජය ලැබුවා. කෙටි කතා ලිව්වා. සාහිත්‍ය තරඟවලිනුත් ජය ලැබුවා.
ඔහොම යද්දී ගෙදර පත්තර ගොඩ ගැහෙන්න ගත්ත. තියා ගන්නත් කරදරයි. විකුණන්නත් ලෝබයි. මම කලේ මුල් කලාපේ තියා ගෙන ඉතුරු ටික බෝතල් පත්තර කඩේට අලෙවි කලා.


කාලයක් යද්දී මට හිතුනා පත්තරවල මංගල කලාප එකතු කරන්න ඕනේ කියලා. ඉතින් මම සමහර මංගල කලාප අරගන්න කොළඹ නුවර පවා ගියා. ගමනක් බිමනක් යද්දී ඉස්සෙල්ලම මම දුවල යන්නේ පත්තර කඩේට. හොඳට බලනවා තියෙන අලුත් පත්තර මොනවද කියල. අදටත් මට ඒ පුරුද්ද තියෙනවා. කොළඹ ආපු ගමන් යන්නේ පත්තර කඩවලට. තියෙන හැම අලුත් පත්තරයක්ම ගන්නවා. මේ ආකාරයට පත්තර එකතු කරද්දී මාගේ යාලු මිත්‍රයොත් මට අලුත් පත්තර ගෙනත් දෙන්න පටන් ගත්තා.


ඊට පස්සේ මට හිතුනා මේ පත්තර එකතු කිරීමට අමතරව පුවත්පත් සම්බන්ධයෙන් වන ඉතිහාසයත් හොයන්න ඕනේ කියල. එදා ඉඳන් මම ඉතිහාස තොරතුරුත් රැස් කරන්න පටන් ගත්තා. අද වන විට මා සතුව පත්තර වගේම ඒ තොරතුරුත් රාශියක් තිබෙනවා.


පත්තර වලට තියෙන ආසාව නිසාම මම හිතුවා පත්තරවලට සම්බන්ධ රස්සාවක්ම හොයා ගන්න ඕනේ කියලා මාගේ අරමුණ වුනේ චිත්‍ර කතා ශිල්පියෙක් වීම. කොහොම හරි මට පත්තරේක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙසට වැඩ කරන්න අවස්ථාව ලැබුනා. මේ වෙනකොට මම “නිරුවත් මිනිස්සු” නමින් කෙටි කතා පොතක්ද “සුපිරි සිනා” නමින් කාටුන් පොතක්ද “සිරිප්පු සිරිප්පු” නමින් දමිළ කාටුන් පොතක් හා “තැපෑලේ අපේ කතා” හා උමතු දඩබිම නමින් චිත්‍ර කතා පොත් 2 ක් ද “ලස්සන තලවකැලේ” නමින් පර්යේෂණ ග්‍රන්ථයක්ද එළි දක්වා තිබෙනවා.


අද වන විට මා සතුව පත්තර 2000ක් විතර වගේම පුවත්පත් ඉතිහාසය සම්බන්ධ තොරතුරු රාශියක්ද තිබෙනවා. මම මේ දිනවල ඒ තොරතුරුත් සමඟ ලංකාවේ පුවත් පත් ප්‍රදර්ශනයක් පවත්වන්න කටයුතු යොදමින් සිටිනවා. මේ වටිනා සම්පත මාගේ ගෙදර කබඩ් එකේ දාල තියෙන එක හරි අපරාධයක්. මම මේ සම්පතේ ප්‍රයෝජනය සමස්ත මහා ජනතාවට ලබා දීමේ අරමුණින් මේ ප්‍රදර්ශනය තලවකැලේ සුමන මහා විද්‍යාලයේදි නොමිලයේම පවත්වන්න කටයුතු කළේ.


මම පත්තර එකතු කරන්න් ගත්ත කාලයේ ජාතික පුවත්පත් සහ චිත්‍ර කථා පොත් සතියකට විශාල ප්‍රමාණයක් වෙළදපොළේ විකුනන්න තිබුණා. වර්ථමානය වන විට ඉතා සීමිත පත්තර ප්‍රමාණයක් පමණයි නිකුත් කරනු ලබන්නේ. පාඨකයාට කියවන්න පුවත්පතක් හෝ චිත්‍ර කතා පත්තරයක් නෑ. ඒ නිසා පාඨකයින් කියවීමෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක කණගාටුවට කරුණක්” යනුවෙන් තලවකැලේ ජයන්ත මහතා පැවසීය.

හැටන් රංජිත් රාජපක්ෂ

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *