“යම් අදෘශ්‍යමාන හස්තයක් විසින් සහල් වෙළඳපොලට එන්න නොදී තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හොයන්න ඕන ඒ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා ?. මේ සහල් තොගවලට මොකද වුණේ කියලා” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙනවා.
වෙළඳපොල තුළ තවමත් පවතින සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දැකිවීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පක්ෂ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා සදහන් කළේ එක්කෝ මෙතන නිළධාරීන්ගේ යම් අතපසුවීමක් හෝ ආණ්ඩුව වැට්ටීමේ අරමුණෙන් හිතාමතාකල කුමන්ත්‍රණයක් තිබිය හැකි බවයි.
” අලුත් අවුරුද්දක් උදාවෙලා තියෙන්නේ. නමුත් පරණ අවුරුද්දේ තිබුණු ප්‍රශ්න ටිකම වෙනසක් නැතුව මේ අවුරුද්දටත් ජනතාවගේ හිසමතට පහත් වෙලා. අද ජනවාරි පළවෙනි දා පුවත්පත්වල මුල් පිටුවේ සිරස්තල වාර්තා කරල තියනවා අලුත් අවුරුද්දේ මිනිස්සුන්ට කිරිබත් කන්න කැකුළු සහල් නෑ කියලා. කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශ ආශ්‍රිතව ඊයෙ දවස වෙද්දිත් කැකුළු සහ නාඩු සහල් තිබුණෙ නෑ.”
“පසුගිය කන්නවලට අදාලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා බැලුවම පේනවා මේ වගේ සහල් අර්බුදයක් ඇති වෙන්න කිසිදු ප්‍රායෝගික තත්වයක් නිර්මාණය වෙලා නෑ. සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් ලක්ෂ 24යි. ඒ ප්‍රමාණය නිශ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 38ක් තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට 2024 අවුරුද්දේ විතරක් ප්‍රධාන කන්න දෙකේදි මෙට්‍රික්ටොන් ලක්ෂ 42ක අස්වැන්නක් ලැබිල තියනවා. 2023 වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්ෂ 48යි. ඒ කියන්නෙ අපිට හරි නං සහල් අතිරික්තයක් තියෙන්න ඕන.”
“මේ නිශ්පාදිත සහල් ප්‍රමාණයෙන් වැඩි කොටසක් තියෙන්නේ මහාපරිමාණ මෝල් හිමියන් අතේ. ගොවියන් සතුව විශාල වී තොගයක් නෑ. දැන් වෙළඳපොලේ හිඟයි කියන්නේ නාඩු සහ කැකුළු සහල් නමුත් වාර්තාවල තියෙන විදිහට පහුගිය කාලේ වගාකළ සමස්ථ ප්‍රමාණයෙන් 77%ක් නාඩු. එතකොට පැහැදිලියි මෙතන යම් අදෘශ්‍යමාන හස්තයක් විසින් සහල් වෙළඳපොලට එන්න නොදී තියාගෙන ඉන්නවා. ආණ්ඩුව හොයන්න ඕන ඒ අදෘශ්‍යමාන හස්තය කවුද කියලා ?. මේ සහල් තොගවලට මොකද වුණේ කියලා.”
“සහල් හිඟයට හේතුව විදිහට මහාපරිමාණ මෝල් හිමියෝ කිව්වේ බියර් සහ සත්ත්ව ආහාර නිශ්පාදනය කරන්න අස්වැන්න වැය කරල තියෙන නිසා තමයි මේ හිඟය ආවෙ කියලා. නමුත් පසුගිය දවසක ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් එක්ක සාකච්ඡා කරලා රුපියල් 220ක පාලන මිළට තිබුණ සහල් මිළ රුපියල් 230ක් කළා. ඔන්න එතකොට සහල් මෝල් හිමියෝ කිව්වා අපි වෙළඳපොලට සහල් නිකුත් කරන්නම් කියලා. හිඟයි නෑ වගේ කතා කියපු සහල් මිළ වැඩි කරපු ගමන් වෙළඳපොලට නිකුත් කරන්න පුලුවන් කියලා ව්‍යාපාරිකයෝ කිව්වෙ කොහොමද ? එතකොට ඒ වෙලාවෙ විතරක් සහල් තියෙන්නෙ කොහොමද ? එතකොට පැහැදිලි මෙතන තියෙන්නෙ සහල් හිඟයක් නෙවෙයි.”
“මේ වෙළෙඳ ඒකාධිකාරය එක්ක හැප්පෙන එක පැත්තක තියලා ආණ්ඩුව තීරණය කලා පිටරටින් සහල් තොග ගෙන්නන්න. එතනදි ආණ්ඩුව හිතුවා මහාපරිමාණ සහල් මෝල් හිමියෝ වගේ නැතුව සහල් ආනයනය කරන සමාගම් සාධාරණව සහල් ගෙන්නල වෙළඳපොලට නිකුත් කරයි කියලා. නමුත් ඔවුනුත් අන්තිමේදි සහල් ගෙන්නුවේ මිළ වැඩි කිරීමක් කලාට පස්සේ. “
“දැනට වරායෙන් සහල් මෙට්‍රික්ටොන් 79,000ක් නිශ්කාශනය කරල තියනවා. නමුත් වෙළඳපොලේ සහල් හිඟය තවම විසඳිලා නැහැ. අපිට තොරතුරු ලැබිල තියෙන විදිහට සහල් ආනයනය කරන සමාගම් ගෙන්නපු සහල් තොග වැඩි මිළට පිටි නිශ්පාදනයට සහ සත්ත්ව ආහාර නිශ්පාදනයට යොදවමින් ඉන්නවා. මේක ඉතාම බරපතළ තත්වයක්. ආණ්ඩුව ඉක්මනින් මේ සඳහා පියවරක් ගත යුතුයි.”
“දැන් මහාපරිමාණ සහල් සමාගම් එක්ක හැප්පෙන්න සහල් වෙළඳපොලේ පාලනය රජය යටතට ගන්නවා වගේ කතා ගොඩක් ආණ්ඩුව කිව්වා. නමුත් ව්‍යාපාරිකයෝ සහල් මෙට්‍රික්ටොන් 79,000ක් ගෙන්නද්දි රාජ්‍ය විවිධ සේවා නීතිගත සංස්ථාවෙන් සහල් මෙට්‍රික්ටොන් 780යි ගෙනල්ල තියෙන්නේ. රටේ දෛනික සහල් අවශ්‍යතාවයෙන් 10%ක්වත් සම්පූර්ණ කරන්න ඒ ප්‍රමාණයට හැකියාවක් නෑ.”
“රජය පැත්තෙන් සහල් ආනයනය කරන්න දාපු ටෙන්ඩර් සියල්ල ප්‍රතික්ෂේප වුනා කියලා තමයි වෙළඳ හා වාණිජ කටයුතු භාර අමාත්‍යවරයා කිව්වේ. ව්‍යාපාරිකයන්ගේ ටෙන්ඩර් අනුමත වෙන්නයි රජයේ ටෙන්ඩර් ප්‍රතික්ෂේප වෙන්නයි බලපෑව හේතුව වහාම හොයන්න ඕන. එක්කෝ මෙතන නිළධාරීන්ගේ යම් අතපසුවීමක් හෝ ආණ්ඩුව වැට්ටීමේ අරමුණෙන් හිතාමතාකල කුමන්ත්‍රණයක් තියෙන්න ඕන.”
“පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි දිගින් දිගටම ආණ්ඩුවට කියන්නේ දැන්වත් මේ මහාපරිමාණ සහල් මෝල් හිමියෙන්ගේ එකාධිකාරය බිඳ වට්ටන්න ඕන. පහුගිය කාලෙම මේ සහල් මෝල් හිමියෝ වී මිළඳී ගත්තේ රාජ්‍ය බැංකු දෙකෙන් ණය අරගෙන. එතකොට ඒ බැංකුවල තියනවා තොරතුරු ඔවුන් ලබාගත් මුදල් ප්‍රමාණ සහ ඔවුන් මිළදීහත් අස්වැන්න ප්‍රමාණයට අදාල විස්තර. ආණ්ඩුවට පුලුවන් මේ ගැන හොයල බලල කඩිනම් විමර්ශනයක් කරන්න. ඒ කටයුත්තට ආණ්ඩුව පැත්තෙන් අතගැසීම ඇතුලෙ විතරයි ගොවියත්, සිල්ලර වෙලෙන්දත්, පාරිභෝගිකයත් ආරක්ෂා වෙන්නෙ. නැත්තං මේ හැමෝම අර මහාපරිමාණ ව්‍යාපරිකයෝ සුළු පිරිසගේ පාලනයට නතු වෙන්න නියමිතයි. “