අපේ මුතුන් මිත්තන් සටන් කර ලබා ගත් නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට නම්, පළමුව සදාචාරාත්මක සාරධර්ම සහ සංස්කෘතික අගයන් තමන් තුළ නගා සිටුවීමට සෑම කෙනෙකුම අදිටන් කළ යුතුව ඇති බව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් විසින් ක්‍රි.ව. 1597 වන වසරේ පටන් පුරා වසර 350 ක් පමණ අප මාතෘ භූමියේ යටත් විජිත පාලනයක් ගෙන ගිය බවත් වර්ෂ 1948 දී ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බවට පරිවර්තනය වූ බවත් අපි දනිමු. එම මොහොත සනිටුහන් කරමින්, මෙම වසරේ 77 වන නිදහස් දිනය සැමරීමේ අවස්ථාවේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව එම නිවේදනය පළ කර තිබේ.
යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ස්වාධීන රාජ්‍යයක් ලබා ගැනීම සඳහා ජාති, ආගම්, භාෂා හා වාර්ගික භේදයකින් තොරව අරගල කළ අපේ මුතුන් මිත්තන්ගේ එකමුතුකම, වීරත්වය, අධිෂ්ඨානය, දේශ ප්‍රේමීත්වය සහ කැපවීම ස්මරණය කළ යුතු අතර එමඟින් අපි මෙරට පුරවැසිවරුන් වශයෙන් මෙවන් ජාතික වීරයන් ව ආදර්ශයට ගත යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අපි අපව ම පාලනය කරමු. නමුත් කවුරුන් රට පාලනය කළත් රටවැසියන් සැනසීමෙන් ජීවත් වීම සම්පූර්ණ නිදහසයි. අප මුතුන් මිත්තන් ලබා දුන් නිදහස මෙරට උපත ලැබූ, උපත ලබන සහ පුරවැසිභාවයේ අයිතිය ඇති සියලු දෙනාහට ම සතු දෙයක් බව සියලුම පුරවැසියන් වටහා ගත යුතුය.
කාලය ගත වීමත් සමඟ නිදහස ලැබූ දින පටන් වසර ගණන එකිනෙක වැඩි වන නමුත් ඉන් අත් වන සතුට ට වඩා සැබෑ සතුට හා නිදහස නම්, සෑම ජන කොටසකටම නිසි ආගමික, සමාජීය, දේශපාලනික, ආර්ථික අයිතීන් හිමි වන පරිදි, කිසිදු ජනවර්ගයකට, ආගමකට හෝ පීඩාවක් නොවන පරිදි රටේ සියලු ජනතාව සමගියෙන් ජීවත් වීමයි.
ඇතැම් රටවල් එක් සම්පතක් පමණක් භාවිත කරමින් දියුණු වී සංවර්ධිත රටවල් අතුරින් ප්‍රමුඛව පවතී. නමුත් සියලු සම්පත් සතු අපේ රට පහත් කළමණාකාරිත්වය හේතුවෙන් වෙනත් රටවල් මත යැපීමටත් නිදහස නොමැති නිදහසක් සැමරීමටත් සිදු වී ඇත.
රටේ සියලු ජනතාව ඒකරාශී වී සමගියෙන් සහෝදරත්වයෙන් රටේ බහුවිධ සංවර්ධනය සහ සමාජ සුබසාධනය ඉදිරියට ගෙන යා යුතුයි.අපේ රට ලෝකයේ සතුටින්ම සිටින රටක්, ආරක්‍ෂිත රටක්, ජීවත්වීමට සුදුසු රටක් බවට පත් කිරීමට අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
අපේ මුතුන් මිත්තන් සටන් කර ලබා ගත් නිදහස සම්පූර්ණයෙන්ම භුක්ති විඳීමට නම්, පළමුව සදාචාරාත්මක සාරධර්ම සහ සංස්කෘතික අගයන් තමන් තුළ නගා සිටුවීමට සෑම කෙනෙකුම අදිටන් කළ යුතුය.මෙම 77 වැනි සුභ නිදහස් දිනයේදී, නව පරපුරට සතුට, නිරෝගී බව, කුසලතාවයන් සපිරි යහපත් දේශප්‍රේමීන් ලෙස ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා යැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.
මුෆ්ති එම්.අයි.එම්. රිස්වී
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව