දීර්ඝ කාලයක් තිස්සේ කල්දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහතික කිරීම සඳහා ආණ්ඩුව නීතිමය සංශෝධන සකස් කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා නවයේ මැතිවරණ 2017 දී එවකට පැවැති ආණ්ඩුව විසින්, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වන නීතිය සංශෝධනය කිරීමට තීරණය කළ දා සිට කල්දමා ඇත. එහෙත් ඔවුන් කිසි විටෙකත් එම ක්‍රියාවලිය සම්පූර්ණ නොකළ අතර, එමඟින් මැතිවරණ නොපැවැත්වීමට නිදහසට කරුණක් ලැබිණි. ඉන්පසු පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කිසිදු ආණ්ඩුවකට ප්‍රමාණවත් උනන්දුවක් නොතිබිණි. එහි ප්‍රතිඵලය වන්නේ, අද බලය බෙදාහරින ලද පළාත් සභා ක්‍රමය, මධ්‍යම රජය විසින් පත්කරන ලද නියෝජිතයන් විසින් පවත්වාගෙන යෑමයි. තාක්ෂණික ලෙස නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව, ඔවුන් විසින් හඳුනාගන්නේ හෝ පිළිගන්නේ නැත.
ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව, 2016 අංක 17 දරන පළාත් සභා පනත යටතේ පළාත් සභා මැතිවරණ සඳහා මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා අමාත්‍ය (මහාචාර්ය) චන්දන අබේරත්න ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත්, මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සීමානිර්ණය කොමිෂන් සභාවේ වාර්තාවේ අනුමැතිය අවශ්‍ය වේ. එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ අතර එමගින් මැතිවරණ පැවැත්වීම අත්හිටුවා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පෙර මැතිවරණ ක්‍රමයට ආපසු යෑමට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. පෙර ක්‍රමය යටතේ, 1988 පළාත් සභා මැතිවරණ පනතේ විධිවිධාන අනුව මැතිවරණ පවත්වනු ලැබේ. මෙම තත්වයන් යටතේ, තවදුරටත් ප්‍රමාද කිරීම වෙනුවට මැතිවරණය පවතින නීතිය යටතේ පැවැත්විය හැකි අතර පසුව නිතිය සංශෝධනය කළ හැකිය.
මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය අබේරත්න පෙන්වා දී තිබේ. කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු, 2025 අගෝස්තු වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ඇත. ජාතික මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු පළාත් පාලන හා පළාත් මට්ටමින් තරඟ කිරීමට ලැජ්ජාවෙන් සිටි පෙර ආණ්ඩු අනුගමනය කළ මාර්ගය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අනුගමනය නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඔවුන් ලබාදුන් බොහෝ පොරොන්දු ඉටුනොකරන බව දැන සිටි පසුගිය පාලනයන්, පළාත් පාලන මැතිවරණවලදී ඔවුන්ගේ ජනප්‍රියතාව පරීක්ෂා කිරීමට බියවිය. ආර්ථික සංවර්ධනයේ නව මාවතක් සැකසීම, ජීවන වියදම අඩුකිරීම සහ නිෂ්පාදනය වැඩිකිරීම පිළිබඳ පොරොන්දු ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවට ද අපහසු වී තිබේ.
ප්‍රධාන පොරොන්දුව
කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුවේ ශක්තිය වන්නේ මැතිවරණ ව්‍යාපාරය තුළ ලබාදුන් ප්‍රධාන පොරොන්දුව ඉටු කිරීමයි. දූෂණය සහ සම්පත් නාස්තිය ඉක්මණින් අවසන් කිරීමට දුන් පොරොන්දුව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බවට පිළිගැනීමක් පවතී. 2022 දී රටේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව ලෙස ජනතාවගෙන් විශාල කොටසක් දුටුවේ, දූෂණය සහ නාස්තියයි. රටේ හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිවරුන්ට ලැබෙන වරප්‍රසාද සහ ප්‍රතිලාභ පිළිබඳ වත්මන් විවාදයට හේතුව, මැතිවරණ කාලයේ පොරොන්දු ක්ෂණිකව ඉටුකිරීමට ආණ්ඩුව දරන උත්සාහයයි. මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ජනප්‍රියත්වය අහිමි වූ පෙර ආණ්ඩු මෙන් නොව, වත්මන් ආණ්ඩුව එහි ප්‍රධාන පොරොන්දුව ඉටුකිරීම නිසා තවදුරටත් ජනප්‍රියතාව පවත්වාගෙන යෑමට සමත්ව සිටී.
පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මණින් වසරේ මුල් භාගයේදී පැවැත්වීමට ආණ්ඩුව පොරොන්දු වී තිබේ. මෙම මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගරුකිරීමක් ලෙසද මෙය සිදුවනු ඇත. පසුගිය ආණ්ඩුව ජනතාව අතර සිය ජනප්‍රියතාව පරීක්ෂා කිරීමට අකමැති වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණ වසර දෙකකට වැඩි කාලයක් කල්දමනු ලැබීය. 2022දී ආර්ථිකය බිඳවැටීමත් සමඟම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කාලයද එළැඹුණු බැවින්, එය කල්දැමීම පුදුමයක් නොවේ. ආණ්ඩුව දැවැන්ත පරාජයක් අත්විඳිනු ඇතැයි බියවිය. කෙසේවෙතත්, මේ අවස්ථාවේදී, උතුර හා නැගෙනහිර නියෝජනය කරන දේශපාලන පක්ෂ ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් දුර්වල වී ඇති බැවින්, මැතිවරණවලදී ආණ්ඩුව හොඳින් කටයුතු කිරීමට ඉඩ තිබේ.
පළාත්පාලන මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත්, එහි ජයග්‍රහණය හේතුවෙන් ආණ්ඩුවට නැවතත් වාසියක් ලැබෙනු ඇත. පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඇති ප්‍රශ්නය නම්, එම මැතිවරණ පැවැත්වීමට සැබවින්ම අවශ්‍ය වන පරිදි බලය බෙදාහැරීමේ අරමුණට ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස කැපවී සිටිනවාද යන්නයි. පළාත් සභා යනු අනවශ්‍ය සුදු අලි බවටත්, ජාතික ආරක්ෂාවට ඒවා මගින් තර්ජන ඇති කළ හැකි බවටත් සියලු ස්ථරවල ජනතාව අතර පුළුල් මතයක් පවතී. කෙසේවෙතත්, ආණ්ඩුව එම මැතිවරණ පවත්වන බවට නිශ්චිතවම ප්‍රකාශ කර ඇත්තේ, මෙය ඔවුන් ආරක්ෂා කිරීමට පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන බැවිනි.
සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම
බලය බෙදාහැරීමේ මූලික තර්කය නම්, ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය වැනි බහු-වාර්ගික සහ බහුත්ව සමාජයක, එය එක් එක් ප්‍රජාවට ඔවුන් බහුතරයක් සිටින ප්‍රදේශවල තීරණ ගැනීමේ බලය භුක්ති විඳීමට හැකියාව ලබාදීමයි. එක් ප්‍රජාවක් අනෙක් ප්‍රජාවන්ට වඩා බෙහෙවින් විශාල වන අවස්ථාවක, විශාල ප්‍රජාව තම අදහස් අනෙක් අය මත පැටවීමෙන් වළක්වයි. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසයෙන් මෙම සංසිද්ධිය පිළිබඳ බොහෝ උදාහරණ දැකගත හැකිය. 1948 නිදහස උදාවන විට මලෙයහ (උඩරට ඉන්දියානු) දෙමළ ප්‍රජාවට පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මෙයට ඇතුළත් වේ. මෑතකදී, 2020 දී කොවිඩ් වසංගතය අතරතුර එය නැවත දක්නට ලැබිණි. මුස්ලිම් ප්‍රජාවේ ගැඹුරින් පැවති ආගමික හැඟීම්වලට පටහැණි වුවද, කොවිඩ් රෝගයෙන් මියගිය අයගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමට නියෝග කෙරිණි.
රටේ පාලනය වැඩිදියුණු කිරීමේ අංගයක් ලෙස බලය බෙදාහැරීම ආණ්ඩුව විසින් නොසළකා සිටීමට හැකියාවක් තිබේ. සියලු පුරවැසියන්ගේ සමානාත්මතාවට කැපවී සිටින බවත්, ජාතිවාදයට සහ අන්තවාදයට එහි සියලු ප්‍රකාශනයන්හිදී විරුද්ධ වන බවත්, තමන් ජාතිවාදී නොවන පාලනයක් බවත් යන ස්ථාවරය ආණ්ඩුව විසින් ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ආණ්ඩුව තම තීරණ ගැනීමේ ආයතනවල වාර්ගික හෝ බහුත්ව නියෝජනය සහතික කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමුකර නොමැත. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් තෝරාගැනීම සහ මෑතකදී පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීමේදී ද මෙය දක්නට ලැබිණි. වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ සහ කාන්තාවන්ගේ නියෝජනය ශුන්‍ය හෝ අසමානුපාතිකව අඩුවිය. එමනිසා දෙවැනි පෙළ තීරණ ගැනීමේ බලධාරීන් තුළ වාර්ගික, ආගමික සහ ස්ත්‍රී පුරුෂ නියෝජනය පිළිබඳ ගැටළුව නැවත සළකා බැලිය යුතුව ඇත.
මෙම සන්දර්භය තුළ, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, පළාත් මට්ටමින් වුවද, තීරණ ගැනීමේදී අතුරුදහන්වී ඇති වාර්ගික හා ආගමික නියෝජනය සහතික කිරීමට වැදගත් වනු ඇත. පළාත් සභා ක්‍රමය නිර්මාණය කර ඇත්තේ, ඔවුන් ප්‍රමුඛ වන ප්‍රදේශවල පාලන බලයේ කොටසක් වෙනුවෙන් වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීම සඳහා ය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින්, සංස්ථාපනය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ලෙස පළාත් සභා ස්ථාපිත කිරීම නෛතිකවම ඉල්ලා සිටින්නකි. පළාත් සභා යනු මධ්‍යම රජයේ බලධාරීන් විසින් පාලනය කළ යුතු හුදෙක් විමධ්‍යගත ආයතන නොවේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉඩම් සහ පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම ද ඉල්ලා සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමට සහ ජාතික සමගිය පිළිබඳ ස්ථිරම සහතිකය වන ජාතික සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයට බොහෝ අවස්ථා ලැබෙනු ඇත.
~ජෙහාන් පෙරේරා~