FBI ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම් බවත් ඒ වගේම ඔහු ISIS සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් නවුෆර් මවුලවී එහි දෙවෙනියා බවත් ,ISIS සංවිධානයේ නියෝගය මත තමයි සහරාන් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කරන්නේ කියලා යනුවෙන් අනාවරණය කර අවසන් බව පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පෙන්ව දෙනවා.

ආණ්ඩුව සඟවන මහ මොලකරු මෙන්න

දැන් ආණ්ඩුවට මහමොළකරු සොයාගන්න බැරි වුණාට ලෝකයේ තිබෙන විශිෂ්ටතම අපරාධ විමර්ශන ආයතනය ලෙස සලකන්නේ ඇමෙරිකාවේ Federal Bureau of Investigations නැතිනම් එෆ්බීඅයි ආයතනය. ඔවුන් සතු සම්පත්, තාක්ෂණය සහ අත්දැකීම් වලින් ඔවුන්ට සම කළ හැකි ආයතනයක් ලෝකයේ නෑ. ඇමෙරිකාව සමග සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානය පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත් නිසාත් ප්‍රහාරයෙන් ඇමෙරිකානුවන් මිය ගිය නිසාත් විමර්ශන කටයුතු වලට සම්බන්ධ වෙන්න එෆ්බීඅයි ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වුණා. මේ අය සාක්ෂිකරුවන් වගේම සැකකරුවන් ද ප්‍රශ්න කලා. බෝම්බ පත්තු වුණු ස්ථාන වල තිබුණු සාක්ෂි නවීන තාක්ෂණය භාවිතා කරලා විශ්ලේෂණය කළා. ත්‍රස්තවාදින් භාවිත කල ජංගම දුරකතන වගේම උකුළු පරිගණක වල අඩංගු තොරතුරු වගේම මැකූ තොරතුරුත් සියල්ල පරික්ෂාවට ලක් කලා. තව්හිත් ජමාත් සංවිධානයේ පොත්පත් අධ්‍යනය කළා. අයිඑස්අයිඑස් පිළිබඳ ලෝකයේ සිටින විශේෂඥයින්ගෙන් තොරතුරු අරගෙන ලංකාවෙන් ලැබුණු සාක්ෂි සමග සැසඳුවා. මේ සියල්ල කරලා අවසානයේ දී එෆ්බීඅයි ආයතනය තීරණය කරනවා ලංකාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු අන්කවුරුත් නොවේ තව්හිත් ජමාද් සංවිධානයේ නායක මොහමඩ් සහරාන් හසීම් කියලා. ඒ වගේම ඔහු අයිඑස්අයිඑස් සංවිධානයේ ලංකා ශාඛාවේ ප්‍රධානියා බවත් නවුෆර් මවුලවී එහි දෙවෙනියා බවත් . අයිඑස්අයිඑස් සංවිධානයේ නියෝගය මත තමයි සහරාන් මේ ත්‍රස්ත ප්‍රහාරය සිදු කරන්නේ කියලා.

මේ සියළු කරුණු අඩංගු පිටු 72ක දිවුරුම් ප්‍රකාශයක් එෆ්බීඅයි වෙනුවෙන් එහි විශේෂ නියෝජිත මෙරිලි ආර් ගුඩ්වින් ඇමෙරිකානු අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඉංග්‍රීසි කියවන්න පුළුවන් හැමෝටම මං ආරාධනා කරනවා www.udayagammanpila.com වෙබ් අඩවියෙන් බා ගත කර ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය සිදු වු ආකාරය පිළිබද ඉතාම වෘත්තීය මට්ටමේ විශ්ලේෂණයක් ඒ හාරහා දැන ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ සමස්ත ලෝකයේම ඉන්න විශිෂ්ටතම ත්‍රස්ත විශේෂඥයෙකු වන මහචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා එෆ්බීඅයි වගේම සැකකරුවන් ප්‍රශ්න කරලා තිබෙන තොරතුරු සියල්ලම විශ්ලේෂණය කලා. එෆ්බීඅයි ආයතනයට වගේම ලෝකයේ ඕනෑම රටක් ත්‍රස්ත සැකකරුවන් ප්‍රශ්න කරන්න ඕනි කිව්වොත් ඒ අවස්ථාව මහචාර්ය ගුණරත්න මැතිතුමාට දෙනවා. මොකද ඔහුගේ සුවිශේෂී දැනුමෙන් ඒ රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. මේ සියල්ල විශ්ලේෂණය කරලා මහචාර්ය රොහාන් ගුණරත්න නිගමනය කලෙත් අයිඑස්අයිඑස් අණින් බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහ මොලකරු සහරාන් හසීම් කියලා. පසුව ඔහු තමන් ලබා ගත් තොරතුරු ඇතුලත් කරලා Sri Lanka Easter Sunday Massacre ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා පසුව සිරිල් ගුණවර්ධණ මැතිතුමන් විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙනවා.

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාටත් වඩා වඩා දක්ෂ ත්‍රස්ත විමර්ශකයින් පිරිසක් අපේ එන්ජිඕ නඩයේ ඉන්නවා. ඒ අය යූටියුබ් නාලිකා පවත්වා ගෙන යමින් විවිධ කුමන්ත්‍රණ න්‍යායන් conspiracy theories සමාජ ගත කරමින් ඉන්නවා. මම ඒ අයට ආරාධනා නරනවි වීවසි වැඩි කරගන්න සමාජ මාධ්‍ය ඉදිරියේ ඔවැනි කරුණු කියන්නේ නැතුව තමන්ගේ ගාව පාස්කු ප්‍රහාරය ගැන ඒ අය දන්නා දෙයක් තිබෙනවා නම් වහාම පොලිසියට කියන්න. මොකද ජනපතිතුමා දුන්නු දින ඇතුලත මහ මොලකරු සොයා ගන්න බැරිව ඒ අයට විපතක්නෙ වෙලා තිබෙන්නේ.

ආණ්ඩුවේ මහ මොලකරු කෝ?

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මේ රටේ ජනතාව රවටන්න දැරූ උත්සාහයක් අපට පරාජය කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වුණාම කාදිනල්තුමා ආණ්ඩුවට තර්ජනයක් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් සම්පූර්ණ වන අප්‍රේල් 21 වන විටත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හෙලිදරව් කරන්න ආණ්ඩුව අසමත් වුණොත් තමන් කතෝලික ජනතාව සමග පාරට බහිනවා කියලා. මේකෙන් තැති ගත්ත ජනාධිපතිතුමා මාර්තු 30 දා මැතිවරණ වේදිකාවේ සිට පොරොන්දුවක් දෙනවා අප්‍රේල් 21ට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිසක් හෙලිදරව් කරන බවයි. ඒ නිසා හැමෝම බලා ගෙන හිටියා 21ට පෙර ජනාධිපතිතුමා මොකක් හරි හෙලිදරව්වක් කරාවි කියලා. අද අප්‍රේල් 21. හෙලිදරව්ව කලා ද? කරගන්න පුළුවන් උනේ නෑ. ඒකත් ආණ්ඩුවේ තවත් එක් කඩවුණු පොරොන්දුවක් වුණා. එහෙම වුණේ ඇයි?

ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පපොච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොලකරු බවට ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරන් කාත් එක්කවත් කතා කරන්න නුදුන්නේ. ඒ නිසා තමයි නීතියෙන් හිමි නීතිඥවරයෙකුට සහය ලබා ගැනීමට පිලලෙයාන්ට අවස්තාව නොදුන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අත්අඩංගුවට ගැනීමට හේතුවක් දැක්වීම පොලීසියෙන් ප්‍රතික්ෂේප කරේ. ඔය අතරේ ජනාධිපති කිව්වේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමති කියනවා පාස්කු ප්‍රහාරයට නොවේ මහචාර්යවරයෙකු අතුරුදහන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙලි කරමින් ඉන්නවා කියලා. ඒ පොලිස් ඇමතිගේ පුකාශයට සමගාමිව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් “පිල්ලෙයාන් සියල්ල වමාරයි”. “පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි” වැනි සිරස්තල හැදුවේ. ඒ වගේම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයින් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජ ගත කලේ.

අපේ රටට සාමය උදා කරන්න ජීවිතය පරදුවට තැබූ මනුස්සයෙකුගේ ජීවිතය ඔට්ටුවට තියලා ආණ්ඩුව කරන මේ අශීලාචාර සෙල්ලම මම දැක්කා. ඒ අසාධාරණ සෙල්ලම කොහොම හරි නතර කරනවා කියා මම අධිෂ්ඨාන කර ගත්තා. ඒ නිසා ආණඩුවේ උපක්‍රම පරාජය කරලා මම නීති ගැටයක් ගහලා පිල්ලෙයාන් බලන්න ගියා. “ඔබව අත්අඩංගුවට ගැනීමට හේතුව කියන්න පොලිසිය ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා. හේතුව කිව්වා ද” කියා මම පිල්ලෙයාන්ගෙන් ඇහුව්වා. ඔහු අත්අඩංගුවට ගැනීමේ ලදුපත පෙන්නුවා. ඒකේ අත්අඩංගුවට ගැනීමේ හේතුව කියන තැන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ වගන්ති කිහිපයක අංක දාලා තිබුණා මිස හේතුවක් ලියලා තිබුණේ නෑ. ඒ කියන්නේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමට හේතුව අඩුම ගණනේ පොලිසියවත් දන්නේ නෑ.

පාස්කු ප්‍රහාරය ගැන ඔබෙන් ප්‍රශ්න කරනවා කියන්නේ ඇත්ත ද කියා මම ඇහුව්වා. මගෙන් පාස්කු ප්‍රහාරය ගැන කිසිම දෙයක් ඇහුව්වෙත් නෑ. ඇහුව්වත් උත්තර දෙන්න කිසිම දෙයක් දන්නෙත් නෑ කියා පිල්ලෙයාන් උත්තර දුන්නා. මොකද ඔහු 2015 සිට 2020 දක්වාම පොලිස් අත්අඩංගුවේ පසු වූයේ .මම පසුව ඔහුගේ එකගතාවය මත ඒ බව රටට කියූ නිසා ආණ්ඩුවේ මහ මොලකරු නිශ්පාදනය කිරීමේ මෙහෙයුම එතැනින්ම කඩාකප්පල් වුණා. ආණ්ඩුව වියරු වැටිලා මට මඩ ගහන එක පුදුම වෙන්න දෙයක් නෑ. මිලියන 22ක් රැවටීමට ගත් උත්සාහයක් තනිවම පරාජය කිරීමට පුළුවන් වීම ගැන මම අවංකවම සතුටු වෙනවා. ආණ්ඩුවේ ලොක්කන් වියරු වැටිලා මට බනින ප්‍රමාණය තමයි මගේ සාර්ථකත්වය මනින මීටරේ බවට පත් වෙලා තියෙන්නේ ආණඩුව මාධ්‍ය ඉදිරියේ මට කොච්චරක් බනිනවද කිය එක

පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමීමේ පිල්ලෙයාන්ද?

ජූඩ් ප්‍රනාන්දු පියතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පිල්ලෙයාන් ගැන බොරු වැලක් කිව්වා. අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ නැගෙනහිර දී පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමූ පිල්ලෙයාන් වෙනුවෙන් ගම්මන්පිල පෙනී සිටින්නේ කෙසේද කියා ප්‍රශ්න කළා. අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වෙන්නේ 1987 ජූනි 2. පොලිස් නිලධාරින් හය සීයක් මරා දැමීම සිදු වෙන්නේ 1990 ජූනි 11. නමුත් උගත් පාඩම් කොමිසමට පිල්ලෙයාන් දුන් සාක්ෂිය අනුව ඔහුව කොටි සංවිධානයට බඳවා ගන්නේ 1991 දී. ඒකත් ළමා සොල්දාදුවෙකු විධියට. එහෙම නම් අරන්තලාව භික්ෂු ඝාතනයට සහ පොලිස් නිලධාරින් ඝාතනයට පිල්ලෙයාන් සම්බන්ධ යැයි පියතුමා කියන්නේ කොහොමද? අනුන් ලියා දෙන ඒවා සොයා නොබලා කියෙව්වාම මෙවැනි විපත් සිදු වෙනවා. දෙවියන් වහන්සේ ඔබතුමාට ඇස් දෙකක් සහ එක් කටක් ලබා දී තිබෙන්නේ හොඳින් කරුණු කියවා ඉන්පසු කතා කරන්නයි. ගරු පියතුමනි, දෙවියන් වහන්සේගේ දස පනතේ අටවන නියමය බොරු නොකියව යන්නයි. ගරු පියතුමනි, ඔබතුමා දෙවියන් වහන්සේට කීකරු වන සේක්වා!

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *