විපක්ෂයේ ප්‍රධාන නායකයන් 17 දෙනකුගේ රැස්වීමක් කෙරෙහි විශාල අවධානයක් පසුගියදා යොමුවිය. ඊට සහභාගී වූ අය පැවසුවේ, එය රජයට විරුද්ධ වීමක් නොව වත්මන් දේශපාලනය පිළිබඳ අදහස් බෙදාගැනීම සහ පොදු ගැටළු හඳුනාගැනීම අරමුණු කරගත් සාකච්ඡාවක් බවයි. හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස් සහ මනෝ ගනේසන් ජනමාධ්‍ය වෙත පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් අතර සංවාදය දිරිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සිය ඉලක්කය බවයි. ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් ශක්තිමත් පාලනයක් ඇති අතර, ජනතාව අපේක්ෂා කරන්නේ එය ආර්ථිකය, අතීත ප්‍රචණ්ඩත්වය සඳහා යුක්තිය සහ සුළු ජාතීන්ට සාධාරණ ලෙස සැළකීම ලබාදෙනු ඇති බවයි. විපක්ෂයට මහජන සහයෝගය නැවත දිනාගැනීමට අවශ්‍ය නම්, ඔවුන් බරපතල හා අර්ථවත් ආකාරයකින් ආණ්ඩුවට අභියෝග කළයුතුය.
සාකච්ඡාව සඳහා රැස්වූ විපක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවේ, තම අරමුණ ආණ්ඩුව පෙරළාදැමීම නොව, ආණ්ඩුව සිය මැතිවරණ පොරොන්දු ඉටුකරන බවටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවටත් සහතික කරගන්නේ කෙසේද යන්න පිළිබඳව එකඟවීම බවයි. ඔවුන්ගේ ගැටලුව වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ඡන්දදායකයන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතික්ෂේප කිරීමයි. අරගලය විරෝධතා ව්‍යාපාරය අතරතුර, ජනතාව පැහැදිලිවම දූෂණය, බලය අයුතු ලෙස භාවිත කිරීම සහ පවුල් පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ට පිරිසිදු වාර්තා සහිත නව නායකයන් අවශ්‍ය විය. එම ඓතිහාසික මැතිවරණවලින් වසරකට පසුවත්, බොහෝ අය තවමත් විපක්ෂය දෙස බලන්නේ නිෂේධාත්මක ආකාරයකටය.
මෙම වසර මුලදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින්, දේශපාලන පක්ෂ කෙරෙහි ඇති විශ්වාසය ඉතා අඩු බව පෙන්නුම් කරන ලදී. සාම්ප්‍රදායික පක්ෂවලට පිරිසිදු පාලනයක් සැපයිය හැකි යැයි විශ්වාස කළේ ජනතාවගෙන් 12% ක් පමණි. ජනාධිපතිවරණයට පෙර ජාතික සාම මණ්ඩලය විසින් සිදුකරන ලද තවත් සමීක්ෂණයකින් හෙළිවූයේ, ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීම සඳහා නව දේශපාලන බලවේගයක් ජනතාවගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවකට අවශ්‍ය බවත්, 90%කට දේශපාලන ක්‍රමයේ සම්පූර්ණ වෙනසක් අවශ්‍ය බවත්ය. අද පවා, විපක්ෂ නායකයන් රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාව පෙළගැස්වීමට උත්සාහ කරන විට, මහජනතාව අතීතයට සාපේක්ෂව එතරම් උනන්දුවක් දක්වන්නේ නැත.
බිය නමැති සාධකය
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට දැවැන්ත ජයග්‍රහණයක් හිමි වූ අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බහුතරයක් හිමිවිය. මේ වන විට රජය අභ්‍යන්තරයේ සාකච්ඡා සහ විවාද පවත්වා ඒ හරහා තීරණ ගනී. එහෙත් විපක්ෂය හෝ සිවිල් සමාජය එම සාකච්ඡාවලට සම්බන්ධ කරගැනීමක් සිදුනොවේ. රජයේ නායකයන් තර්ක කරන්නේ, ඔවුන්ට දැනටමත් සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් මහජන වරමක් ඇති බවත්, සම්මුතියකට එළඹීමට අවශ්‍ය නොවන බවත්ය. එහි ප්‍රතිඵලයක් ලෙස, විරුද්ධ පක්ෂ සම්පූර්ණයෙන්ම පසෙකට වී ඇති අතර, තීරණ ගැනීමේදී ඔවුන්ට සැබෑ කාර්යභාරයක් නොමැත.
ආණ්ඩුවට දැනටමත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඇති නිසා, තීරණ ගැනීමේදී විපක්ෂය ඊට ඇතුළත් කරගැනීමේ අවශ්‍යතාවක් දැනෙන්නේ නැත. විපක්ෂය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අසාර්ථක දේශපාලනඥයන් සැදුම්ලත් එකක් ලෙස ද ඔවුහු සළකති. මත විමසුම්වලින් පෙනීයන්නේ, විරුද්ධ පක්ෂ කෙරෙහි මහජන විශ්වාසය ඉතා අඩු බවයි. ඒ සමඟම, බලය අනිසි ලෙස භාවිත කිරීම, දූෂණය හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට රජය ක්‍රියාකාරීව කටයුතු කරයි. සෑම දිනකම පාහේ, ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් අල්ලස් හා දූෂණ කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරනු ලැබේ, නැතහොත් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබේ.
විපක්ෂය එක්සත් වීමට ඇති හේතුවට ප්‍රධාන සාධක දෙකක් බලපානු ලබයි. ඔවුන්ට රජයේ දූෂණ විරෝධී ව්‍යාපාරය නැවැත්විය නොහැකි අතර, එයට ශක්තිමත් මහජන සහයෝගයක් ඇත. රජයේ අමාත්‍යවරයකු පවා අතීත වැරදි සඳහා විමර්ශනයකට ලක්ව ඇත. ඒ සමඟම, මහජන විශ්වාසය නැවත ලබාගැනීමට පැහැදිලි මාර්ගයක් සොයානොගන්නේ නම්, ඔවුන් දුර්වල හා ජනතාවට අදාළ නොවන බව විපක්ෂය දනී. මෙම තත්වය තුළ, කලාපීය හෝ ප්‍රාදේශීය මට්ටමින් බලය බෙදාගැනීමේ අදහස ඔවුන්ට නැවත දේශපාලනයට පිවිසීමට ඇති මාර්ගයක් ලෙස සැළකේ.
ඉතිරිව ඇති දේ ප්‍රතිෂ්ඨාපනය කිරීම
ජාතික මට්ටමින් පසෙකට වී ඇති බවක් දැනෙන විපක්ෂයට, පළාත් මට්ටමින් යම් බලයක් නැවත ලබාගත හැකිය. දිගු කලක් ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණය ඉක්මණින් පැවැත්වීමට ඔවුන්ට බලපෑම් කළ හැකිය. පළාත් සභා මුලින් පිහිටුවන ලද්දේ, විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල, ජනවාර්ගික හා ආගමික සුළුතරයන්ට බලයේ කොටසක් ලබාදීම සඳහා ය. කෙසේවෙතත් පළාත් නවයේම විරුද්ධ පක්ෂවලට බලය ලබාගැනීමේ හැකියාව පවතී. ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් ඇති බැවින්, ඊළඟ මහමැතිවරණයට පෙර විපක්ෂයට ඔවුන් වෙත ජාතික වශයෙන් අභියෝග කිරීමට ඉඩක් නැත. එහෙත්, පළාත් මට්ටමින්, විපක්ෂයට තවමත් ඡන්ද ආකර්ෂණය කරගත හැකි ශක්තිමත් ජාල සහ ජනප්‍රිය ප්‍රාදේශීය නායකයන් සිටී.
2026 මුල් භාගයේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව පොරොන්දු වී තිබේ. අතීතයේ දී, ප්‍රධාන දේශපාලන පක්ෂ පළාත් සභා ක්‍රමයට දැඩි ලෙස සහාය දැක්වූයේ නැත. මන්ද එය බොහෝදුරට සුළුතර ඉල්ලීමක් ලෙස සලකනු ලැබූ බැවිනි. එහෙත් දැන්, විපක්ෂ සන්ධානයට මෙම මැතිවරණ සඳහා බලපෑම් කිරීමට සහ ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට හේතුවක් තිබේ. ඒ අතුරින් ප්‍රධාන ප්‍රතිසංස්කරණයක් වනුයේ, මධ්‍යම රජයේ බලයෙන් පත්කරන ලද ආණ්ඩුකාරවරුන්ගේ බලතල සීමාකිරීමයි. ඔවුන්ට, තේරී පත්වන පළාත් සභා විසින් ගනු ලබන තීරණ අවහිර කිරීමට හෝ ප්‍රමාද කිරීමට හැකියාව ඇත. ඔවුන්ගේ බලතල අධිකරණය විසින් පරීක්ෂා කළ යුතු අතර, නීතිය හා සාමය බිඳවැටීම වැනි බරපතල අවස්ථාවන්හිදී පමණක් භාවිත කළ යුතුය. මෙය පළාත් සභා වඩාත් ඵලදායී හා අර්ථවත් කරනු ඇත.
නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයකට ශක්තිමත් ආණ්ඩුවක් සහ ශක්තිමත් විපක්ෂයක් යන දෙකම අවශ්‍ය වේ. මැතිවරණ සහ බලය බෙදාගැනීම මෙම සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සාමකාමී මාර්ගයක් සපයයි. එබැවින් විපක්ෂය පළාත් සභා මැතිවරණ සිය උපායමාර්ගයේ ප්‍රධාන කොටසක් බවට පත්කළ යුතුය. අතීතයේ දී, පළාත් ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත් වූයේ සුළුතර පක්ෂ පමණි. එහෙත් එවැනි ප්‍රතිසංස්කරණ මධ්‍යම රජය දුර්වල නොකරනු ඇත. ඒ වෙනුවට, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු ඇත. සංවාදයට ඉඩක් නිර්මාණය කරනු ඇත. එසේම එය ජාතික සංහිඳියාවට උපකාරී වනු ඇත. මෙය ආණ්ඩුවට, විපක්ෂයට සහ සමස්තයක් වශයෙන් රටටම ප්‍රතිලාභ ලබාදෙනු ඇත.
– ජෙහාන් පෙරේරා–