ඡන්දය භාවිත කිරීම හරහා තම මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් තුළ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ මහජන විශ්වාසය බිඳවැටීම බව ප්‍රකට කරුණක් බව Paffrel සංවිධානය පෙන්වා දෙනවා.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රමාදයකින් තොරව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කලයුතු බවයි.
මහාචාර්ය චන්දන අභයරත්න මහතා,
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ්‍රය,
කොළඹ 07.
2025-09-12
ගරු අමාත්‍යතුමනි,
2025.08.27 වන දින පැෆ්රල් සංවිධානය විසින් දේශපාලන පක්ෂ සහ මැතිවරණය අදාල පාර්ශවකරුවන් සමග පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී සියලු දෙනාගේ අදහස වූයේ නිලධාරී පාලනය වෙනුවට මහජන නියෝජිතයින් හරහා පළාත් සභා ව්‍යුහය පාලනය වීම වඩා දියුණු ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණයක් බවත් ඉතා දීර්ඝ කාලසීමාවක් පළාත් සභා ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එකී ප්‍රජාතාන්ත්‍රීය අයිතියට බලවත් හානියක් සිදුව ඇති බවත්ය.
විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය බලය යටතට ගැනෙන ඡන්ද අයිතිය නිසි කලට පවත්වනු ලබන මැතිවරණ හරහා අභ්‍යාස කිරීමට පුරවැසියන්ට ඇත්තේ අනුලංගනීය අයිතියකි. ඡන්දය භාවිත කිරීම හරහා තම මතය ප්‍රකාශ කිරීමට ඉඩකඩ නොලැබෙන තත්ත්වයක් තුළ ඉතිහාසය පුරාම සිදුව ඇත්තේ මහජන විශ්වාසය බිඳවැටීම බව ප්‍රකට කරුණකි.
කෙසේ නමුත් වත්මන් වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යතුමන්ද මෑතකදී ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ මුල් මාස කිහිපය තුළ පළාත් සභා ඡන්ද විමසීම පවත්වනු ලබන බවය. ඒ අනුව අප ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ දැනට ඡන්ද විමසීම නොපවත්වනා දීර්ඝ කාලසීමාවක් ගතව ඇති පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට අවැසි පියවර ගන්නා ලෙසය.
පළාත් සභා ඡන්ද විමසීම වසර ගණනාවකින් ප්‍රමාදවීම පිළිබඳව වත්මන් ආණ්ඩුව වග නොකිය යුතු බව අප දන්නා නමුදු එය තවදුරටත් ප්‍රමාද නොකර පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ඔබතුමන් කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරමු. ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම අත්හල නොහැකි වගකීමක් බවද අවධාරණය කරනු කැමැත්තෙමු.
ඒ සඳහා ගත හැකි පහසුම ක්‍රමවේදය ලෙස සියලු පාර්ශවකරුවන්ගේ එකඟතාවය වූයේ පෙර පැවති සමානුපාතික ක්‍රමයට ඉදිරි මැතිවරණය පමණක් පැවැත්විය යුතු බවය. ඉතා කුඩා සංශෝධනයක් පාර්ලිමේන්තුව මගින් සම්මත කරගැනීම හරහා එය සිදුකල හැකි වන අතර එහිදී කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා අවම වශයෙන් නාමයෝජනා කෝටාවක් එකී සංශෝධනයට එක් කල හැකි නම් එමගින් 2017 පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනයට හේතුපාදක වූ මුඛ්‍ය අරමුණද ඉටුවනු ඇත.
මෙයට,
විශ්වාසී,
රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ