ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරන මොහොතක, වත්මන් මාලිමා රජය පොරොන්දු වූ “ඉන්න හිතෙන රට” වෙනුවට නිර්මාණය වී ඇත්තේ උගතුන් සහ වෘත්තිකයන් ලක්ෂ ගණනින් පලායන අගාධයක් බව ‘දිනන දකුණ සාමූහිකය’ අවධාරණය කරයි.
අද (04) නාරාහේන්පිටදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම සාමූහිකයේ විධායක සභික නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දුන්නේ, මාලිමා පාලනයට වසර එකහමාරක් ගතවී ඇතත් රටේ බුද්ධි ගලනය නතර කිරීමට ඔවුන් අසමත් වී ඇති අතර, පසුගිය වසරේ පමණක් පුහුණු ශ්‍රමිකයන් 310,000ක් මෙරට අතහැර ගොස් ඇති බවයි.
රජය ආර්ථිකය ස්ථාවර බවට පුරසාරම් දෙඩුවද, සැබවින්ම සිදුව ඇත්තේ විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මත රට යැපීම මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පාලනය යටතේ නිදහස් අධ්‍යාපනයට එල්ල වී ඇති මරු පහර පිළිබඳව ද මෙහිදී බරපතළ අනාවරණයක් සිදු විය. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මෙරට රජයේ පාසල් 1,505ක් වසා දැමීමට රජය සූදානම් වන බව පවසන වර්ණසිංහ මහතා, අදාළ අංශ සමඟ සාකච්ඡා නොකර මෙවැනි අත්තනෝමතික තීන්දු ගැනීම හරහා මාලිමාව සිය සැබෑ ‘සංස්කෘතික විරෝධී’ සහ ‘අධ්‍යාපන විරෝධී’ මුහුණුවර පෙන්වා ඇති බව පැවසීය.
සංඛ්‍යාලේඛන මඟින් ආර්ථිකය ස්ථාවර බව පෙන්වීමට උත්සාහ කළ ද, පුද්ගලයාගේ නිවස තුළ ආර්ථික නිදහසක් නොමැති වීම නිසා අද වන විට මුළු රටම දැඩි අපේක්ෂා භංගත්වයකට පත්ව ඇති බව නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය මාධ්‍ය තනිකරම ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍ර කරලා!
රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කිරීමේ චෝදනාව ද රජයට දැඩිව එල්ල විය. විශේෂයෙන්ම විගණකාධිපති ධුරය සඳහා පත් කිරීම් සිදු කිරීමේදී රජය අනුගමනය කළ පක්ෂපාතී පිළිවෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දේශපාලන මෙවලමක් ලෙස භාවිත කිරීම සාමූහිකයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කර මාස ගණනාවක් ගතවී ඇතත්, ඔහු නිවසේ සිට වැටුප් ලබන තත්ත්වයක් තුළ බන්ධනාගාර පාලනය අරාජික වී ඇති බවත්, ජනාධිපති පොදු සමාව ලබාදීමේදී කිසිදු විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවත් මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න මෙහිදී හෙළි කළේය.
මාධ්‍ය නිදහස ගැන විපක්ෂයේ සිටියදී කෑගැසූ අනුර කුමාර දිසානායක , අද වන විට රාජ්‍ය මාධ්‍ය තනිකරම ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍ර බවට පත්කර ඇති බවට ද චෝදනා එල්ල විය. ආණ්ඩුව පමණක් නොව, විපක්ෂය ද සිය භූමිකාව හඳුනාගෙන නොමැති බව පවසන දිනන දකුණ සාමූහිකය, නාමල් රාජපක්ෂ වැනි දේශපාලඥයන්ට රටේ බලය ගැනීමට නම් මුලින්ම තමන් කළ වැරදි පිළිබඳ ‘පාපොච්චාරණයක්’ කළ යුතු බවත්, දක්ෂිණාංශික බලවේග වහාම එක් කඳවුරකට ගොනු විය යුතු බවත් අවධාරණය කළේය.
