2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ බවට බොහෝ කාලයක් තිස්සේ කතාබහක් පැවතිණි. කතෝලික පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට එල්ල වූ ප්‍රහාර එකම වේලාවක සිදුවිය. මුස්ලිම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම ප්‍රහාර සිදුකළ අතර, පුද්ගලයන් 270 දෙනකු මියගොස් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබීය. මෙය ඉතා අමුතු දෙයක් විය. මන්ද ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් අතර කිසිදා බරපතල ගැටුමක් ඇති වී නොමැත. බොහෝ අය සිතන්නට පටන් ගත්තේ, ප්‍රහාර පිටුපස දේශපාලන හේතුවක් ඇති බවයි. එවැනි භයානක හා ව්‍යාකූල අපරාධයකින් ප්රතිලාභ ලැබුවේ කවුදැයි ඔවුහු සොයාබැලූහ. බෝම්බ ප්‍රහාරය නිසා එවකට ආණ්ඩුව කෙරෙහි මහජනතාවට විශ්වාසය නැතිවිය. වැඩිකල් නොගොස්, විපක්ෂය ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම්කළ අතර, මාස කිහිපයකට පසු, පැවැති ආණ්ඩුව ජාතික මැතිවරණයේදී විශාල පරාජයක් අත්විඳින ලදී.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී, සභානායක බිමල් රත්නායක, පාලනයේ වෙනසක් ඇති කිරීමට උපකාරී වූ දේශපාලන සැලැස්මක් ගැන කතාකළේය. ඔහු පැවසූ කාරණය, පාස්කු ප්‍රහාරය හුදෙක් බුද්ධි අංශවල අසාර්ථකත්වයක් පමණක් නොව, ප්‍රවේශමෙන් සැලසුම් කර දේශපාලන අරමුණු සඳහා භාවිත කර ඇති බවට ඉස්මතු වුණු පෙර සැකයන් සමඟ සැසඳේ. අලුත් කාරණය නම්, මෙම බරපතල සැකයන් දැන් රජයේ ජ්‍යෙෂ්ඨ නායකයකු විසින් විවෘතව සහ නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීමයි. අමාත්‍ය රත්නායක පැවසුවේ, “ඔවුන් මෙය ආරම්භ කළේ 2013 දී බුද්ධි අංශ යොදාගනිමින් අන්තවාදී සිංහල සහ මුස්ලිම් කණ්ඩායම් නිර්මාණය කර ඒවාට සහාය දීමෙනි. මේ සියල්ල කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියට සමානයි”.
‘කේම්බ්‍රිජ් ඇනලිටිකා’ සිද්ධිය, අවසරයකින් තොරව මිලියන සංඛ්‍යාත ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගත් සමාගමක් පිළිබඳය. ඔවුන් මෙම දත්ත භාවිත කළේ ජනතාවගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ නිර්මාණය කිරීමට සහ පසුව ඔවුන් ඡන්දය දුන් ආකාරය කෙරෙහි බලපෑම් කිරීමට, විශේෂයෙන් ඉලක්ක කරගත් පණිවිඩ යැවීමටය. මෙම තොරතුරු ප්‍රධාන වශයෙන් භාවිත කරන ලද්දේ 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමට සහ එම වසරේම එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් (Brexit) ඉවත්වීමේ ව්‍යාපාරයට සහාය වීමටය. කෙන්යාව, නයිජීරියාව, ඉන්දියාව සහ ට්‍රිනිඩෑඩ්-ටොබැගෝ වැනි අනෙකුත් රටවල මැතිවරණවලට ද මෙම සමාගම සම්බන්ධ වූ බව කියනු ලැබේ. මිනිසුන් සිතන සහ ඡන්දය දෙන ආකාරය වෙනස් කිරීමට උත්සාහ කිරීම සඳහා ඔවුහු ඩිජිටල් දැන්වීම් සහ මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කළහ.
කාර්දිනල්තුමාගේ අනුකූලතාව
පාස්කු ප්‍රහාර පිළිබඳ ප්‍රකාශ සත්‍ය බව ඔප්පු වුවහොත්, යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන වාසි තකා ප්රචණ්ඩත්වය භාවිත කිරීමේ නරකම උදාහරණවලින් එකක් වනු ඇත. නැවත බලයට පැමිණීම සඳහා බිය, මරණය සහ විනාශය භාවිත කිරීම අතිශයින්ම වැරදි සහ අනුකම්පා විරහිතය. දැන් තත්වය වෙනස්ව ඇති අතර, වත්මන් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට කැමැත්තෙන් සිටින බව පෙනේ. ඉහළම ස්ථානවල සිටින බලවත් පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව් කෙරෙන බව පෙනෙන්නට තිබුණද, බලපෑම් නොතකා පරීක්ෂණ දිගටම කරගෙන යෑම සම්බන්ධයෙන් වත්මන් පාලනය බැරෑරුම් ලෙස කටයුතු කරන බවට හැඟීමක් තිබේ.
විශ්‍රාමික නිලධාරීන් වන ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න නැවත ගෙන්වාගැනීමේ නිර්භීත හා මතභේදාත්මක පියවර ආණ්ඩුව විසින් ගැනීම වැදගත් වේ. දෙදෙනාම ඉහළම පොලිස් විමර්ශකයන් වූ නමුත් පෙර පාලනයන් විසින් ඔවුන්ව පාස්කු ප්‍රහාර විමර්ශනයෙන් ඉවත්කරන ලදී. දැන්, නැවත පරීක්ෂණ මෙහෙයවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා ඇත. පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔවුන් වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට සහාය දුන් නිසා, ඔවුන්ගේ නව පත්වීම් මතභේදාත්මක ලෙස සැළකේ. කෙසේවෙතත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරුතුමන් එය ඉල්ලා සිටි නිසා ඔවුන් නැවත පත්කරන ලද බව අමාත්‍ය රත්නායක පැහැදිලි කළේය. මේ නිසා, පාස්කු ප්‍රහාරවලින් වැඩිපුරම පීඩාවට පත් වූ කතෝලික ප්‍රජාව රජය කෙරෙහි විශ්වාසය තැබීමට වැඩි ඉඩක් ඇත. මන්ද එමගින් මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමට බරපතල උත්සාහයක් පෙන්නුම් කර බැවිනි.
පාස්කු ඉරිදා ප්‍රහාර සඳහා යුක්තිය ඉල්ලා සිටීමේදී කතෝලික පල්ලිය සහ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වැදගත් හා ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර ඇත. ආරම්භයේ සිටම, කාදිනල්තුමා වින්දිතයන් වෙනුවෙන් දැඩි ලෙස කතාකළ අතර, සත්‍යය සහ යුක්තිය ඉල්ලා සිටියහ. නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ප්‍රහාර පිටුපස සිටින සැබෑ පුද්ගලයන් සොයාගන්නා ලෙසත් එතුමෝ නිරන්තරයෙන් ඉල්ලා සිටියහ. එතුමන්ගේ පීඩනය නිසා, අතීත ආණ්ඩුවල නායකයන්ද පියවර ගන්නා බවට පොරොන්දු විය. කාදිනල්තුමා මෙම පොරොන්දු පිළිගත්හ. කෙසේවෙතත්, පෙර බොහෝ පොරොන්දුවලදී, ඒවා සැබෑ ප්‍රතිඵල හෝ අර්ථවත් ක්‍රියාමාර්ගවලට මඟ පෑදුවේ නැත.
දණ්ඩමුක්තිය අවසන් කිරීම
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේ ප්‍රගතිය සිදුවෙමින් පවතින අතරම, රජය දූෂණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. වසර ගණනාවකට පසු පළමු වතාවට, ආර්ථික අපරාධ සම්බන්ධයෙන් බලවත් දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ. අතීතයේ දී, දූෂණ සහ දේශපාලන ප්රචණ්ඩත්වය වැනි බරපතල අපරාධ, විශේෂයෙන් රජයේ ඉහළ පුද්ගලයන් හා සම්බන්ධ වූ විට, ඒවා නිසි ලෙස විමර්ශනය කර නොමැත. බොහෝවිට, නඩු ආරම්භ කරන ලද අතර, සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබේ. එහෙත් ක්‍රියාවලිය අතරමග නතරවන අතර, සැකකරුවන් නිදහස් වනු ඇත. එහෙත් දැන්, තත්වයන් වෙනස් ය. චෝදනා එල්ල වී ඇති අය ඇත්ත වශයෙන්ම අධිකරණය හමුවේ නඩු විභාගවලට මුහුණ දී සිටින අතර, සමහරුන්ට දැඩි දඬුවම් ලැබී ඇත. මෙය යුක්තිය සඳහා නව කැපවීමක් පෙන්නුම් කරයි.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, දිවි ගලවාගත් අයගේ හඬ සහ බුද්ධි අංශවල අසාර්ථකත්වයන් පිළිබඳ වාර්තා නැවතත් අවධානයට ලක්වෙමින් පවතී. පිල්ලෙයාන් වැනි, පසුව දේශපාලනඥයන් බවට පත්වූ, හිටපු පැරාමිලිටරි සාමාජිකයන් ඇතුළු අපරාධය සම්බන්ධයෙන් වැදගත් පුද්ගලයන් පිළිබඳව විමර්ශන දැන් බැරෑරුම් ලෙස ක්‍රියාත්මක වේ. මෙයින් පෙනීයන්නේ විමර්ශනය තවදුරටත් ප්‍රදර්ශනයක් සඳහා පමණක් නොවන බවයි. රජයට ඇති විශාල අභියෝගය වන්නේ, මෙම ප්‍රගතිය දිගටම පවත්වාගෙන යෑමයි. නීති පද්ධතියට සහ ආයතනවලට කිසිවකු මැදිහත් නොවී ඔවුන්ගේ කාර්යය කිරීමට ඉඩදිය යුතුය. සත්‍යය දේශපාලනික වශයෙන් සංවේදී වුවද, ශ්‍රී ලංකාවේ ජනතාවට පිළිතුරු ලැබිය යුතුය. එසේම වඩාත් වැදගත් ලෙස ඔවුන්ට යුක්තිය ඉටුවිය යුතුය.
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව යුක්තිය නොමැතිකමකින් පීඩා විඳි අතර, එමඟින් රාජ්‍ය පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී ගොස් ඇත. වත්මන් ආණ්ඩුව මෙය වෙනස්කිරීමට පියවර කිහිපයක් ගැනීමට පටන් ගෙන තිබේ. එහෙත් මෙම උත්සාහයන් සම්පූර්ණ යුක්තිය ගෙන එනු ඇත්දැයි දැන ගැනීමට තවමත් ඉක්මන් වැඩිය. රජය අදියර කිහිපයකින් ක්‍රියාකරන බව පෙනේ: පළමුව ආර්ථික අපරාධ කෙරෙහි අවධානය යොමුකිරීම, පසුව පාස්කු ප්‍රහාර වැනි දේශපාලන අපරාධ කෙරෙහි අවධානය යොමුකිරීම සහ සමහර විට, පසුව යුද අපරාධ කෙරෙහි අවධානය යොමුකිරීම. යුද්ධයේ මතකයන් සහ වේදනාව තවමත් ශක්තිමත්ව පවතින අතර, ඉන් මිනිසුන් බෙදිය හැකිය. යුද්ධයට සම්බන්ධ අපරාධ පිළිබඳව පියවර ගැනීම සඳහා රජයට දැනට ඇති හෝ භාවිත කිරීමට කැමති ප්‍රමාණයට වඩා වැඩි දේශපාලන ශක්තියක් අවශ්‍ය විය හැකිය. එබැවින්, මෙම ක්‍රියාමාර්ග අනාගතයේදී බොහෝවිට සෙමින් හා ප්‍රවේශමෙන් සිදුවනු ඇත.
චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන්, රජය අධිකරණවලට මැදිහත්වීමකින් තොරව ඔවුන්ගේ පරීක්ෂණ සිදුකිරීමට ඉඩ දී ඇත. මෙය පසුගිය පාලනයන් මන්නාරම සහ මාතලේ හි මේ හා සමාන නඩු හසුරුවා ඇති ආකාරයට වඩා වෙනස් ය. එහිදී පරීක්ෂණ අවහිර කිරීම හෝ ප්‍රමාද කිරීම් සිදුවිය. චෙම්මනි විමර්ශනය ඉදිරියට ගෙනයෑමට ඉඩදීමෙන් පෙන්නුම් කරන්නේ, වැරදිකරුවන් ප්‍රශ්න කිරීමකින් තොරව ආරක්ෂා කිරීමේ කාලය අවසන් වෙමින් පවතින බවයි. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය ශක්තිමත් වෙමින් පවතින බවත් එයින් පෙන්නුම් කෙරේ. පාස්කු බෝම්බ ප්‍රහාරය වැනි බරපතල අපරාධයක් වසර හයකට වැඩි කාලයක් තිස්සේ නොවිසඳී ඇති අතර, ඒවා නිසි ලෙස විමර්ශනය කර වගකිවයුත්තන් අධිකරණයට ඉදිරිපත් කළහොත්, යුද්ධය අතරතුර සිදු වූ දේ ඇතුළුව අතීත සිදුවීම් පිළිබඳ වඩාත් අවංක පරීක්ෂණවලට එය මඟපෑදිය හැකිය. දැන්, මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම අධිකරණය, ස්වාධීන ආයතන සහ සිවිල් සමාජය සතුය.
– ජෙහාන් පෙරේරා–