දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීමෙන් රජය ඉක්මනින් ක්‍රියාකළේය. අවශ්‍යතා හඳුනාගැනීම, ප්‍රමුඛතා තීරණය කිරීම, සම්පත් කළමනාකරණය කිරීම සහ අරමුදල් රැස්කිරීම සහ බෙදාහැරීම සඳහා ප්‍රධාන කමිටුවක් පත්කරන ලදී. කෙසේවෙතත්, මෙම කමිටුවට පත්කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව බොහෝ අය කනස්සල්ල පළකර ඇත. එහි සාමාජිකයන් එකොළොස්දෙනාම පිරිමින්ය. එහි රජය නියෝජනය නොකරන සියලුම සාමාජිකයන් ව්‍යාපාරික නායකයන් වන අතර, ඔවුන්ගෙන් කිසිවකු ජාතික සංවර්ධනය, ආපදා කළමනාකරණය හෝ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සමඟ වැඩකිරීමේ අත්දැකීම් ඇති ය නොවේ. මෙම පුද්ගලයන් ඉතා විශාල ලාභ උපයන පෞද්ගලික අංශයේ ඉහළම මට්ටම්වලින් පැමිණේ. මේ නිසා, කාර්යසාධක බලකායේ කාර්යභාරය සහ අරමුණ නැවත සලකාබලන ලෙස සිවිල් සමාජ කණ්ඩායම් රජයෙන් ඉල්ලා තිබේ. රට වඩා හොඳින් නියෝජනය කරන සහ එහි විවිධ අවශ්‍යතා සපුරාලන පරිදි කමිටුවේ සංයුතිය වෙනස්කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
මුලින්ම පත්කරන ලද බලවත් ව්‍යාපාරික නායකයන් කණ්ඩායම සමාගම් සහ අන්තර්ජාතික පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් රැස්කිරීමට ඉතා දක්ෂ විය හැකිය. කෙසේවෙතත්, ප්‍රමුඛතා තීරණය කිරීමට හෝ මුදල් වියදම් කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට නිවැරදි කුසලතා නොතිබිය හැකිය. අරමුදල් රැස්කිරීම, අරමුදල් අධීක්ෂණය කිරීම සහ මුදල් වියදම් කළයුතු ආකාරය තීරණය කිරීම එකිනෙකට වෙනස් කාර්යයන් වන අතර, එක් එක් අයට වෙනස් කුසලතා සහ විනිශ්චය අවශ්‍ය වේ. මේ හේතුව නිසා, මෙම භූමිකාවන් වෙනවෙනම තබා ගත යුතුය. ආපදාවලින් පසු නැවත ගොඩනැගීමේ අන්තර්ජාතික අත්දැකීම්වලින් පෙනීයන්නේ, සියලු ජනකොටස් ඇතුළත් වන සහ නියෝජනය කරන කණ්ඩායම් විසින් සාධාරණ, කාර්යක්ෂම සහ පුළුල් ලෙස පිළිගත් ප්‍රතිඵල ලබාදීමට වැඩි ඉඩක් ඇති බවයි. නිදසුනක් වශයෙන්, සිවිල් සමාජ කණ්ඩායම්වලට දේශීය ප්‍රජාවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා, අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සමඟ වැඩකිරීමේ අත්දැකීම් සහ වෙනත් ආකාරයකින් අභියෝගයට ලක්නොවිය හැකි තීරණ සහ උපකල්පන ප්‍රශ්න කිරීමේ හැකියාව ඇත.
ධනාත්මක සහ වැදගත් පියවරක් වන්නේ, රජය මෙම විවේචනවලට සවන්දී අවම වශයෙන් එක් සිවිල් සමාජ නියෝජිතයකුට හෝ Rebuilding Sri Lanka කමිටුවට එක්වන ලෙස ආරාධනා කිරීමයි. මෙම පියවර බැරෑරුම් ලෙස සැලකිය යුතු අතර, සිවිල් සමාජය විසින් සාදරයෙන් පිළිගත යුතුය. ඒ සමඟම, සිවිල් සමාජය එක් නියෝජිතයකු පමණක් නොව තවත් නියෝජිතයන් ඉල්ලා සිටිය යුතුය. ජාතික ව්‍යසනයකින් පසු නැවත ගොඩනැගීම රජයට සහ ව්‍යාපාරික ප්‍රජාවට පමණක් කළ නොහැකි බවට එවැනි ඉල්ලීමක් මගින් පෙන්නුම් කරයි. සිවිල් සමාජය කමිටුවට ඇතුළත් කිරීම, විනිවිදභාවය වැඩිදියුණු කරන අතර, මහජන විශ්වාසය වැඩිකරයි. විශේෂයෙන් රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය තවමත් දුර්වල අවස්ථාවක එය ඉතා වැදගත් පියවරකි. එක් පත්වීමක් මගින් පමණක් සැබෑ අවශ්‍යතාව සහතික නොකළද, එය දැන් ක්‍රියාවලිය පුළුල් කර විධිමත් ලෙස ගොඩනගා ගතයුතු වඩාත් සහභාගීත්ව ප්‍රවේශයක් සඳහා අවස්ථාවක් නිර්මාණය කරයි.
මිල අධික බැහැර කිරීම්
ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට, රජය තීරණ ගැනීමේදී සියලු ප්‍රජාවන් ඇතුළත් කිරීමක් නොමැතිකම රටට විශාල හානියක් සිදුකර ඇත. 1948 නිදහස ආරම්භයේ සිටම, ප්‍රජාව හෝ දේශපාලන පක්ෂය නොසලකා සියලුදෙනා ඇතුළත් කිරීම වෙනුවට ඇතැම් කණ්ඩායම් බැහැර කිරීම සිදුවිය. රටේ පළමු අගමැති ඩී.එස්. සේනානායක, මලයහ දෙමළ ප්‍රජාවගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කරමින් ඔවුන් බැහැර කළ පාලනයකට නායකත්වය ලබාදුන්නේය. වසර අටකට පසු, 1956 දී, ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිංහල භාෂාව එකම නිල භාෂාව බවට පත්කරමින් දෙමළ කතාකරන ජනතාව රජයේ කටයුතුවලට සිදුකෙරෙන පූර්ණ සහභාගීත්වයෙන් බැහැර කළේය. මෙම මුල් තීරණ සහයෝගීතාව සහ ඇතුළත් කිරීම වෙනුවට බැහැර කිරීම සාමාන්‍ය පාලන ක්‍රමයක් බවට පත්කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුහු වසර හැත්තෑවකට ආසන්න දේශපාලන ගැටුමකට සහ වසර තිහක පමණ අභ්‍යන්තර යුද්ධයකට වේදිකාව සැකසූහ.
දේශපාලන පක්ෂ රේඛා ඔස්සේ ද බැහැරකිරීම දැඩි ලෙස සිදුවී ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම ලියා අනුමත කරන ලද්දේ බලයේ සිටි ආණ්ඩු විසින් පමණි. 1972 සහ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැලසුම් කිරීමේදී, වෙනත් අදහස් ඇතුළත් නොවූ නිසා විරුද්ධ පක්ෂ ඒවාට විරුද්ධව ඡන්දය දුන් අතර, ඔවුන්ගේ යෝජනා නොසලකා හරින ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, රටේ මූලික නීතිය සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවයකින් කිසි විටෙකත් නිර්මාණය නොවීය. මෙම ඉතිහාසය අද දේශපාලනයට බලපාන අතර, එය නිරන්තර ගැටුම් සහ දුර්වල ආයතන පද්ධතියකට මගපාදයි. අනෙකුත් ප්‍රජාවන් සහ දේශපාලන පක්ෂ තීරණ ගැනීමෙන් බැහැර වූ නිසා, රජයේ ප්‍රතිපත්ති බොහෝවිට ආපසු හැරවී ඇත. අධ්‍යාපනය, ආර්ථික නියාමනය සහ විදේශ ප්‍රතිපත්තිය වැනි ක්ෂේත්‍රවල, එක් ආණ්ඩුවක් විසින් හඳුන්වාදුන් ප්‍රතිපත්ති ඊළඟ ආණ්ඩුව විසින් නිතර අවලංගු කර හෝ වෙනස් කර ඇත.
වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී ශ්‍රී ලංකාවේ දුර්වල වාර්තාව ප්‍රධාන වශයෙන් මෙම ගැටලුවට හේතු වී ඇත. අස්ථාවර ප්‍රතිපත්ති යනු ආර්ථික ගැටලුවක් පමණක් නොවේ. එය කුඩා කණ්ඩායමක් විසින් බලය අල්ලාගෙන සිටීම නිසා ඇති වන දේශපාලන ගැටලුවකි. 2022 දී, ජනතාව මහජන විරෝධතා සඳහා වීදි බැස පාලනය පෙරළාදැමූහ. ඔවුන් පද්ධති වෙනසක් ඉල්ලා සිටි අතර, ඔවුන්ගේ ප්‍රධාන සැලකිල්ල වූයේ දූෂණයයි. එවකට එය අතිශයින් ඉහළ මට්ටම් කරා ළඟාවී තිබිණි. දූෂණයට එරෙහිව සටන් කිරීම කෙරෙහි රජයේ වත්මන් අවධානය ධනාත්මක බලපෑම් දෙකක් සිදුකර ඇත. පළමුව, එය නාස්තිය අඩුකිරීමට උපකාරී වන අතර එමඟින් ජනතාවගේ සුභසාධනය සඳහා වැඩි මහජන සම්පත් භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇත.
දෙවැනි ප්‍රතිලාභය
දෙවැනි වාසිය නම්, දූෂණය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් රජයට බොහෝ විපක්ෂ නායකයන් දුර්වල කළ හැකි වීමයි. විපක්ෂ නායකයන් දූෂණ චෝදනා මත සිරගත කරන විට, රජයට අඩු දේශපාලන තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදුවේ. කෙසේවෙතත්, මෙම වාසි සියල්ලන් ඇතුළත් පාලනයක් සඳහා ඇති ගැඹුරු අවශ්‍යතාව ප්‍රතිස්ථාපනය නොකරයි. වත්මන් ආණ්ඩුව දූෂණය එහි ප්‍රධාන ගැටලුව ලෙස තෝරාගෙන ඇති බව පෙනේ. එහෙත් දූෂණය අඩුකිරීම හෝ අවසන් කිරීම පමණක් වේගවත් ආර්ථික වර්ධනයක් ගෙන එන්නේ නැත. දුර්වල ආර්ථික ක්‍රියාකාරිත්වයට එකම හේතුව දූෂණය නොවේ. වේගවත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකය වන්නේ ස්ථාවරව පවතින සහ නව ආණ්ඩුවක් බලයට පත්වන සෑම අවස්ථාවකම වෙනස් නොවන රජයේ ප්‍රතිපත්ති තිබීමයි.
ශ්‍රී ලංකාව ශක්තිමත් සහ කල් පවතින ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට නම්, අද පවතින ආර්ථික ප්‍රතිපත්ති අනාගතය දක්වාම පැවතිය යුතු අතර, සෑම නව පාලනයක් සමඟම වෙනස්නොවිය යුතුය. ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව සහතික කිරීමට හොඳම ක්‍රමය වන්නේ සියල්ලන් ඇතුළත් පාලනයයි. විරුද්ධ පක්ෂ, විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය බැහැර කිරීම වෙනුවට, තීරණ ගැනීමේදී ඔවුන් ඇතුළත් කළ යුතුය. පද්ධති වෙනස සම්බන්ධයෙන් ගත්කල, දූෂණය ආමන්ත්‍රණය කිරීමේදී රජය හොඳින් කටයුතු කර ඇත. අතීතයට වඩා දූෂණය දැන් බෙහෙවින් අඩු බව බොහෝදෙනකුට හැඟේ. කෙසේවෙතත්, ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගත්කල, රජය වැඩි කැපවීමක් පෙන්විය යුතුය. කැබිනට් අමාත්‍යවරුන් තෝරාගැනීමේදී මෙය පැහැදිලි විය, ඔවුන් සියල්ලන්ම පාහේ බහුතර ජනවාර්ගික ප්‍රජාවෙන් පැමිණි පිරිමින්ය. Clean Sri Lanka ජනාධිපති කාර්යසාධක බලකාය සහ Rebuilding Sri Lanka කාර්ය සාධක බලකාය ඇතුළුව රජය විසින් පිහිටුවන ලද වැදගත් කමිටු ද මුලදී රටේ විවිධත්වය පිළිබිඹු කිරීමට අසමත් විය.
ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික සහ බහුආගමික රටක, සියල්ලන් ඇතුළත් කිරීම යනු සංකේතයක් පමණක් නොවේ. විවිධ අදහස් තේරුම්ගැනීමට සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීමට එය අත්‍යවශ්‍ය වේ. දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ගේ සාමාජිකයන් මෙන්ම ජනගහණයෙන් සියයට 52ක් වන කාන්තාවන් ද ප්‍රධාන තීරණ ගැනීමේ ආයතනවලට, විශේෂයෙන් ජාතික ප්‍රකෘතිය සඳහා වගකිවයුතු ආයතනවලට ඇතුළත් කිරීම වැදගත් වේ. මෙම නියෝජනය නොමැතිව, අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත් වූ ප්‍රජාවන්ට සවන්දීමට හැකියාවක් නොමැති අතර, පැරණි ගැටළු සහ දුක්ගැනවිලි නැවත නව ආකාරවලින් මතුවිය හැකිය. Rebuilding Sri Lanka කාර්යසාධක බලකායට එක්වීමට සිවිල් සමාජයට ආරාධනා කිරීම වැදගත් පළමු පියවරකි. මෙය සැබෑ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වේද යන්න රඳාපවතින්නේ, රජය මහජන පීඩනයට තාවකාලික ප්‍රතිචාරයක් ලෙස නොව, පාලනයේ මූලික මූලධර්මයක් ලෙස සියල්ලන් ඇතුළත් කිරීම සලකන්නේද යන්න මතය.
– ජෙහාන් පෙරේරා-
