පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය ඉදිරිපත් කරයි. මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 279 දෙනකු මියගියේය. තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, රට පුරා භීතිය හා කම්පනය ඇතිවිය. පාස්කු ප්‍රහාර, හේතු කිහිපයක් නිසා තේරුම් ගැනීමට අපහසු විය. පළමුව, ඒවා සිදුකරන ලද්දේ, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසිනි. මෙම ප්‍රජාව එවැනි ක්‍රියාවන් සඳහා ප්‍රසිද්ධ නැති නිසා මෙය අසාමාන්‍ය විය. ප්‍රහාරකයන් ප්‍රධාන වශයෙන් ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරගත් අතර, එමඟින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවිය. මෙය ද පුදුමයට කරුණක් විය, මන්ද ශ්‍රී ලංකාවට මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානි අතර බරපතල ගැටුමක ප්‍රබල ඉතිහාසයක් නොමැති බැවිනි.
බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් අසාමාන්‍ය දේවල් දෙකක් තිබිණි. රටේ විවිධ ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර හය එකම වේලාවක සිදුවිය. මෙය ශ්‍රී ලංකාව මීට පෙර දැක ඇති ඕනෑම දෙයකට වඩා ඉහළ මට්ටමේ සැලසුම් කිරීමක් සහ සංවිධානයක් පෙන්නුම් කළේය. මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා ලොව පුරා ප්‍රසිද්ධ වූ, ශ්‍රී ලංකා හමුදාව සහ එල්ටීටීඊය අතර වසර 30 ක සිවිල් යුද්ධය අතරතුර පවා, එවැනි හොඳින් සම්බන්ධීකරණය කරන ලද මෙහෙයුමක් ඉතා දුර්ලභ විය. එවකට ප්‍රහාර විමර්ශනය කළ ශ්‍රී ලංකාවේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පසුව විශ්‍රාම ගැනීමෙන් පසු පැවසුවේ, බෝම්බ ප්‍රහාර පිටුපස “මහා කුමන්ත්‍රණයක්” ඇති බවයි. මෙම ප්‍රකාශය මහජන සාකච්ඡාවලදී ඉතා වැදගත් වූයේ, අප දුටු ප්‍රහාරකයන්, ප්‍රහාරය සැලසුම් කළ එකම පුද්ගලයන් නොවිය හැකි බවට සැකයක් නිර්මාණය වූ බැවිනි.
තවත් අමුතු කරුණක් නම්, ඉන්දියාවේ බුද්ධි අංශ ශ්‍රී ලංකාවට ප්‍රහාර සිදුවිය හැකි බවට කිහිපවතාවක්ම අනතුරු ඇඟවූ බවයි. ඔවුන් විය හැකි ඉලක්ක පිළිබඳ විස්තර පවා ලබාදී තිබිණි. පසුව කළ පරීක්ෂණවලින් පෙනීගියේ, මෙම අනතුරු ඇඟවීම්, ප්‍රහාරවලට දින කිහිපයකට පෙර සහ ඒවා සිදුවීමට ටික කලකට පෙර එවා ඇති නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මෙම අසාමාන්‍ය කරුණු නිසා, බොහෝ අය විශ්වාස කළේ ප්‍රහාර පිටුපස මහමොළකරුවකු සිටිය යුතු බවයි. බෝම්බකරුවන් අතරට, රටේ නැගෙනහිර ප්‍රදේශයේ සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් සිසුන් සහ ආගමික අන්තවාදීන් ඇතුළත් වූ අතර ඔවුන් ද ප්‍රහාරයෙන් මියගියේය. ඒ වන විටත්, මෙතරම් සංකීර්ණ හා හොඳින් සම්බන්ධීකරණය කරන ලද මෙහෙයුමක්, මෙම කුඩා හා මිශ්‍ර ප්‍රහාරක කණ්ඩායම විසින් පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කළ හැකි යැයි බොහෝදෙනෙක් සැකකළහ.
අධිෂ්ඨානශීලී උත්සාහය
පිළිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල විසින් රචිත මෙම පොත ඉතා ව්‍යාකූල සහ සංකීර්ණ තත්වයක් පැහැදිලි කිරීමට උත්සාහ කරයි. පාස්කු ප්‍රහාර සැලසුම් කර සහ්රාන් විසින්ම සිදුකරන ලද බවට තර්ක කිරීමට, ඔහු තර්කනය සහ සාක්ෂි භාවිත කරයි. ප්රජාතන්ත්රවාදී රටක මෙය එක්, විය හැකි මතයකි. එහිදී එවැනි සිදුවීම් පිළිබඳව මිනිසුන්ට විවිධ අදහස් දැරීමට නිදහස තිබේ. ප්‍රධාන ඛේදවාචක පිළිබඳ විවිධ පැහැදිලි කිරීම් දේශපාලනයේ සාමාන්‍ය කොටසකි.
කෙසේවෙතත්, මෙම පොතේ කාල නිර්ණය එය දේශපාලනික වශයෙන් වඩාත් වැදගත් කරයි. වත්මන් ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාර පිළිබඳ දීර්ඝ විමර්ශනය අවසානයේ ප්‍රගතියක් ලබාගැනීමට පටන් ගෙන ඇති අවස්ථාවක එය නිකුත්කර ඇත.
පෙර පැවැති ආණ්ඩු තුන පාස්කු බෝම්බ ප්‍රහාර විමර්ශනය කිරීමේදී දුර්වල කාර්යයක් ඉටුකළේය. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු, මුල් බුද්ධි අනතුරු ඇඟවීම් මත ක්‍රියානොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව තීරණය කරන ලදී. වින්දිතයන්ට වන්දි ගෙවීමට ද අධිකරණය ඔවුන්ට නියෝග කළේය. මෙම තීරණය මගින් වින්දිතයන් දිගු කලක් තිස්සේ කියාසිටි දෙය සනාථ විය. එනම්, රජයේ ඉහළම මට්ටම්වල රාජකාරියේ බරපතල අසමත්වීමක් සිදුවී ඇති බවයි. පසුගිය සතිවලදී, විමර්ශනයේ ප්‍රධාන හැරීමක් සිදුව තිබේ. ප්‍රහාරවලට සෘජුවම සම්බන්ධ චෝදනා පදනම් කරගෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රකාශ සත්‍ය බව ඔප්පු වුවත් නැතත්, ඔවුන් පෙන්නුම් කරන්නේ, විමර්ශනය විසින් දැන් සරල නොසැලකිල්ලෙන් ඔබ්බට ගොස්, නිලධාරීන්ගේ සම්බන්ධ වීමේ හැකියාව සලකා බලන බවයි.
වර්තමාන තත්වයට, ප්‍රවේශම්සහගත සහ වගකිවයුතු දේශපාලන චින්තනයක් අවශ්‍ය වන්නේ එබැවිනි. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය වාර්ගික රේඛා ඔස්සේ බෙදීයෑමේ අවදානමක් පවතී. මරාගෙන මැරෙන බෝම්බකරුවන් පමණක් ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කළ බවට ජනතාව දැඩි ලෙස තර්ක කරන්නේ නම්, ප්‍රධාන වශයෙන් අවධානය යොමුවන්නේ මුස්ලිම් අන්තවාදය කෙරෙහි ය. මන්ද සියලුම බෝම්බකරුවන් මුස්ලිම්වරුන් ය. මෙය නොදැනුවත්වම බුද්ධි අංශ අසමත්වීම්, විය හැකි දේශපාලන මැදිහත්වීම් සහ තවමත් විමර්ශනය කෙරෙමින් පවතින විශාල කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රකාශ වැනි අනෙකුත් වැදගත් කරුණුවලින් අවධානය වෙනතකට යොමුකළ හැකිය. වාර්ගික හා ආගමික සුළුතරයන් නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙම අවදානම තේරුම් ගෙන ඇති බව පෙනේ. පොත් එළිදැක්වීමේ උත්සවයට ඔවුන් නොපැමිණීම වැදගත් විය. කුඩා අන්තවාදී කණ්ඩායමක සහ ඔවුන්ට සහාය දුන් අයගේ ක්‍රියාවන් සඳහා සමස්ත ප්රජාවකට අසාධාරණ ලෙස දොස් පැවරිය හැකි ආඛ්‍යානයකට සහාය දැක්වීමට ඔවුන්ට අවශ්‍ය නැති බව එයින් පෙන්නුම් කෙරේ.
තවත් ඛේදවාචකයක්
විපක්ෂය ප්රමුඛ සමගි ජන බලවේගය වැනි මධ්‍යස්ථ දේශපාලන පක්ෂ වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශපාලන වාසි ලබාගැනීම සඳහා ස්ථාවරයන් ගන්නේ නම් එය තවත් බරපතල ඛේදවාචකයක් වනු ඇති අතර, එමගින් විශාල දේශපාලන ප්‍රතිවිපාක ඇති කරයි. සුළුතර කණ්ඩායම් කෙරෙහි නිෂේධාත්මක හැඟීම් දිරිමත් නොකිරීමට හෝ වාර්ගික හා ආගමික සුළුතරයන්ට එරෙහිව බහුතරය අතර අගතිය වැඩි නොකිරීමට මෙම පක්ෂ ප්‍රවේශම් විය යුතුය. ඇත්ත වශයෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය පාස්කු පණිවිඩයේ සඳහන් කළේ, 2019 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම රජයේ ප්‍රධාන වගකීමක් බවයි. වසර හතකට පසුව වුවද, පසුගිය සහ වර්තමාන ආණ්ඩු වගවීම සහතික කිරීමට අපොහොසත් වී ඇති බව ද ඔහු පෙන්වාදුන්නේය. එවැනි ඛේදවාචක නැවත සිදුනොවන පරිදි, සියලු ජනවාර්ගික කණ්ඩායම්, ආගම් සහ ප්‍රජාවන් එක්සත් වන විශ්වාසය සහ සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම ඉතා වැදගත් බවත්, එවැනි ඛේදවාචක නැවත සිදුනොවිය යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ, බහුතරය මත පදනම් වූ දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා නොවිසඳුණු ආරක්ෂක ගැටළු භාවිත කර ඇති අවස්ථා බොහොමයක් දක්නට ලැබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු, සමහර ප්‍රදේශවල මුස්ලිම්වරුන්ට එරෙහිව සැකය සහ ප්රචණ්ඩත්වය පිළිබඳ සිදුවීම් ද වාර්තා විය. එවැනි තත්වයන් නැවත ඇතිවීම වැළැක්වීමට යහපත් දේශපාලන නායකත්වයක් කටයුතු කළ යුතුය. රජයෙන් ප්‍රශ්න කිරීම සඳහා විරුද්ධ පක්ෂවලට අවධානය යොමුකළ හැකි තවත් බොහෝ වැදගත් කරුණු තිබේ. දූෂණ චෝදනා එල්ල වී ඇති රජයේ සාමාජිකයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගැනීම, ඉන්ධන මිල ඉහළ යෑමේ සම්පූර්ණ බර බෙදාගැනීම වෙනුවට මහජනතාව මත පැටවීම සහ පළාත් සභා මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීමට අපොහොසත් වීම මෙයට ඇතුළත් වේ. මෙම ගැටළු ජනතාවගේ දෛනික ජීවිතයට සහ රටේ ප්රජාතන්ත්රවාදයට සෘජුවම බලපායි. අනාගතයේදී පාලනය කිරීමට තමන් සූදානම් බව ඔප්පු කිරීමට මෙමගින් විපක්ෂයට ප්‍රබල අවස්ථාවක් ලබාදෙයි.
පාස්කු බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සෙවීම, වගකිවයුතු සියලු දෙනා සොයාගන්නා තෙක් දිගටම කරගෙන යා යුතුය. මෙයට ප්‍රහාරකයන්, රාජකාරි පැහැර හැර ඇති නිලධාරීන් සහ ඛේදවාචකය තමන්ගේම ප්‍රයෝජනය සඳහා භාවිත කළ හැකි ඕනෑම දේශපාලන ක්‍රියාකාරිකයෙක් ඇතුළත් වේ. වින්දිතයන්ගේ පවුල්වලට අවශ්‍ය වන්නේ මෙයයි. රටට අවශ්‍ය වන්නේද මෙයයි. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය දේශපාලනික විය යුතු නැත. නැතහොත් ආගමික බෙදීම් ඇති නොකළ යුතුය. නිදසුනක් වශයෙන්, සහරාන්ට සම්බන්ධ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් රට තුළ සිටින බව ප්‍රකාශ කිරීම බිය සහ ආතතිය ඇති කළ හැකිය. එසේ සිදුවුවහොත්, ශ්‍රී ලංකාව තවත් බරපතල ගැටලුවකට මුහුණදිය හැකිය. වාර්ගික හෝ ආගමික දේශපාලනය භාවිත කරමින් 2019 පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ අපකීර්තියට පත්කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකිය. මහජනතාවගේ ගෞරවය සහ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය නම්, විපක්ෂය විවේචන වෙනුවට රජයට අභියෝග කිරීම සඳහා සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමුකළ යුතුය.
~ජෙහාන් පෙරේරා~
