විගණකාධිපතිවරයෙකු පත් නොකිරිමේ ජනාධිපතිවරයාගේ දූෂිත කුමන්ත්‍රණය පරාජය කිරිමට විපක්ෂ නායකවරයාට හැකියාව තිබෙන බවත් එය ජාතියටත් පෙන්වා දෙන්නයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂ නායක සටනට සූදානම් නම් ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වය රැක ගත හැකි බවයි.

“ජනාධිපතිතුමා විගණකාධිපතිවරයෙකු පත් කරන්නේ නැතිව ජනවාරි මාසය වන තුරු කල් මරන්නේ ව්‍යවස්ථා සභාවේ ස්වාධීන නියෝජිතයින් තිදෙනාගේ ධූර කාලය අවසන් වුණාට පස්සේ තමන්ගේ හෙංචයියන් ඒ තනතුරු වලට දාගෙන තමන්ගේ චක් ගෝලයෙක් විගණකාධිපති කරන්නැයි කියන පණිවිඩය 2025 ජූලි 14 දිනත් දෙසැම්බර් 29 දිනත් අපි මාධ්‍ය හමු පවත්වලා රටට කිව්වා. අද අපි මාධ්‍ය හමුව කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ ඒ දූෂිත කුමන්ත්‍රණය පරාජය කරන්න විපක්ෂ නායකතුමාට හැකියාව තිබෙන බව එතුමාටත් ජාතියටත් පෙන්වා දෙන්නයි. ඒ කොහොමද?”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඊ වගන්තිය අනුව ආණ්ඩුක්‍රම සභාවේ සාමාජිකයින්ගේ කාලය ඉකුත් වුණත් නව සාමාජිකයින් ධූර භාර ගන්නා තෙක් සභාවේ සිටින සාමාජිකයින් ධූර දැරිය යුතුයි. දැරිය හැකියි නොවේ දැරිය යුතුයි. ඒ කියන්නේ ව්‍යවස්ථා සභාවේ සිටින සාමාජිකයින් කැමති වුණත් අකැමති වුණත් නව සාමාජිකයින් පත් කරන තෙක් ඔවුන් ඒ ධූර වලම සිටිය යුතුයි.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ)(iii) වගන්තිය අනුව ස්වාධීන නියෝජිතයින් තුන්දෙනා පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක එකඟතාවයෙන්. පසුගිය වසර තුනේ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයත් අදූෂිත බවත් රැක ගන්න විශිෂ්ට සේවයක් කළ මේ සාමාජිකයින් තිදෙනාගේ සේවය තව දුරටත් ලබා ගන්නත් මාලිමා හෙංචයියන් ව්‍යවස්ථා සභාවට පත් කිරීම වලක්වන්නත් විපක්ෂ නායකතුමා කළ යුත්තේ අගමැතිනිය යෝජනා කරන මාලිමා හෙංචයියන්ගේ නම් වලට එකඟතාවය පල නොකර සිටීමයි.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වාධීණ සාමාජිකයන් 3 දෙනා අගමැති සහ විපක්ෂ නායකගේ එකඟතාවයෙන් පත් කළ යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් දෙදෙනාම එකඟ වෙන තුන්දෙනෙකු සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. ඒ නිසා අවසානයේ දී සිදුවණුයේ අයදුම් කළ අය අතුරෙන් අගමැති එක් අයෙකුත් විපක්ෂ නායක එක් අයෙකුත් නම් කරලා එක් අයෙක් විතරක් දෙදෙනාගේම එකඟත්වයෙන් නම් කිරීමයි. ඒ නිසා අගමැති නම් කරන පුද්ගලයා මාලිමාවේ හෙංචයියෙක් වුණොත් ව්‍යවස්ථා සභාවේ බහුතරය ආණ්ඩුවට ලැබිලා ජනාධිපතිතුමාට අවශ්‍යකරණ තමන් කියන පදයට නටන අය ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයින්, ඉහල අධිකරණයේ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති විගණකාධිපති වගේ වැදගත් තනතුරු වලට පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.”

“එක් අයෙකු විතරක් එකඟතාවයෙන් පත් කරනවා වෙනුවට තිදෙනාම එකඟතාවයෙන් පත් කරන ස්ථාවරයට ගොස් රටම පිලිගත හැකි මාලිමා හෙංචයියන් නොවන බව දන්නා චරිත යෝජනා කරන තුරුම විපක්ෂ නායකතුමාගේ එකඟතාවය නොදී හිටියොත් රාජ්‍ය සේවය මාලිමාකරණයටත් ඒ තුලින් තව දුරටත් දූෂිත කිරීමටත් ආණ්ඩුව දරණ වෑයම පරාජය කළ හැකියි. තමන්ගේ හෙංචයියෙකු විගනකාධිපති කර ගැනීමේ ජනාධිපති උත්සාහය පරාජය කිරීමේ හැකියාව විපක්ෂ නායක තුමන්ට ලැබෙනවා.”

අගමැතිතුමිය යෝජනා කරන නම් ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකතුමාට ඉතාම හොඳ හේතු ගණනාවක් තිබෙනවා.

“පළමුව, පසුගිය වතාවේ ස්වාධීන සාමාජිකයින් පත් කලේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඒකට අයදුම් කළ අය අතුරෙන්. මේ පාරත් එහෙම කරමු කියලා යෝජනාවක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වුණා. ජනවාරි 18 දිනෙන් දැනට සිටින සාමාජිකයින් තුන්දෙනාගේ ධූර කාලය අවසන් වුණත් අද වනතුරු අයදුම්පත් කැඳවීමක් සිදු කරලා නෑ. මාලිමා හෙංචයියන් පත් කරන්නේ නැතිනම් ඇයි ප්‍රසිද්ධ අයදුම්පත් කැඳවීමකට පැකිලෙන්නේ?”

“දෙවනුව, වත්මන් සාමාජිකයින් තමන්ගේ ස්වාධීනත්වය ඉහලින්ම ප්‍රදර්ශනය කරලා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම පෙර සිටි ජනාධිපතිවරයාගේ ද නිර්දේශ ප්‍රතික්ෂේප කරලා වත්මන් ආණ්ඩුව වගේම විපක්ෂයටත් තමන් පක්ෂපාති නොමැති බව පෙන්නුවා. ඒකම තමයි මේ තිදෙනාගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ජාතියත් අපේක්ෂා කරන්නේ.”

“තෙවනුව, තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට මාධව තෙන්නකෝන් මහතාගේ නම වෙනුවට රංග දිසානායක මහතාගේ නම නිර්දේශ කලේ සභානායකවරයා තමන්ට බොරු කියා නොමග යැවූ නිසා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දීම හරහා මේ තුන්දෙනා භීෂණය ඉදිරියේ බියෙන් සැලෙන්නේ නෑ කියන එක පෙන්නුවා. අද බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ත්‍රස්තවාදි අතීතයට බයෙන් මර්දනයේ වර්තමානයට බියෙන් ආණ්ඩුවේ වැරදි සෘජුව පෙන්වා දෙන්නේ නෑ. එවැනි පසුබිමක තමන් එහෙම බය නෑ කියලා ඔප්පු කරපු තිදෙනෙක්ගේ සේවය තවදුරටත් ලබා ගැනීමේ කිසිම වරදක් නෑ.”

“ඉහත තත්වය යටතේ අපි විපක්ෂ නායකතුමාට යෝජනා කරන්නේ රටටත් තමන්ටත් නිර්පාක්ෂිකයි නිර්භයයි කියා පිලිගත හැකි චරිත තුනක නම් අගමැතිවරිය යෝජනා කරන තෙක් යෝජනා කරන නම් ප්‍රතික්ෂේප කරලා රාජ්‍ය සේවයේ අපක්ෂපාතිත්වය රැක ගන්නා ලෙසයි.”

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *