එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල් සලේ අසාධාරණ නීතියක් යටතේ දඩයම් කිරීමට කටයුතු කිරීම උත්ප්‍රාසජනක මෙන්ම කනගාටුදායක තත්ත්වයක් බව නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙනවා.

හිටපු හමුදා නිලධාරී සුරේෂ් සලේට එරෙහිව සිදු කොට ඇති අවමන් සහගත සැලකීම් හෙළා දකිමු !

මේජර් ජනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවා තබා ගැනීමට කටයුතු කිරීම සහ එසේ රඳවා තබා ගනිමින් ඔහුව අවමන් සහගත සැලකිල්ලට භාජනය කිරීම දිනන දකුණ සාමූහිකය පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

මේජර් ජනරාල් සුරේෂ් සලේ රඳවා තබා ගනිමින් ඔහුට අවමන් සහගතව සැලකීමට එරෙහිවීමට අමතරව, දිනන දකුණ සාමූහිකය මෙම සිදුවීම ලාංකීය දේශපාලනය තුළ පවතින දෙබිඩි බව පිළිබඳව සමාජයට අනතුරු ඇඟවීමට අවස්ථාවක් කර ගනී.

මේජර් ජනරාල් සුරේෂ් සලේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කොට ඔහුට අත්විඳින්නට සලස්වා ඇති අවමන් සහගත සැලකිලි හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) උත්සාහ දරමින් සිටින්නේ, ඔහු සහ පාස්කු ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු එකම පාර්ශවයක් යැයි බලහත්කාරී පාපොච්ඡාරණයක් ලබා ගැනීමට බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

එසේම මෙම සමස්ත සිදුවීම පිටුපස පවතින, ශ්‍රී ලාංකීය දේශපාලනයේ දරුණු උත්ප්‍රාසය සහ කුහකත්වය පදනම් කරගත් දේශපාලන දෙබිඩි බව ද කැපී පෙනෙන බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කර සිටී.එම කරුණ පෙන්වා දීම ද මෙම සිදුවීම හෙළා දැකීමට සමාන්තරව දේශපාලනිකව අතිශය වැදගත් සංසිද්ධියක් බව අප සාමූහිකය විශ්වාස කරයි.

මෙහිලා අප විශේෂයෙන්ම හුවා දක්වන්නේ, මෙම සංසිද්ධියට අභිමුඛ වී ඇති දේශපාලන බලවේගයන්ගේ ද්විත්ව ප්‍රතිපත්තියයි.
ලංකාවේ ලිබරල් ප්‍රගතිශීලී ජනතාව දශක හතරක් තිස්සේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තීරුබදු සහන) තාවකාලික විධිවිධාන පනතට එරෙහිව අඛණ්ඩව සටන් කොට තිබේ. යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද මෙම පනත වහාම අහෝසි කරන ලෙස අවධාරණය කර ඇත. GSP+ තීරුබදු සහන අහිමි වීමේ අවදානම හරහා මෙම පනත අහෝසි කිරීම රටේ ආර්ථිකයට ද ඍජුවම බලපාන්නා වූ කරුණක් බවට පත්ව තිබේ.

එහෙත් ත්‍රස්තවාදයට එරෙහිව “ශක්තිමත් රාජ්‍යයක්” අවශ්‍ය යැයි විශ්වාස කළ, මෙම පසුගාමී නීතිය රටෙන් තුරන් කිරීමට මෙරට සිංහල බෞද්ධ දේශපාලන බලවේග කිසිදු කැමැත්තක් දැක්වූයේ නැති බව මෙහිදී අප සිහිපත් කර සිටිමු. එසේ අකමැති වූ දේශපාලන බලවේග අද එකී නීතියේම ගොදුරක් බවට පත්ව තිබේ. වර්තමානයේ රැඳවුම් භාරයේ පසුවන මේජර් ජනරාල් සලේට එරෙහිව සිදුවන අසාධාරණයට එරෙහිව අද පෙරමුණ ගෙන සිටින්නේ එදා මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රැකගැනීමට පෙනී සිටි පිරිස්මය.

මෙහිලා වඩාත්ම උත්ප්‍රාසජනක මෙන්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ වත්මන් රජය, අද බලයට පත් වූ පසු එම මර්දනකාරී නීතියම උපයෝගී කරගනිමින් මේජර් ජනරාල් සලේ අසාධාරණ නීතියක් යටතේ දඩයම් කිරීමට කටයුතු කිරීමයි.

අප අවධාරණය කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු විත්තිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝණය කරන, අමානුෂික සහ දරුණු මර්දනකාරී නීතියක් බවය. සැකකරුවෙකු දීර්ඝකාලීන රැඳවුම් භාරයේ තබා ගැනීම මඟින් වධහිංසාවලට සහ අවමන්සහගත සැලකීම්වලට ලක්වීමට අවශ්‍ය පසුබිම මෙමඟින් නිර්මාණය කර දෙනු ලබන බව අපගේ මතයයි.

මෙලෙස දීර්ඝකාලීනව රඳවා තබා ගනිමින් සිදුකරන කායික හා මානසික වධහිංසාවල අවසාන ප්‍රතිඵලය වන්නේ, දැඩි මානසික පීඩනයක් යටතේ රැඳවියාගෙන් බලහත්කාරී පාපොච්ඡාරණ ලබා ගැනීමට පොලිසියට ඇති හැකියාවයි. දැනට රඳවා තබාගෙන සිටින හිටපු හමුදා නිලධාරියා සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාවට නංවමින් සිටින්නේ ද මෙම උපක්‍රමශීලී උපායමාර්ගයම බව පැහැදිලිය.

මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් රාජ්‍යයක් ආරක්ෂා වන්නේ යැයි සිතීම මිථ්‍යාවකි. මෙවැනි අසාධාරණ පනත් මඟින් සිදු කරන්නේ පුරවැසියන්ගේ නිදහසට හා සමානාත්මතාවයට ඇති අයිතිය උදුරාගෙන, පෙරළා ඒ මඟින් පුරවැසියා සහ රජය අතර පවතින විශ්වාසය පළුදු කිරීමයි. ඒ අනුව එමඟින් සිදු කරන්නේ සමස්ත රාජ්‍යයේ සුජාතභාවය කෙලෙසීමයි.

මෙයින් මනාව පැහැදිලි වන්නේ තාර්කික මහජන ප්‍රතිපත්ති සම්පාදනය හමුවේ අපේ රටේ දේශපාලනයේ පවතින හිස්බව සහ ගරහිතභාවයයි. (ගෞරවයක් නොමැතිකමයි).

එබැවින් දිනන දකුණ සංවිධානය වශයෙන් අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලෙසයි. වත්මන් රජය මෙම පනත වෙනුවට තවත් එවැනිම මර්දනකාරී නීති මාලාවක් ආදේශ කිරීමට උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. එය කිසිසේත්ම විසඳුමක් නොවේ.

ශ්‍රී ලංකාව මෙවැනි මර්දනකාරී නීති රෙජීමයන්ගේ සහය නොමැතිව, රට පාලනය කිරීමටත්, නීතියේ ආධිපත්‍යය සුරැකීමටත් තවදුරටත් ප්‍රගුණ කළ යුතුව තිබේ. පැරණි මර්දනකාරී යථාර්ථය වෙනුවට, නව තාර්කික චින්තනය පෙරදැරි කරගත් 21 වන සියවසේ යහපාලන කලාව (Governance) විය යුත්තේ එය බව අප සාමූහිකය විශ්වාස කරයි.

රටේ සියලු දේශපාලන බලවේගයන්ගෙන් අප සාමූහිකය ඉල්ලා සිටින්නේ මෙම යථාර්ථයට එකඟ වී කටයුතු කරන ලෙසයි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,

නායකත්ව මණ්ඩලය හා විධායක සභාව.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *