ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්ය, ආචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. මහාචාර්ය ශාන්ත ගම්ලත්, ආචාර්ය එච්.ඒ.එන්. හෙට්ටිආරච්චි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.ඩී.ආර්. ගුණසේකර, ආචාර්ය එච්.ඊ.එන්. ප්‍රියදර්ශනී යන අය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මගින් කරුණු 4ක් කෙරෙහි අවධානය යොමුකර තිබේ.
අදාළ පැමිණිල්ල මඟින් වෘත්තීයමය පීඩනය, අධ්‍යයන නිදහසට බාධා කිරීම, පරිපාලන අකර්මණ්‍යතාවය, සහ විමර්ශන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් බරපතළ කරුණු රැසක් ඉදිරිපත් කරන ලදි.
ඒ අනුව, 2024 වසරේ සිට අදාළ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් මූලික විමර්ශන පහක් (05) පවත්වා ඇති අතර, එම විමර්ශන මඟින් අංශාධිපතිනියගේ පරිපාලන, වෘත්තීයමය සහ සදාචාරාත්මක ගැටලු සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම වාර්ථාවල නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.
එම විමර්ශන වාර්තා අප්‍රේල් 09 වන දින විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පාලක සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කර තිබූ අතර, එම කමිටුව විසින් ද වැඩිදුර නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
අදාළ කමිටුව විසින්,
- දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ වත්මන් අංශාධිපතිනියට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම,
- විනය පරීක්ෂණය අවසන් වන තෙක් අදාළ තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීම,
- වෙනත් අධ්‍යයනාංශයකින් වැඩබලන අංශ ප්‍රධානියෙකු පත් කිරීම,
- මූලික විමර්ශනවල නිරීක්ෂණ සහ නිර්දේශ විධිමත් චෝදනා පත්රයකට ඇතුළත් කිරීම,
යන නිර්දේශ ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත්, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම, කල්දැමීම, එම නිර්දේශ පිළිබඳ හිතාමතා වැරැදි ලෙස අර්ථකථනය කිරීම හා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සාධාරණ පරිපාලන ක්‍රියාවලිය බරපතළ ලෙස අඩාල වී ඇති බවට තහවුරු වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අධ්‍යයන නිදහස (Academic Freedom), වෘත්තීය ගෞරවය, සහ ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ට හිමි සාධාරණ හා සුරක්ෂිත සේවා පරිසරය බරපතළ ලෙස බලපෑමට හා තර්ජනයන්ට ලක්ව ඇත.
ඒ අනුව, මෙම කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකර, වගකිවයුතු පාර්ශවයන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් අප ඉල්ලා සිටී.
