Advertisement

ආණ්ඩුව රටත්, සමාජයත්, මුලාවට ලක් කරලා!

අපගේ සමීපතම සහ විශාලතම ආර්ථික හවුල්කරුවා වන ඉන්දියාව සමඟ පවතින සබඳතා තවමත් ඓතිහාසික සැක සංකා මත පදනම්ව පවත්වා ගෙන යන බව පෙනෙන්ට තිබෙන බව දිනන දකුණ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.දිගුකාලීන දැක්මක් වෙනුවට 22 සංශෝධනය වැනි කෙටිකාලීන පැලැස්තර විසඳුම් මගින් රටත් සමාජයත් මුලාවට ලක් කිරීම දිනන දකුණ සාමූහිකයේ හාස්‍යට මෙන්ම විරෝධයටත් ලක් කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මාධ්‍ය නිවේදනය.
25-08-2026

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් මාලිමා රජය සිදු කල යුතු ආර්ථික පරිවර්තනයට ආයෝජනය කිරීම අතපසු කිරීම මෙන්ම රටේ ආර්ථිකය එකතැන පල්වීමට ඉඩ හැරීම හෙලා දකිමු!

ශ්‍රී ලංකාව අද වන විට ඉතා තීරණාත්මක ආර්ථික කඩඉමක සිටී. මතුපිටින් පෙනෙන තාවකාලික ආර්ථික ස්ථාවරත්වයක් පිළිබඳව රජය පුරසාරම් දෙඩුවද, රට මුහුණ දී ඇති සැබෑ ව්‍යුහාත්මක අභියෝග හමුවේ ඒ සදහා ගැඹුරු ආයෝජනයක් සහ කඩිනම් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වී තිබේ.

අපට අනුව රජය මේවන විට පාරම්බාමින් සිටින 3% සිට 5% දක්වා වූ ආර්ථික වර්ධන වේගය මුලාවකි.එවැනි වර්ධන වේගයකින් සෑහීමකට පත්වීම යනු දිගුකාලීන ආර්ථික පසුබෑමකට මඟපෑදීමකි.

එවැනි අඩු වර්ධන වේගයක්, උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම සහ ප්‍රමාණවත් ආදායම් අහිමිවීම හේතුවෙන් ඉතිරිකිරීම් සහ ප්‍රති ආයෝජනය පහල යාම හමුවේ සම්පූර්ණයෙන්ම දියවී යනු ඇත.

රට දිගුකාලීන ආර්ථික අගාධයකට ඇද වැටීම වැළැක්වීමට නම්, ශ්‍රී ලංකාව සිය නිදහසේ සියවස් සැමරුම යෙදෙන 2048 වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 25,000 ඉක්මවූ මට්ටමකට ගෙන ඒමේ ඉලක්කයක් සහිතව වසරකට 8% සිට 10% දක්වා වූ තිරසාර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත යුතු බව දිනන දකුන සාමුහිකයේ විශ්වාසයයි.

මෙම දැක්ම සාක්ෂාත් කරගත හැක්කේ හුදෙකලා නොවී, කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය තුළින් පමණක් වන්නේය.

එවැනි දැක්මක් යථාර්තයක් කර ගැනීමට වර්තමාන මාලිමා රජය වෙර දරන බවක් නොපෙනේ.ඒ වෙනුවට රජය උත්සාහ දරමින් සිටින්නේ ජවිපෙ දේශපාලන බලය රට තුල තහවුරු කර ගැනීමට ඉවහල් වන 22 වන සංශෝධනය සම්මත කොට ගෙන අනාගතයේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සංකෝචනය කරන්නටය.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, උපත් අනුපාතය පහත වැටීම සහ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වන ළමුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවීම ඉදිරියේදී දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇති නමුත් මාලිමා රජයට එවැන්නක් පිලිබදව අවම වැටහීමක් හෝ නොමැති බව ඔවුන්ගේ පාලන චර්යාවන් පෙන්නුම් කරයි.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය සහ ඉහළ වෘත්තිකයන්ගේ රට හැරයාම හමුවේ, මානව සම්පත සුරැකීමට හෝ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය සතුව කිසිදු පැහැදිලි ජාතික ප්‍රතිපත්තියක් නොමැත. ඒ වෙනුවට රජය කියන්නේ 22 වන සංශෝධනය හරහා ඉහල අධිකරන වල විනිසුරන්ගේ විශ්‍රාම වැඩි කල යුතු බව පමණකි.

කලාපීය ආර්ථිකයන් ආසියාව සහ බටහිර රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් (FTAs) හරහා ශක්තිමත් වෙළඳ සබඳතා ගොඩනගා ගනිද්දී, ශ්‍රී ලංකාව තවමත් ආරක්ෂණවාදී සහ පටු ආකල්පවල සිරවී කලාපීය සැපයුම් දාමයන්ගෙන් කොන්වීමේ අවදානමකට ලක් කර ගනිමින් සිටිති. 22 වන සංශෝධනයට කැස කවන මාලිමා ආණ්ඩුව රටේ යහපත උදෙසා මෙවැනි නිර්භීත පියවරකට යොමුවන්නට සිතන්නේ නැත.නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙසේ වෙතත් 22 වන සංශෝධනය බලාත්මක වීම තුලින් අහිමි වන අධිකරණයේ ස්වාධීනත්වය හේතුවෙන් මෙතෙක් රටට පල ප්‍රයෝජන ලැබු යුරෝපියානු සංගමය මගින් ලබා දුන් ජීඑස්පී සහනයද අපට අහිමීවී යාමට ඇති සම්භාවිතාව ඉහල යන්නේය.

අපගේ සමීපතම සහ විශාලතම ආර්ථික හවුල්කරුවා වන ඉන්දියාව සමඟ පවතින සබඳතා තවමත් ඓතිහාසික සැක සංකා මත පදනම්ව පවත්වා ගෙන යන බව පෙනෙන්ට තිබේ.

මාලිමා රජය දරන මෙම ආකල්පය නිසා ඉන්දියාව සමග පවතින භූගෝලීය සමීපතාවයෙන් ඉහළ ප්‍රතිලාභ ලබන අපනයන හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට අපට තවමත් නොහැකි වී තිබේ.

එවැනි පුළුල් දැක්මක් මත පිහිටා කටයුතු කරනවා වෙනුවට, ඉන්දියාවෙන් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඒකපාර්ශ්වික ආනයන යැපීමක සිරවීමට රටට සිදුව තිබේ.

අප සාමූහිකය ප්‍රශ්න කරන්නේ 22 සංශෝධනය ගෙන ඒමට වඩා දකුණු ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික මුහුදු යටි විදුලිබල පද්ධති සම්බන්ධතාව (Subsea Grid Connectivity) ඇති කර ගැනීමට යුහුසුළු නොවන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.

රටේ අතිරික්ත සූර්ය සහ සුළං බලශක්තිය මූල්‍යකරණය කරමින්, ශ්‍රී ලංකාව බලශක්ති ආනයනකරුවෙකුගේ තත්ත්වයෙන් මිදී දකුණු ඉන්දියාවේ කර්මාන්ත සඳහා හරිත විදුලිය අපනයනය කරන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට පවතින අවස්තාව මාලිමා රජය මගින් අතපසු කරන්නේ මන්ද යන්නට පැහැදිලි පිලිතුරක් අවශ්‍යවී තිබේ.

ජනතාවගේ ආර්ථික යුක්තිය තහවුරු කිරීමෙන් තොරව 22 වන සංශෝධනය හරහා රට තුල තහවුරු කරන්නට යනවා කියන අපරාධ යුක්තියෙන් සැබෑ ප්‍රතිපලයක් අත්කර ගන්නට නොහැකි බව අප සාමූහිකයෙහි මතය වන්නේය.

රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යන්නේ ඉබි ගමනකි.ඒ නිසාම ජාතික බැංකු පද්ධතිය සහ දේශසීමා ඉක්මවූ ඩිජිටල් ගෙවීම් පද්ධති (UPI වැනි) සමඟ බද්ධ වූ ඩිජිටල් අනන්‍යතා (Digital ID) රාමුවක් කඩිනමින් ස්ථාපිත කිරීමට තවමත් නොහැකිවී තිබේ. 22 වන සංශෝධනය ගෙන ඒමට පවතින දේශපාලනික ධෛර්ය රටේ ඩිජිටල් අනණ්‍යතාවය තහවුරු කිරීමට කඩිනමින් කටයුතු නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ අනාගත දේශපාලන බලය රටේ ජනතාවගේ අනාගත ආර්ථික සුරක්ෂිතභව අනුර කුමාර ජනාධිපති වරයාට සහ ඔහුගේ පක්ෂය වන ජවිපෙට වඩා වැදගත් වන බවයි.

සාර්ව ආර්ථික ඉහල කලමනාකරණයක් ගැන කතා කරන මාලිමා ආණ්ඩුවට වසර දෙකක් ගතවූ සිය පාලනය මගින් සංචාරක සහ වෙළඳ ක්ෂේත්‍රවල ගනුදෙනු පිරිවැය අවම කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විධිමත් ආර්ථිකයට එක්කිරීම සහ ඉලක්කගත සුබසාධන ප්‍රතිලාභ සෘජුව ජනතාවට ලබාදීමට තවමත් නොහැකිවී තිබේ.

නමුත් ආන්ඩුව 22 වන සංශෝධනය හරහා මෙරට අධිකරන පද්දතියේ කාර්යක්ෂමතාවය අධිකරණ විනිසුරන්ගේ විශ්‍රාම වයස ඉහල දමමින් උදා කරගන්නට යන්නේ ඒ පිලිබද නිසි ශක්‍යතා අධ්‍යනයකින් හෝ තොරවය

මාලිමා ආණ්ඩුවට රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික වර්ධනයේ අහේනිය මගහරවා ගැනීමට අග්නිදිග ආසියාව සහ ඉන්දීය වෙළඳපොළ යා කරන උසස් තාක්ෂණික නිෂ්පාදන සහ සේවා කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම කෙසේ වෙතත් මෙරට අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමට 22 වන සංශෝධනය හරහා ඉටු කර ගැනීම ප්‍රථමක වී ඇති බවක් පෙනෙන්ට තිබේ.

මෙවැනි අත්‍යවශ්‍ය ආර්ථික පරිවර්තනය සිදුකිරීමට වත්මන් පාලනය සතුව නිසි සූදානමක්, දැක්මක් හෝ ව්‍යුහාත්මක ශක්තියක් නොමැති බව “දිනන දකුණ” සාමූහිකය දැඩි කනස්සල්ලෙන් යුතුව පෙන්වා දෙනු ලබයි.

දිගුකාලීන දැක්මක් වෙනුවට 22 සංශෝධනය වැනි කෙටිකාලීන පැලැස්තර විසඳුම් මගින් රටත් සමාජයත් මුලාවට ලක් කිරීම දිනන දකුණ සාමූහිකයේ හාස්‍යට මෙන්ම විරෝධයටත් ලක් කරනු ලබයි.

දිනන දකුණ සාමූහිකය කියා සිටින්නේ අනුර කුමාර ජනාධිපතිවරයා සහ මාලිමා රජය ප්‍රධාන ආර්ථික අභියෝග සඳහා ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි දිගුකාලීන වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති සැකසීම වෙනුවට, එදිනෙදා අර්බුද කළමනාකරණය කරගැනීමේ තාවකාලික උපක්‍රමවල පමණක් සිරවී සිටින බවයි.

කාලය අප වෙනුවෙන් බලා නොසිටින අතර, ඉදිරි පරම්පරාවේ අනාගතය තීරණය කෙරෙන කලාපීය ආර්ථික හවුල්කාරිත්වයන් ගොඩනගා ගැනීමට අපට ඇත්තේ වසර දෙකක පමණ ඉතා සීමිත කාල පරිච්ඡේදයක් බව අප සාමූහිකය රජයට සිහිපත් කොට සිටී.

එබැවින් ව්‍යාජ සැනසීම් බැහැර කර, ශක්තිමත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා කැපවන ලෙස මාලිමා පාලනයට අප සාමූහිකය බලකොට සිටී. එසේම 22 සංශෝධනය වැනි මිත්‍යාවන්ට නොරැවටෙමින් සමෘද්ධිමත් සහ කලාපය සමඟ බද්ධ වූ නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට පෙරමුණ ගන්නා ලෙස “දිනන දකුණ” සාමූහිකය ප්‍රතිපත්ති සම්පාදකයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික ප්‍රජාව සහ තාරුණ්‍යයෙන් ඉල්ලා සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *