ඉන්දියාව විසින් ලංකාවට එරෙහිව යොදවන ආර්ථික බලහත්කාරය සහ දේශපාලන ආක්‍රමණශීලීත්වය හමුවේ අප නිහඬව සිටිය යුතුද? සිදුවෙමින් තිබෙන දේ නොදැක්කා සේ වෙනත් කාරණා සංදර්ශනාත්මක ලෙස මතුකරන විට අප ඒ පස්සේ හඹා යා යුතුද?

ඉන්දියානු මහා ප්‍රාග්ධනය සහ ඉන්දියානු පාලක පන්තිය ගොදුරු බවට පත්කරගන්නේ ලංකාවෙ ජනතාවගේ ශ්‍රමය හා සම්පත් පමණක් නොවේ.

සුලුතර බිලියනපතියන් පිරිසක් සිය ලාභ උවමනාවන් වෙනුවෙන් ඉන්දිය ජනයාගේ ශ්‍රම කොල්ලය, ජනතාව සතු සම්පත් කොල්ල කෑම එලෙසින්ම තිබෙන බව පෙරටුගාමින්ගේ අදහසයි.

කොළඔ පදනමි ආයතනයේ පැවැති සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බලන්න …

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සංවිධානය කළ ” ඉන්දියාව ලොකු අයියා ද ? ” සම්මන්ත්‍රණය අමතමින් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

” ලංකාවේ දේශපාලනයට, ආර්ථිකයට සහ ආරක්ෂාවට තර්ජනයක් වෙමින් ඉන්දියාව කරනු ලබන බලහත්කාරී මැදිහත්වීම ගැන දශක ගණනාවක් තිස්සේ අපි කතාකලා. ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන බහුජන සටන් පෙරමුණු ඉන්දියානු බලහත්කාරයට එරෙහිව දැවැන්ත අරගලයක ඉන්නවා. දැන් අපි පසුකරමින් ඉන්නෙ එකී අරගලයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක්. අතීතයේ මේ සටන් පෙරමුණේ සුවිශේෂ මැදිහත්වීමක් කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේග ආණ්ඩුව තමයි දැන් රටේ පාලන බලය හොබවන්නේ. එවැනි තත්වයක් ඇතුලේ ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ගොඩනැගුණු සංවාදයේ වර්තමාන තත්වය ගැන අපි සාකච්ඡා කරන්න ඕන.

1990 වසරට පෙර ලෝක දේශපාලනය හැසිරුනේ ප්‍රධාන බල කඳවුරු දෙකක් මූලික කරගෙන. ඒ සමාජවාදී රුසියාව ප්‍රමුඛ වාමාංශික කඳවුර සහ නවලිබරල් ඇමරිකාව ප්‍රමුඛ ධනේශ්වර කඳවුර වශයෙන්. අනූව දශකයේදී සමාජවාදී කඳවුර බිඳ වැටීම එක්ක ලෝකයේ ආර්ථික බලය සම්පූර්ණයෙන් වගේ ඇමරිකානු අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට යට වුනා. නමුත් ක්‍රමයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදයට අභියෝග කරමින් චීනය රුසියාව වගේ රටවල් වේගයෙන් සිය අධිරාජ්‍යවාදී ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. මේ තත්වය පුපුරා යන්නේ 2008 ලෝක ආර්ථික අර්බුදය එක්ක ඇමරිකානු ආර්ථිකය බිඳ වැටීම එක්ක. දැන් අපි ඉන්නේ බහුධ්‍රැවීය ලෝකයක. ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු ආර්ථික බලවතුන් ලෝක වෙළඳපොලේ තමන්ගේ ප්‍රාග්ධන අභිලාෂයන් මුදුන් පත් කරගන්න විශාල බල අරගලයක නිරත වෙලා ඉන්නවා.

මේ රටවල ප්‍රධාන ඉලක්කයක් තමයි ආසියානු කලාපයේ භූ දේශපාලන බලය තහවුරු කරගැනීම. ආසියානු කලාපයේ භූ දේශපාලන බලයේදී ලංකාව පිහිටා තියෙන්නෙ තීරණාත්මකම ස්ථානයක. ඒක නිසා ලංකාවේ දේශපාලන ආර්ථික බලය හැසිරවීමේ හැකියාව තමන්ගේ අතට ගන්න මේ සියලු රටවල් මාන බලමින් ඉන්නේ. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල චීන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ලංකාවේ බලය තහවුරු කරගන්න දැවැන්ත මැදිහත් වීමක් කලා. ලංකාව ණය උගුලක සිර කිරීමේ පටන් භූමියේ බලය අත්පත් කරගැනීම දක්වා ඒ තත්වය වර්ධනය වෙලා තිබුණේ. එයට එරෙහිව ගොඩනැගුණු විවිධ පෙරමුණු එක්ක තමයි රාජපක්ෂ පාලනය පෙරලමින් යහපාලන ආණ්ඩුව ගොඩනැගෙන්නේ. ඒ ආණ්ඩුවට ඍජුව නැති වුනත් වක්‍රාකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මකම දායකත්වයක් ලැබුණා.

පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම සහ රාජපක්ෂ කඳවුරේ නැවත නැගී සිටීම එක්ක තත්වයේ යම් වෙනසක් ඇති වුනත් ඇමරිකානු ඉන්දියානු මැදිහත්වීම් සහ බලහත්කාරයන් මේ කාලය පුරාවටම පැවතුණා. 2022 ආර්ථික අර්බුදය එක්ක රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් ඇති වීම හුදෙක් පුද්ගල විරෝධයකට ලගු කරන්න බෑ. සොරකම නාස්තිය දූෂණය මිනීමැරුම් ආදී අපරාධ රැල්ල වගේම ජනතා දේපළ විකිණීම අධිරාජ්‍යවාදී බලකඳවුරුවලට රිසි විදිහට ලංකාවේ භූමිය ආර්ථිකය දේශපාලනය ගොදුරු කරගන්න ඉඩ දීමට එරෙහිව ඇතිවුණ අරගලයන් තමයි මේ විදිහට පුපුරා ගියේ. එතනින් පස්සේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් බලයට ආවේ රනිල් වික්‍රමසිංහ. මහජන අනුමැතියක් පවා නැතුව තමයි ඔහු ජනාධිපති වුනේ.

රනිල්ගේ ආණ්ඩුව අර්බුදය පාවිච්චි කරලා IMF න්‍යායපත්‍රය අනුව ලංකාවේ ආර්ථිකය හසුරවන්න පටන් ගැනීම එක්ක ඉන්දියානු ඇමරිකානු බලහත්කාරයන් වැඩි වෙන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහගේ න්‍යායපත්‍රය හැදිලා තියෙන්නේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති එක්ක. රාජ්‍ය ආයතන පෞද්ගලික කරණය, සුබසාධන කප්පාදු කිරීම, මර්දන නීති සම්මත කිරීම වගේ විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වුන ඒ නවලිබරල් ව්‍යාපෘතිය එක්ක ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි රනිල් වික්‍රමසිංහට පරාජය වෙලා ගෙදර යන්න වුණේ. නමුත් රනිල් වික්‍රමසිංහ පරාජය කරලා ජනතාව පත් කරගත් ජාතික ජන බලවේග ආණ්ඩුවත් දැන් ගමන් කරමින් ඉන්නෙ පැරණි පාරේ.

ඉන්දීය සංචාරයේ නොකී කතා ….

පසුගිය දෙසැම්බර් 15 – 17 අතර කාලයේදී අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක නිරත වුණා. මේ සංචාරයේදී ඉන්දියාව සමග යම් එකඟතාවන් සඳහා සාකච්ඡා කලත් ඒවා අවසන් එකඟතා නෙවෙයි කියලා තමයි ආණ්ඩුව මාධ්‍යයට කිව්වේ. නමුත් ඩිජිටල් හැදුනුම්පත සම්බන්ධ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට දෙන්න මේ සාකච්ඡාවලදි එකඟ වුණ බව විජිත හේරත් පසුව සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියලා තිබුණා. ලංකාව රටක් විදිහට ඉන්දියාව එක්ක වගේම අනෙකුත් රටවල් සමගත් ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා පවත්වන්න ඕන කියලා අපිත් පිළිගන්නවා. නමුත් ඒ ගණුදෙනු රටේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට හානිකර නොවිය යුතුයි. මේ වෙලාවේ ඉන්දියාව ඉන්නේ ලෝකයේ ආර්ථික බලවතෙක් වශයෙන් ඉදිරියට පැමිණීමේ උපායමාරගයක. ඒ උපායමාර්ගය එක්ක ඉන්දියාවට අවශ්‍යයි ආසියානු කලාපයේ භූ දේශපාලන බලය වෙළඳපොල බලය අත්පත් කරගන්න.ඒ වැඩපිළිවෙලේ ගොදුරක් බවට ලංකාව පත් විය යුතු නෑ.

මෑතකාලීනව ඉන්දියානු න්‍යායපත්‍රය. තියෙන්නෙ ලංකාවේ සාගර, බලශක්ති, විදුලිය, ඉඩම්, වරාය සහ ගුවන්තොටුපළ අත්පත් කරගන්න කොල්ලකාරී ව්‍යාපෘතියක් බව පැහැදිලියි. සමහරු කියනවා ඉන්දියාව ලොකු ආර්ථිකයක් තියෙන රටක් ඒක නිසා ඉන්දියාව අපේ කරට අත දාගන්න එක අපිට වාසියි කියලා. නමුත් මේ සෙල්ලම කරට අත දාගැනීමෙන් නවතින්නෑ. ඉන්දියාව සූදානම් වෙන්නේ ටිකෙන් ටික අපේ බෙල්ලම හිර කරන්න.

ත්‍රිකුණාමල නගරය සහ වරාය කේන්ද්‍ර කරගෙන අක්කර 7000ක භූමියක් ඉන්දියානු ආර්ථික කලාපයක් විදිහට නම් කරන්න රනිල් වික්‍රමසිංහ එකඟ වෙලා හිටියා. මුලින්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සැලසුම් කරල තිබුණේ ත්‍රිකුණාමලය ආශ්‍රිතව වර්ග කිලෝමීටර් 624ක භූමියක් ඉන්දියානු විශේෂ ආර්ථික කලාපයක් විදිහට නම් කරන්න. නමුත් ජනතා විරෝධය එක්ක ඒ සැලසුම හකුලගන්න ආණ්ඩුවට සිද්ධ වුණා. දැන් මේ ඉන්දියාවට දෙන්න සූදානම් වෙන අක්කර 7000 භූමිය ඇතුලේ වරාය අධිකාරියට අයත් අක්කර 2255ක භූමියක් සහ ධීවර ජනතාව පදිංචි හෙක්ටයාර 1975ක භූමියකුත් ඇතුලත් පවුල් 3765ක් මේ නිසා අවතැන් වෙන්න නියමිතයි. දැනටමත් ලංකා පාලම සහ අෂ්‍ රොෆ් ජැටිය ආශ්‍රිත පවුල් 114ක් ඉවත් කරන්න වන්දි ලබා දීම් ආරම්භ වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ ධීවර, ගොවි ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන ඉන්දියාවට දොළ පිදේනි දෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ.

විදුලිබලයෙන් 70%ක් හැසිරවීමේ බලය අදානිගෙ අතට!

ඊලඟට ඉන්දියාව මාන බලන්නේ අපේ රටේ විදුලිබල පද්ධතිය තමන්ගේ පාලනයට ගන්න. උතුරේ නයිනතිව්, ඩෙල්ෆ්, නැඳුන්තිව් සහ අනලතිව් දූපත්වල ඩොලර් මිලියන 12ක දෙමුහුම් පුනර්ජනනීය බලශක්ති පද්ධතියක් ස්ථාපිත කරන්න Sinosar-Etechwin කියන චීන සමාගමකට ටෙන්ඩර් දීලා තිබුණා. මේකට ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ඒ ටෙන්ඩරය නැවත ඉන්දියානු සමාගමකට දෙන්න කටයුතු කලා. දැන් ඉන්දියාවේ අදානි සමාගමට මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවෝට් 350ක සුළං විදුලි බලාගාර දෙකක් ඉඳිකරන්න අනුමැතිය අරගෙන ඉන්නේ. මේ ව්‍යාපෘතිය මෙතනින් නවතින්නෙ නෑ මෙගාවෝට් 20,000ක් දක්වා මේ ව්‍යාපෘතිය වර්ධනය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. මෙතන තියෙන බරපතළම ප්‍රශ්නය තමයි ලංකාව 2030 වෙද්දි රටේ සමස්ථ විදුලිබල පද්ධතියෙන් 70%ක් LNG බවට පත් කරන්න සූදානමින් ඉන්නේ. දැන් මේ ගිවිසුමට අනුව අපිට වෙනත් රටකින් LNG මිලදී ගන්න බැහැ. එතකොට අපේ රටේ විදුලිබලයෙන් 70%ක් හැසිරවීමේ බලය නිකන්ම අදානිගෙ අතට යනවා. ඔය අදානි තමයි බංගලිදේශයේ විදුලිසැපයුමෙන් 10%ක් තමන්ගේ අතේ තියාගෙන ඒ රටේ දේශපාලනයට ආර්ථිකය අභියෝග කලේ. තර්ජනය කලේ. අදානිගෙ ව්‍යාපෘතිය අනුව ඔහු අපිට විදුලි ඒකකයක් ඩොලර් ශත 8කට තමයි දෙන්න සූදානම් වෙන්නේ. නමුත් ඉන්දියාවෙදි ඔහු විදුලිය සපයන්නේ ඩොලර් ශත 4 ගානේ. අනිත් එක මේ ව්‍යාපෘතිය නිසා විශාල පාරිසරික හානියක් වෙන්න නියමිතයි. ලංකාවට වාර්ෂිකව පර්‍යේටන පක්ෂි විශේෂ 250කට අයත් මිලියන 5ක පමණ පක්ෂීන් එනවා. ඒ අතරින් විශේෂ 20ක් තර්ජනයට ලක් වුණු අය. මේ සියලු දේනා අනතුරේ හෙලන ව්‍යාපෘතියක් මේක. සමහරු හිතනව ඇති කුරුල්ලෝ ආවෙ නෑ කියල මොකද වෙන්නෙ කියලා. නමුත් පරිසරයට සමතුලිතතාවයට හානි කරමින් ලඟාකරගන්න සංවර්ධනය අතිශයින් විනාශකාරියි. ඒවට ඕන තරම් උදහරණ දෙන්න පුලුවන්. දැනටත් මී මැස්සෝ නැතුව ශාක පරාඟණය නැවතිලා. ඒකෙන් වගාවන්ට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ. අදානිගේ ඊලඟ සැලසුම තමයි අපේ භූමිය අපේ සම්පත් පාවිච්චි කරලා අතිරික්ත විදුලිය ඉන්දියාවට විකිණීම. අපි දැක්කා විජිත හේරත් කියනවා මේ ව්‍යාපෘතියෙන් ඉන්දියාවට විදුලිය විකුණල ඩොලර් හොයන්න පුලුවන් කියලා. නමුත් ඒ මුදල් යන්නෙ අදානිගෙ සාක්කුවට. මේ කරන්නෙ මළගෙවල්වල බූරු ගහනව වගේ වැඩක්. බූරු පොළේ තෝම්බු බෝතලයක් තියලා අපි බලාගෙන ඉන්නවා. හැබැයි පිටියෙ තියෙන සල්ලි ඔක්කොම බූරුකාරෝ සාක්කුවට දාගන්නවා. වැටෙන සොච්චමක් තමයි අපිට අහුල ගන්න වෙන්නේ. එහෙම බූරු ආර්ථිකයක් හදන්න ඉඩ දෙන්න බැහැ. ඕකම චීනයත් කලා. විශාල ණයක් දීලා හම්බන්තොට වරාය අත්පත් කරගෙන අන්තිමට ණය ගෙවාගන්න බැරුව වරාය චීනයට විකුණන්න වුනා. අන්තිමට අපිට වරායත් නෑ ඉඩමත් නෑ ආදායමත් නෑ. මේ විනාශය දැන දැනම වර්තමාන ආණ්ඩුවත් සූදානම් වෙන්නේ අපේ රටේ බලශක්ති ස්වාධීනත්වය අදානිට පුදන්න.

දැනට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය තමයි අපිට තියෙන එකම ඛණිජ තෙල් ගබඩාව. ඒ තෙල් ටැංකිවලින් 99ක් අවුරුදු 37ක කාලයකට IOC කියන ඉන්දියානු සමාගමට බදු දෙන්න ගිවිසුමකට ආවා. මෙයින් සමාගම භාවිතා කරල තියෙන්නෙ ටැංකි 14යි. නමුත් මේ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් විතරයි. එතකොට මේ සමාගම අවුරුදු 20ක් මේ තෙල් ටැංකි 14 පාවිච්චි කරලා තියෙන්නේ නිති විරෝධීව. 2021 සැප්තැම්බර් මාසෙදි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගිවිසුම් දෙකක් අතසන් කලා. ඒ තව අවුරුදු 50කට තෙල් ටැංකි 14ක් නල පද්ධතිය සහ නැව් තෙල් අංශය ඉන්දියාවට විකුණන ගිවිසුමක් සහ තෙල් ටැංකි 66ක් අවුරුදු 50කට ඉන්දියාවට දෙන ගිවිසුමක්.

මේ ඔක්කොම එක්ක ඉන්දියාව මාන බලන්නෙ මේ තෙල් ටැංකි සියල්ලම අත්පත් කරගන්න. මේක විශාල වංචනික සැලැස්මක්. 2024 පෙබරවාරි මාසෙදි කාංචන විජේසේකර මාධ්‍යයට කිව්වා ඉන්දියාවේ නාගපට්නම් සිට ත්‍රිකුණාමලයටත් එතනින් කොළඹ වරායටත් තෙක් නළයක් ඉඳිකරන සැලසුමක් ගැන. මෙතන සැලසුම පැහැදිලියි දැනට ඉන්දියාව සතු කොළඹ වරායේ බටහිර ජැටිය පාවිච්චි කරලා නැව්වලට ඉන්දන සැපයීමේ ව්‍යාපෘතිය ඉන්දියාව අතට ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. සමහරු කියනවා එහෙම දෙයක් නෑ ලංකාවට තෙල් විකුණන්න තමයි මේ ව්‍යාපෘතිය එන්නෙ කියලා. නමුත් ඇත්ත කතාව තමයි අපි දැනට නැව්වලට ඉන්ධන සපයල ගන්න ඩොලර් ටිකට විදින්න මේ සූදානම් වෙන්නේ.

මේ සැලසුම මෙතනින් නවතින්නෑ. ලංකාවේ ප්‍රධාන වරාය සහ ගුවන්තොටුපළ සියල්ලමත් අත්පත් කරගන්න ඉන්දියාව සැලසුම් කරගෙන ඉන්නවා. කොළඹ වරාය සහ ත්‍රිකුණාමල වරාය මේ අතරින් විශේෂයි. ඇයි ඉන්දියාව අපේ වරායට ඇහැ ගහගෙන ඉන්නේ. හේතුව තමයි ඉන්දියානු වරායවල අවුරුද්දේ මාස හයක් වැලි පිරෙනවා. නෞකාවලට ඒ කාලේයේදි සේවය සපයන්න බෑ. ලෝකයේ වරාය ශ්‍රේනිගතකිරීම් අනුව කොළඹ වරාය තියෙන්නෙ 25 වෙනි තැන. ඉන්දියාවේ ලොකුම වරාය වන ජවහර්ලාල් නේරු වරාය තියෙන්නෙ 35 වෙනි තැන. අදානි සමාගමට අයිති මුන්ද්‍රා වරාය තියෙන්නෙ 39ට. නේරු වරායෙ අඩි 20 කන්ටේනර් පෙට්ටි මිලියන 5.3ක් පමණ තමයි අවුරුද්දකට මෙහෙයුම් කටයුතු කෙරෙන්නේ. නමුත් කොළඹ වරාය අවුරුද්දකට මිලියන 7.63ක් කන්ටේනර් පෙට්ටි මෙහෙයුම් කරනවා. වරායේ නැගෙනහිර ජැටියේ ධාරිතාව ඉදිරියේදී මිලියන 2.4ක් දක්වා වර්ධනය වෙන්න නියමිතයි. එතකොට අපි අවුරුද්දක්ට මෙහෙයුම් කරන කන්ටේනර් පෙට්ටි ප්‍රමාණය මිලියන 10කට වැඩී. ඒ කියන්නේ කොළඹ වරාය ලෝක ශ්‍රේණිගතකිරීම්වල 10 වෙනි තැනට එනවා. මේක රටට විශාල ආයෝජනයක්. ඩොලර් ගලාගෙන එන තැනක්. ඒක නිසා තමයි ඉන්දියාව කොළඹ වරායට ඇහැගහගෙන ඉන්නේ.

මීට අමතරව බණ්ඩාරනායක ගුවන්තොටුපළ සහ පලාලි, මත්තල ගුවන්තොටුපළ අත්පත් කරගන්න ඉන්දියාව සාකච්ඡා කරමින් ඉන්නවා. මේ ගුවන්තොටුපළ අත්පත් කරගන්න සූදානම් වෙන්නේ අදානි සමාගම. යාපනයේ ඉදන් නවදිල්ලි සහ මුම්බායි දක්වා ගුවන් ගමන් ආරම්භ කරන්නත් සාකච්ඡා යනවා. ඊලඟට තලෙයිමන්නාරම – රාමේෂ්වරම් සහ නාගපට්නම් – කන්කසන්තුරෙයි අතර මගී බෝට්ටු සේවාවන් ආරම්භ කරන්නත් නියමිතයි. දැනට කතාකරලා තියෙන විදිහට ඉන්දියාවේ සිට ලංකාව දක්වා අධිවේගී මාර්ග පද්ධතියක් සහ දුමි රිය මාර්ගයකුත් මේ ව්‍යාපෘති එක්ක එනවා.

ඔය ඔක්කොම අස්සේ තමයි ETCA ගිවිසුම අත්සන් කරන්න ඉන්දියාව දතකට මැද්ගෙන බලාගෙන ඉන්නේ. එට්කා කියන්නේ භාණ්ඩ වෙළඳාමට අදාල ගිවිසුමක් විතරක් නෙවෙයි. එට්කා ගිවිසුමේ සේවා වෙළඳාමටත් අදාලයි. දැන් මේගොල්ලෝ තර්ක කරනවා එතකොට අපේ අයට ඉන්දියාවේ ගිහිල්ල රස්සා කරන්න පුලුවන් කියලා. නමුත් අපි දන්නවා ඉන්දියාවේ විරැකියා අතිශයින් ඉහල ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉන්දියානු කම්කරුවන් අනිවාරෙන් අඩු කුලියට වැඩ කරන්න ලංකාවට එනවා. ඔවුන්ට වැඩ කරන්න වෙන්නේ ඉතාම අවධානම් ශ්‍රම කොන්දේසි එක්ක. බරපතළම දේ තමයි ඉන්දියානු ශ්‍රමයත් එක්ක අපේ රටේ ශ්‍රම වෙළඳපොල කේවල් වීම. අපේ රටේ සැලුන් එකක් කරන වඩේ කරත්තයක් දාගෙන ඉන්න ත්‍රීවීලර් එකක් දුවන හැමෝගෙම රැකියාවට තට්ටු වෙන ගිවිසම්සුමක් මේ අත්සන් කරන්න යන්නේ.

2000 වසර වෙද්දි ඉන්දියාවේ බිලියනපතියෝ 8 දෙනයි හිටියෙ දැන් ඒ ගණන 100ක් වෙලා. නමුත් ඉන්දියාවේ 16%ක් දරිද්‍රතාවයෙන් පෙලෙනවා. මේ බිලියනපතියන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරන්න ඕන කරන සැලසුම් තමයි දැන් මේ ඉන්දියාව ලොකු අයියා පාට් එකෙන් අපේ කරට අත දාගෙන අරං එන්නේ. අපේ රටේ තියෙන ගෑස් නිධි තෙල් නිධි සහ කොබෝල්ට් ඇතුලු ඛනිජ නිධි පවා අත්පත් කරගන්න ඉන්දියාව සූදානම් වෙන්නේ මේ නිසා. ඩොලර් බිලියන ගණනක් වටින ආයෝජන මේ නිධි ආශ්‍රිතව උත්පාදනය වෙනවා. ඒ සියල්ල අත්පත් කරගන්න තමයි ඉන්දියානු මැදිහත් වීම් වෙන්නේ.

දැන් ඉන්දියාව ඉන්නේ ලෝක ආර්ථික බලවතෙක් බවට පත් වීමේ උපායමාර්ගයක BRICS රටවල් එක්ක ආර්ථික සහයෝගිතාවයට යන ගමන් QUAD සංවිධානය හරහා යුධමය උපායමාර්ගයකත් ඉන්දියාව ඉන්නවා. ඔවුන් ඇමරිකාව සමග ඒකාබද්ධ යුධ අභ්‍යාස කිරීන් යුධ තොරතුරු හුවමාරු කරගැනීම් වගේ ගිවිසුම්ගත කටයුතු කරනවා. ඒ ඉන්දියාව එක්ක අපි ගිවිසුම් ගත වෙනව කියන්නෙම අපිත් අධිරාජ්‍යවාදී බලපොරයේ ගොදුරක් වෙනව කියන එක.

මේ ආණ්ඩුවේ හැසිරීම අනුව අපිට පේන්නෙ ලංකාව ඉන්දියානු කොලනියක් කිරීමේ ව්‍යාපෘතිය තවම නැවතිලා නැති බව. පසුගිය දවසක ට්‍රම්ප් මාධ්‍යයට කිව්වා ඇමරිකාවේ 51 වෙනි ප්‍රාන්තය විදිහට කැනඩාව නම් කිරීමේ සැලසුමක් ගැන. මෝදි නොකියාම ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් කරගන්න තමයි සූදානම් වෙන්නේ. මේ තත්වයට එරෙහිව අපිට සුදු වෙනවා පුලුල් බහුජන පෙරමුණක් ගොඩ නගන්න. නැත්තං රටේ දේශපාලන ආර්ථික ස්වාධීනත්වය නැති වෙනව විතරක් නෙවෙයි. රටක් විදිහට අපි දැඩි අනාරක්ෂිත තත්වයට පත් වෙන්න නියමිතයි. “

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *