අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළු සිවු දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මිට සුළු වේලාවකට පෙර නියෝග කළේය.
………………………………………………………………………………………………………………………………………
හිටපු ඇමතිවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඊයේ (22) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේය.
ඒ, 2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් ලක්ෂ හැට එකකට අධික (6,146,110) මුදලක් ලබාගෙන, ඒ මුදල් ජනතාවට සහන සැලසීම සඳහා භාවිතා නොකර 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
මෙය සාපරාධී මුදල් පරිහරණයක් මෙන්ම පොදු දේපළ පනත යටතට වැටෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව අත් අඩංගුවට ගත් හිටපු ඇමති සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පොදු දේපළ පනත යටතේ අත් අඩංගුවට ගත් අයට පහළ අධිකරණවලින් ඇප නොලැබෙන නිසා අනුර ප්‍රියදර්ශන යාපාට මාස කිහිපයක්වත් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ තපින්නට සිදුවනු ඇත.