වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රි කුමාර ජයකොඩිට සහ තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් , ඉදිරියේදී මහාධිකරණය ඉදිරියේ ඔවුන්ට එරෙහිව නඩු පවරන බවටත් සමාජය තුල මතුවෙමින් තිබේන පුවතට අදාළව විවිධ තොරතුරු මේ දිනවල සමාජය තුල සැරිසරමින් තිබේ.

2015 දී පොහොර සංස්ථාවේ සේවය කළ කාලය තුළ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට නියමිත බවට පලවන පුවතට අදාළ සජීව දේශපාලන වැඩසටහන් වලද විවිධ අනාවරණයන් සිදුව තිබේ.

සීමාසහිත ලංකා පොහොර සමාගමේ හුණුපිටිය මධ්‍යම ගබඩා සංකීර්ණයේ කාපට් ඇතිරීම සඳහා 2015 වසරේදී රු.ලක්ෂ 84 ක මුදලක් අවභාවිතා කිරීමේ චෝදනාවක් මත වත්මන් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩිට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මෙසේ නඩු පැවරීමට නියමිත බව සඳහන් වේ.(කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි සේවය කර ඇත.)

2019.02.21 දින කරනු ලැබූ පරීක්ෂණයකට අදාලව අධ්‍යක්ෂ මණ්ඩල පත්රිකාවක් මගින් මෙම මධ්‍යම ගබඩා සංකීර්ණයේ ප්‍රසම්පාදන හා ආනයන කළමනාකරු ලෙස සේවය කරමින් සිටි ජයකොඩි මහතා මෙම සිදුවීමට අදාලව රාජකාරි වැඩ තහනමකට ලක් ව ඔහු වෙත විධිමත් චෝදනා පත්‍රයක් නිකුත් කර විනය පරීක්ෂණයක් සිදුකර තිබේ.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක්

අදාළ වාර්ථාවට අනුව කුමාර ජයකොඩි වෙත චෝදනා 05 ක් එල්ල වූ අතර, ඉන් දෙකකට වරදකරු ලෙස සඳහන් කර ඇත. මෙම චෝදනා සඳහා ආයතන සංග්‍රහය අනුව බරපතල දඬුවම් ලබාදීමේ හැකියාවක් පවතින බව ද අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පරීක්ෂණ වාර්තාව මගින් දක්වා ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආණ්ඩුවේ 2004 සිට 2005 කාලයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ අනුර කුමාර දිසානායකය. ඉහත කි චෝදනාවට ලක් වූ වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ රැකියාව සඳහා පැමිණෙන්නේ මෙම 2004 වසරේදී බවත් වැඩිදුරටත් සඳහන් වන අතර, අනුර දිසානායකගේ සහයෙන් එම රැකියාව ලබාගත් බවත් සඳහන් වේ.

එසේම ඔහු 2024 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීම් ලබාගන්නා අතරම, 2024.11.18 දින විදුලිබල අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පත්වීම් පත්වීම් ලබයි.

රටේ වගකීම් සහගතම, වැදගත්ම අමාත්‍යංශයක පාලනය මෙවන් වූ වැඩ තහනමකට ලක් වූ, වංචාවකට හසු වූ පුද්ගලයකුට ලබා දීම කෙතරම් සුදුසු ද යන්න මේ වනවිට ජනතාව ප්‍රශ්ණ කරමින් සිටි. සාමාන්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේදී තමන් වචනයෙන් ප්‍රකාශ කරන දේශපාලන සදාචාරය යම් යම් අවස්ථාවදී ක්‍රියාවෙන් ඔප්පු කර තිබිම මත ජනතාව තවමත් විශ්වාසය තබා ඇති බව නොරහසකි.

නමුත් හිටපු කතානායක අසෝක රන්වල සිදුවීමේදී ඔහු ඉවත් වූයේ රටම ගඳ ගස්වා සමාජයෙන් ආ විරෝධය නිසා මිස දේශපාලන සදාචාරයක් හෝ නැවුම් දේශපාලන ආදර්ශයක් නිසා නොවේ.එයද මේ දක්වා නිවැරදි කිරිමට රන්වල කටයුතු කර නොමැත. ඒ නිසාම සජිත්ගේ ජපන් පාඩම මෙන්ම රන්වලගේ ජපන් ගමන ගැනද දැන් සමාජය විහිලුවකට ගෙන අවසන්. (සම්පුර්ණ චෝදනා පත්‍රය පහතින් කියවන්න.)

C1

මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක්

මේ අතර කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද යන්න රටේ ජනතාව අවදියෙන් බලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදි සදහන් කළා.කුමාර ජයකොඩි ඇමතිවරයාට විරුද්ධව එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාව සහ ආණ්ඩුවේ දේශපාලන තීරණ සම්බන්ධයෙන් එහිදි පුබුදු ප්‍රශ්ණ කර සිටියා.

” විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව බරපතළ චෝදනා තියනවා කියලා කාලයක් තිස්සේ රටේ කතාවක් තිබුණා. ඒ ටෙන්ඩර් ක්‍රියාවලියේදී මූල්‍ය වංචා සහ අක්‍රමිකතා සිදු කිරීම සම්බන්ධයෙන්. කුමාර ජයකොඩි පොහොර සංස්ථාවේ වැඩ කරන කාලේ ඔහුට විරුද්ධව රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවා දියත් වුණා. ඒ පරීක්ෂණයෙන් ඔහුව වරදකරු කලා වගේම තනතුරෙන් පහත දාන්නත් එවකට අධ්‍යක්ෂක මණ්ඩලය මගින් තීරණයක් ගත්තා.

“දැන් මේ සියල්ල සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් රටේ මතු වෙමින් තියෙද්දි අපි බලාගෙන හිටියේ, කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? කියන එක. පහුගිය දවසක පැවති රූපවාහිණී වැඩසටහනකදි කුමාර ජයකොඩි ඇමතිවරයා පිළිගත්තා, ‘මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් තමන් වැරදි කරු වුණා’ කියලා. දැන් මේ ආණ්ඩුව බලයට ආවෙම දේශපානලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන පුරසාරම් කතන්දර ගොඩක් කියාගෙන. දූෂණ වංචා සම්බන්ධයෙන් වරදකරු වුණු හෝ එවැනි දෙයකට චෝදනා ලබපු කිසිවෙක්ට ආණ්ඩුවේ කිසිඳු තනතුරක් ලබා දෙන්නේ නෑ කියලා තමයි ඡන්දෙට කලින් කිව්වේ. එහෙම කියපු ආණ්ඩුවක් මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වුණු පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම ගැන අපිට තියනවා බරපතළ ප්‍රශ්නයක්.”

ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා, රනිල් වික්‍රමසිංහ පොල් ගානවා.

දැන් ආණ්ඩුව තෝරමින් ඉන්නේ අමුතුම දේශපාලන පාරක්. ඒ තමයි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගනු ලබන දේශපාලන තීන්දු තීරණ කිසිවක් රටේ ජනතාවට හෙළිදරවු නොකර සිටීමේ ක්‍රමය. මේ ක්‍රමය අනුව තමයි ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකළේ. අගමැති හරිනී අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා හැබැයි ඒ වැඩපිළිවෙළ නිශ්චිතවම මෙන්න මේකයි කියලා කියන්න ඇයවත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ ගෙනාව උපාලි සේදර කමිටු වාර්තාවයි රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි දෙක එකට කලවම් කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ මෙහෙම වැඩක්. ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා, රනිල් වික්‍රමසිංහ පොල් ගානවා. ඒ දෙක එකතු කරලා නේද ඔය සම්බෝලේ හැදුවේ කියලා ඇහුවම, ආණ්ඩුව කියනවා, “නෑනේ, අපි මේ සම්බෝලෙට දෙහි ටිකක් මිරිකුවනෙ. ඒ නිසා මේක අපි හදපු එකක්” වගේ උත්තරයක් දෙනවා. දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේම මෙවැනි විගඩම් නටන්නෑ කියන පොරොන්දුව එක්ක. අඩුම තරමින් හොරුන්ට තනතුරු දෙන්නෑ කියලා රැකගෙන හිටපු සදාචාරාත්මක කාරණය පවා ඉවර වෙනවා කුමාර ජයකොඩි ඇමතිවරයාගේ ප්‍රශ්නයෙන්. දැන් අපි තවම දන්නේ නෑ මොහුට විරුද්ධව අල්ලස් කොමිසම නිශ්චිතව නඩු පැවරුවද කියලා. මොකද මාධ්‍යවල වාර්තා වුණේ නඩු පවරන්න යනවා වගේ එකක්. කිසිදු දේශපාලන බලපෑමකට යට නොවී අල්ලස් කොමිසම මේ කාරණයේදී කටයුතු කෙරෙයි කියලා ජනතාව බලාගෙන ඉන්නවා. එතනින් එහාට ගිහිල්ලා ආණ්ඩුව වහාම් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න ඕන. මොකද මෙවැනි වැඩවලින් බිඳ වැටෙන්නේ රටේ ජනතාව ආණ්ඩුව ගැන තියපු විස්වාසය.

මේ කුමාර ජයකොඩි මිනිස්සු අන්දන්න ගිහිල්ලා රටටම ලොකු විහිළුවක් වෙලා තියෙන්නේ.

ඊළඟ කාරණය, විශේෂයෙන් කුමාර ජයකොඩි ඇමතිවරයගේ පසුගිය කාලේ හැසිරීම දිහා බැලුවමත් අපිට ඔහු සම්බන්ධයෙන් යම් අදහසක් හදා ගන්න පුලුවන්. රනිල්ට කාංචනට සම්මත කරගන්න බැරුව හිටපු විදුලි පනත සම්මත කරලා විදුලිබල මණ්ඩලය මස් කරලා විකුණන වැඩේ අනාගතේදි කරන්න අවශ්‍ය පාර හදලා දුන්නේ මේ ඇමතිවරයා. ඒ වගේම අපි දැක්කා පසුගිය දවසක මන්නාරමේ ගිහිල්ලා ‘මන්නාරමේ එක කුරුල්ලෙක්වත් නෑ’ කියලා බොරු කිව්වෙත් ඔය කුමාර ජයකොඩිම තමයි. මේ කුමාර ජයකොඩි මන්නාරමේ යද්දි කොහොමත් කුරුල්ලෝ කොඩි වන වනා පාර දෙපැත්තේ ඉන්නෑ තමයි. මන්නාරමට එන්නේ සංචාරක පක්ෂීන්. සංචාරක පක්ෂීන් අවුරුද්දකට එන කාර්තුවක් තියනවා. එහෙම නැතුව කුමාර ජයකොඩි යන එන වෙලාවට කුරුල්ලෝ මන්නාරමට එන්නේ නෑ. එකපාරක් රටේම විදුලිය කැපිච්ච වෙලාවේ රිලවෙක් පැනලා තමයි මේක සිදු වුනේ කිව්වා. මේ ළඟදි දවසක් බාගයි භාගයි කියාගෙන ලොකු අකුරු හරඹයක් කළා. දැන් මේ කුමාර ජයකොඩි මිනිස්සු අන්දන්න ගිහිල්ලා රටටම ලොකු විහිළුවක් වෙලා තියෙන්නේ.

දැන් මෙවැනි තත්වයක් ඇතුළේ ආණ්ඩුවේ විධායක බලය ක්‍රියාත්මක කරන කැබිනට් මණ්ඩලය තුළ මොහුව තවදුරටත් තබාගැනීම බරපතළ තත්වයක්. ඒ නිසා ආණ්ඩුව මේ ගැන වහාම රටට පැහැදිලි කිරීමක් කරන්න ඕන සහ කුමාර ජයකොඩි ඇමතිවරයාව වහාම තනතුරුවලින් ඉවත් කරලා ඔහුට විරුද්ධව විධිමත් විමර්ශනයක් පැවත්විය යුතුයි. ඉතින් අපි හිතනවා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව මැදිහත් වෙයි කියලා. “

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *