සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයෙදී මුහුණදීමට සිදුවන අභියෝගයට ජාතික හා ජාත්‍යන්තර පිටිය නිවැරදි ලෙස සකස් කිරීමට රජය වග බලා ගත යුතු වුවත් එය එසේ සිදුවන බවක් මේ වනතෙක් පෙනෙන්නට නැති බව සවිස්තරාත්මක වාර්තාවක් මගින් සමන් විතානාරච්චි පෙන්වා දෙනවා.

ජිනීවා අභියෝගය හමුවේ ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිචාරයක් !

  • ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලයේ සේවකයන් 11යි ඉන්නේ , ජාතික ප්‍රතිපත්තිය හදන වගකීම ඔවුන්ට පවරලා…
  • හානිපූර්ණ කාර්යාලයට සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර නැහැ… හිටපු සභාපති ඉවත්වී මාස 2යි.
  • සත්‍ය හා සංහිඳියා කොමිෂන් සභාව සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වසාදමලා.. මාස 11 ගතවෙලා, නව ප්‍රවේශයක් පෙනෙන මානයක නෑ.
  • අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වින්දිතයන් අතර විශ්වාසය ගොඩනගෑනීමට අපහොසත් වෙලා. උපක්‍රමික සංන්නිවේදන වැඩපිළිවෙළක් නැහැ.
  • දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ පිළිබඳ රජය කිසිදු මැදිහත් විමක් නෑ….පොරොන්දු කඩකල බවට උතුරෙන් මෑසිවිලි.

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක් වූ අතර, එම සංචාරය අවසානයේදී ඔහු විසින් සකස් කළ වාර්තාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ජිනිවා මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේ ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ පිටපතක් මේ වන විටත් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරුවෙමින් පවතී. ඒතුල ආණ්ඩුව විසින් ඉටු කළ යුතු බොහෝ කාරණා එහි අන්තර්ගත කර ඇත.

To read the full report :

A/HRC/60/21: – Situation of human rights in Sri Lanka – Comprehensive report of the United Nations High Commissioner for Human Rights – Advance unedited version

a-hrc-60-21-auv

ඒ අනුව සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයෙදී මුහුණදීමට සිදුවන අභියෝගයට ජාතික හා ජාත්‍යන්තර පිටිය නිවැරදි ලෙස සකස් කිරීමට රජය වග බලා ගත යුතුය. එසේ සිදුවන බවක් මේ වනතෙක් පෙනෙන්නට නැත.

එයට මූලික හේතුව වී ඇත්තේ රජය විසින් ස්ථාපිත කර ඇති සංහිඳියා යාන්ත්‍රණ ඔවුන්ට නීතියෙන් ව්‍යවස්ථානුකූලව ලබා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට මේවනතෙක් අපෝහෝසත් වීමත්, එම යාන්ත්‍රණ පණ ගන්වා ක්‍රියාත්මක කළහැකි මූල්‍ය හා පරිපාලන වටපිටාවක් ගොඩනැගීමට, මේ වනතෙක් මෙම ප්‍රශ්නයට අත ගැසූ සියලු රජයන් අපොහොසත් වී ඇති නිසාය.

ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වසා දැමිය යුතු මට්ටමේ පැවතියද , එය නාමිකව පවත්වාගෙන යාමට මෙම රජයද කටයුතු කරන බව පෙනේ. ඔවුන්ගේ ස්ථිර සේවක සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා පහළ වැටී ඇත. 2015 වසරේ පිහිට වූ මෙම කාර්යාලය ජාතික සංහිඳියා ප්‍රතිපත්තියක් සකස් කිරිමත්, නැවත යුත් යුද්ධයක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමටත් ඇතිකළ කාර්යාලයක් වුවත්, පසුගිය වසර දහය පුරාම විශාල මුදලක් කොට ඇතත්, මේ වනතෙක් සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි ආකාරයේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපොහොසත් වී ඇත.

හානිපූර්ණය සඳහා වන කාර්යාලය පිහිටුවා වසර හය හමාරක් ගත වී ඇතත් මේ වනතෙක් හානි පූර්ණ සංකල්පය පිළිබඳව නිවැරදි වැටහීමකින් ක්‍රියාකර ඇති බවක් නොපෙනේ. ඔවුන්ගේ මූලික කාර්යය ලෙස ඔවුන් හඳුනාගෙන ඇත්තේ වන්දි ගෙවීම පමණි. එයද මේ වනතෙක් නිසියාකාරව ඉටු කිරීමට කටයුතු කරන නැත.

මනෝ සමාජීය සහාය ලබාදීම, අධ්‍යාපන, ඉඩම්, නිවාස, නැවත පදිංචි කිරීම, අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීම, ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආර්ථික කටයුතු සඳහා මැදිහත්වීම හා පරිපාලන ගැටලු සඳහා විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ මූලික වගකීම හානිපූර්ණ කාර්යාලය සතු වුවත් ඒ සඳහා කිසිදු මැදිහත් විමක් හෝ නිවැරදි වැඩ පිළිවෙලක් මේ වනතෙක් නව රජය යටතේද ක්‍රියාත්මක වන බවක් හෝ ක්‍රියාත්මක කිරීමට අදහසක් පවතින බවක් හෝ නොපෙනේ.

මේ වන විට සභාපති වරයාගේ හා සාමාජිකයන්ගේ ධූර කාල අවසන්ව මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයාට ඒ සඳහා පත් කළ යුතු සාමාජිකයන් තෝරා ලයිස්තුවක් ඉදිරිපත් කර නැත.

රජයේ වැදගත් ආයතනයක් මෙසේ කාල විරාමයකට යාම තුළ, සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය දක්වන උනන්දුව අඩු වී ඇති බවක් හෝ ඒ සඳහා වුවමනාවක් නොමැති බව ජාත්‍යන්තරයට මෙන්ම මෙරට වින්දිත ප්‍රජාවටද ඒත්තු ගැන්වී ඇත. එය නව රජයට එතරම් සුබදායක නොවන තත්ත්වයකි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ද ඔවුන් විසින් යුතු කළයුතු මූලික කාර්යයන් කිසිවක් මේවන තෙක් ඉටුකර ඇති බවක් දක්නට නොලැබේ.

ඔවුන්ගේ බල සීමාව තුළද ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන බවක්ද පෙනෙන්නට නැත.

එම කාර්යාලයේ ප්‍රථම කාර්යය විය යුත්තේ අතුරුදහන් වූවන් පිළිබඳ නාම ලේඛනයක් (Central Registry) එළිදැක්වීමයි. කාර්යාලය ස්ථාපිත කර වසර හතක් ගත වී ඇතත් මේ වනතෙක් එවැනි ලේඛනයක් සකස් කොට ප්‍රසිද්ධියට පත් කොට නැත. එලෙසම මේ වසර හත ඇතුළත ඔවුන් විසින් සොයාගන්නා ලද අතුරුදහන් ජනතාවගේ නම් ප්‍රසිද්ධියට පත් කර නැත.

අතුරුදහන් වූවන්ගේ පවුල්වල විශ්වාසය දිනා ගැනීමට මෙම කාර්යාලය මේවන තෙක් අසමත් වී ඇත.

ජාතික ජන බලවේගය මැතිවරණ ක්‍රියාවලිය තුළ ඔවුන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ අන්තර්ගත වූ සත්‍ය හා ප්‍රතිසංධානය පිළිබඳ කොමිෂන් සභාවක් (Truth and Rexoncilation commission ) ස්ථාපනය කිරීම සඳහා වන මූලික පියවර කිසිවක් මේ වනතෙක් ආරම්භ කර නැත. ඒ සඳහා ඔවුන් විසින් සිදුකළ ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කටයුතුය.

පසුගිය රජය සමයේ ස්ථාපනය කරන ලද, සත්‍යා සංවිඳියාව සඳහා වන යාන්ත්‍රණය ඇති කිරීම සඳහා පිහිටුවන ලද අන්තර් ලේකම් කාර්යාලය වසා දමා ඇත. කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන ලද මෙම කාර්යාලය විසින්, වින්දිත ප්‍රජාව හා බලපෑමට ලක්විය හැකි පාර්ශවයන් සමඟ ප්‍රවිචාරණ ක්‍රියාවලිය ( consultation ) අවසන් කොට පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. නමුත් එම පනත් කෙටුම්පත පැත්තකට දමා කාර්යාලයද වසා දැමීමට, නව රජය විසින් කටයුතු කර ඇත.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා කිසිදු ප්‍රවේශයක් ගෙන නැත. ඒ පිළිබඳ උතුරේ ජනතාව දැඩි නොසතුටකින් පසුවන බවත්, ඉදිරියේදී ඔවුන් විසින් ආණ්ඩුවට රතු එළි දැල්වීමටද නියමිතව ඇත.

කෙසේ වෙතත් යම් පමණකින් හෝ සතුටු විය හැකි එක් කාරණයක් වන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීම සදහා වන පනත අහෝසි කොට ඒ වෙනුවට නව පනතක් ගෙන සඳහා ජනාධිපති නීතිඥ රීයෙන්සි අර්ශකුලරත්න ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට තිබීමයි.

මෙලෙස රජය මන්දගාමී වීම තුළ එළඹෙන ජිනීවා සැසිවාරය තුළ රටත් ජනතාවත් නව අර්බුදයක් කරා තල්ලුවීමට ඉඩ ඇති අතර එහි අවදානම දැක ක්‍රියාශීලී ප්‍රවේශයකට (proactive approach) දැන්වත් උකටලී විය යුතුය.

( සටහන | සමන් විතානාරච්චි)

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *