ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය වසරට වඩා ස්ථාන 30 කටත් වඩා ඉදිරියට පැමිණීමකි. දශක ගණනාවක දේශපාලනික හිංසනයෙන් සහ සන්නද්ධ අර්බුදයන්ගෙන් පසුව මෙය ඇගයීමට ලක්විය යුතු ජයග්‍රහණයකි. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව භීෂණකාරී අඳුරු යුගයන් පසුකර පැමිණි බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. එම කාලපරිච්ඡේදයන් අමතක කිරීම හෝ ඒවා සුළුකොට තැකීම යනු නැවතත් එවැනි අඳුරු යුගයකට මග පාදාගැනීමකි. 1971 සහ 1988-89 කාලවල පැවැති ජවිපෙ කැරලි දෙක මෙන්ම 1983 සිට 2009 දක්වා පැවැති ඊළාම් යුද්ධයේ විවිධ අදියරයන් ඊට ඇතුළත් වේ. එහෙත් මෙම සියලු හිංසනකාරී කාල පරිච්ඡේදයන් අතරින් 1983 ජූලි මාසයේ සිදුවූ දෙමළ විරෝධී හිංසනය කැපීපෙනෙයි. ජූලි 23 වැනි දින සිට මුළු සතියක් පුරාම, දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් මුළු රටම ගිනි තබන ලදී. ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් මෙම ගිනි තැබීම සැලසුම් කළ අතර, අනෙක් පාර්ශ්වය අඩපණ වී අසරණ දෙමළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට අපොහොසත් විය. කොළඹ ප්‍රධාන බන්ධනාගාරය තුළ සිටි දෙමළ සිරකරුවන් සමූලඝාතනය කරන ලදී. කොළඹ සිටි සමස්ත දෙමළ ජනගහනය පාහේ යාපනයට ඉවත්කිරීමට සිදුවිය.

1983 ජූලි මාසය යනු හුදෙක් වර්ගවාදී කෝලාහලයක් පමණක් නොවේ. එය තමන්ගේ සියලුම පුරවැසියන් එක හා සමානව ආරක්ෂා කිරීමට රජයට ඇති හැකියාව සහ කැපවීම කෙරෙහි වූ සමස්ත සමාජයක විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳදැමීය. බොහෝ දෙමළ ජනයාට එය තහවුරු කළේ, තමන් ශ්‍රී ලාංකීය රාජ්‍ය පද්ධතියට සැබැවින්ම අයිති නැති බවත්, ඡන්ද බලයෙන් අන්තවාදී බලවේග බලයට පත්වන සෑම අවස්ථාවකම තමන් අනතුරට ලක්වන බවත්ය. මෙහි ප්‍රතිවිපාක ක්ෂණිකව සිදුවූ ජීවිත හා දේපළ හානියට වඩා බෙහෙවින් දුරදිග ගියේය. එය සිවිල් යුද්ධය වේගවත් කළ අතර, සිය දහස් ගණනක් අවතැන්ව විදේශයන් වෙත පළායෑමට සැලැස්වූ අතර, වසර හතළිහකටත් වඩා වැඩි කාලයකට පසුවත් දේශපාලන ආකල්පයන් හැඩගස්වන නොමැකෙන අනාරක්ෂිත බවක් පිළිබඳ හැඟීමක් තැන්පත් කළේය. කාලයත් සමඟ බොහෝ ආණ්ඩු, බහුතර සමාජය සමඟ එකතු වී එම භයානක කාලපරිච්ඡේදය හුදෙක් අවාසනාවන්ත සිදුවීමක් ලෙස සුළුකොට තැකීමට උත්සාහ කර ඇත. ඉලක්කවූවන්ට අසල්වැසියන් දැඩි අවදානම් ගනිමින් නිර්භීතව උපකාර කළ ආකාරය පිළිබඳ මතකයන් තිබේ. එම ධෛර්ය සම්පන්න ක්‍රියාවන් මතක තබාගත යුතු අතර ගෞරවයට පාත්‍ර විය යුතුය. ඔවුන් පෙන්වාදුන්නේ, ශ්‍රී ලාංකික සමාජයේ උතුම්ම පැත්තයි. එහෙත් එමගින් එදා රාජ්‍යය අසාර්ථක වූ අතර, අදටත් අසාර්ථක වෙමින් පවතින බව යන විශාල සත්‍යය මකාදැමිය නොහැක. එම වකවානුවේ නැතිවූ ජීවිත හා දේපළ සඳහා වන්දි ගෙවීමේ ප්‍රශ්නය තවමත් අසරණ වින්දිතයන් අතර නොවිසඳී පවතී.

ආයතනික අසාර්ථකත්වයේ වගකීමෙන් මිදෙමින්, පෞද්ගලික කරුණාවන්ත ක්‍රියා සැමරීමෙන් පමණක් ආණ්ඩුවකට ජාතික සහජීවනය ගොඩනැගිය නොහැක. සුවපත් වීමට නම් ඒ දෙකම පිළිගැනීම අවශ්‍ය වේ. අතීත ඓතිහාසික අසාධාරණයන්ට රාජ්‍යයන් මුහුණදුන් ආකාරය පිළිබඳව වෙනත් රටවල් හොඳ උදාහරණ සපයයි. ජර්මනිය කිසි විටෙකත් යූද සංහාරය සුළුකොට තැකීමට හෝ එය තම ඉතිහාසයේ අවාසනාවන්ත සිදුවීමක් ලෙස පමණක් ඉදිරිපත් කිරීමට උත්සාහ කර නැත. මතක ස්මාරක, කෞතුකාගාර සහ අධ්‍යාපනය මගින් සෑම පරම්පරාවක්ම සිදුවූයේ කුමක්ද යන්නෙහි බරපතලකම සහ එය නැවත සිදුනොවීමට වගබලා ගැනීමේ රාජ්‍යයේ වගකීම තේරුම් ගන්නා බව තහවුරු කරයි. ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා එම දරුණු වසරවල ඓතිහාසික දර්ශන නිතර නිතර පෙන්වීමට කටයුතු කිරීම විශේෂත්වයකි. මෙහි අරමුණ නිරන්තර වැරදිකාරී හැඟීමක් ඇතිකිරීම නොව, නිරන්තර අවධානය සහ විමසිලිමත්බල වර්ධනය කිරීමයි.

සමානාත්මතාව පමණක් ප්‍රමාණවත් නොවේ

සුළුතර ජනතාව ක්‍රමානුකූල අසාධාරණයට ලක්ව ඇති තැන, ඉදිරියට සමානව සැලකීම පමණක් ප්‍රමාණවත් නොවේ. විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා නොකඩවා උත්සාහ කිරීමට සූදානම් බව රාජ්‍යය වචනයෙන්, ප්‍රතිපත්තිවලින් සහ ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය. වර්ණභේදවාදයෙන් පසු දකුණු අප්‍රිකාවේ මෙය දක්නට ලැබිණි. එහි වූ සත්‍ය සහ සංහිඳියා කොමිසම නීතිය හමුවේ සමානාත්මතාවය ප්‍රකාශ කිරීමට පමණක් සීමාවූයේ නැත. එය වින්දිතයන්ගේ පීඩාවන් ප්‍රසිද්ධියේ පිළිගත් අතර, ඔවුන්ගේ සාක්ෂිවලට සවන්දී ජාතික මට්ටමින් ඔවුන්ට ගෞරවය නැවත ලබාදීමට උත්සාහ කළේය. එසේ තිබියදීත්, දකුණු අප්‍රිකාවේ සංහිඳියාව තවමත් සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. කැනඩාව එහි දේශීය (ගෝත්‍රික) ජනතාවට සැලකූ ආකාරය ගැන නිල වශයෙන් සමාව අයැදි අතර, නේවාසික පාසල්වල දේශීය දරුවන්ට සිදුවූ අපයෝජනයන් ලේඛනගත කිරීම සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසමක් පිහිටෙව්වේය. නවසීලන්තය ඊටත් වඩා ඉදිරියට යමින් මාඕරි ප්‍රජාවන් සමඟ ගිවිසුම් ඇතිකර ගනිමින්, හැකි සෑම විටම ඉඩම් ආපසු ලබාදෙමින් සහ වෙනස්කම් කිරීම තහනම් කිරීමට එහා යමින් සංස්කෘතික හා භාෂාමය අයිතිවාසිකම් පිළිගත්තේය. මෙම සියලු විපත් අතීතයේ මෑතකදී සිදුවුවද, ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් තව බොහෝ දේ කිරීමට ඇත.

සුළුතරයන්ට සිදුවන හිංසනයන් සහ වෙනත් ඛේදවාචකයන් වඩාත් සංවේදී වන්නේ සුළුතරයන්ට බොහෝ විට තමන්ව ආරක්ෂා කර ගැනීමට නොහැකි බැවිනි. ඔවුන් වින්දිතයන් බවට පත්වන විට, රාජ්‍යය ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය. රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ඔවුන් සැමවිටම ආරක්ෂා වන බවට ඔවුන්ට සහතික විය යුතුය. මෙය සාමාන්‍ය අර්ථයෙන් විශේෂ වරප්‍රසාද ලබාදීමක් නොවේ. මෙය යථාතත්ත්වයට පත්කිරීමේ (පුනරුත්ථාපන) සැලකිල්ලකි. නීතියෙන් සමානාත්මතාවය පොරොන්දු වූ පමණින් බිය නැති නොවේ. බිය නැතිවන්නේ තමන් ගැන සැකපහළ කිරීමට හේතු ඇති අය වෙනුවෙන් රාජ්‍යය තීරණාත්මක ලෙස පෙනීසිටින බව අත්දැකීමෙන්ම නිරන්තරයෙන් ඔප්පු වන විට පමණි. සුළුතර ජනයා තුළ ඇති අන්‍යකරණය සහ කොන්වීමේ හැඟීම නිසා ඔවුන් වෙනුවෙන් වැඩි යමක් කිරීමේ අවශ්‍යතාවයක් පවතී. අතීතය මෙන්ම වර්තමානය සම්බන්ධයෙන්ද ඔවුන් සමඟ කටයුතු කිරීමේදී මෙය අදාළ වේ.

‘වැඩි යමක් කිරීම’ යන වචනය ඇතැමුන්ට අසහනයක් ඇති කළ හැකිය. එහෙත් බෙදීගිය සමාජයන්ගෙන් නැගීඑන ආණ්ඩුවලට, සුළුතර ජනයා සැබැවින්ම මෙම රටට අයිති බවට ඔවුන්ට සහතික කිරීම සඳහා සාමාන්‍ය සීමාවෙන් ඔබ්බට ගොස් කටයුතු කිරීමට සිදුවේ. මෙයට හේතුව සුළුතරයන් බහුතරයට වඩා වැඩි අයිතිවාසිකම් ලැබීමට සුදුසු නිසා නොවේ. මන්ද ඔවුන් වඩාත් විශාල අනාරක්ෂිත භාවයකින් පෙළෙන බැවිනි. බහුතර ප්‍රජාවේ සාමාජිකයන් සාමාන්‍යයෙන් සිතන්නේ රාජ්‍ය ආයතන තමන්ට අයිති බවයි. එහෙත් සුළුතරයන්ට එම නිගමනයට එතරම් පහසුවෙන් එළඹිය නොහැක. ඔවුන් තමන්ව ඉවසීමෙන් දරා සිටිනවාට වඩා සම අයිතිකරුවන් ලෙස පිළිගන්නේද යන්න පිළිබඳ සලකුණු නිරන්තරයෙන් සොයති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස සඳහන් කර තිබුණද, උතුරේ සහ විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තවමත් රාජ්‍ය කටයුතු වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ සිංහල භාෂාවෙන් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෙමළ භාෂාව කතාකරන ජනතාව අතර නොසන්සුන්තාවයක් ගොඩනැගෙමින් පවතී.

පිළිතුරු නොලැබුණු පොරොන්දු

ඉටු නොකළ ආණ්ඩු පොරොන්දු සුළුතරයන්ට පමණක් සීමා නොවේ. ප්‍රධාන ප්‍රවාහයේ විපක්ෂය ද ආණ්ඩුවට චෝදනා කරන්නේ, සමස්ත ජනතාවට වූ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවටයි. ඒ අර්ථයෙන් ගත්කල, කඩවුණු පොරොන්දු යනු බහුතර සහ සුළුතර ප්‍රජාවන් දෙකම මුහුණදෙන පොදු ගැටලුවකි. එහෙත් එහි යම් වැදගත් වෙනසක් ඇත. බහුතරයට වූ පොරොන්දුවක් කඩ වූ විට, එය කනගාටුවක් ඇති කරයි. එහෙත් සුළුතරයකට වූ පොරොන්දුවක් කඩ වූ විට, එය අතීත භීතීන් නැවත අවදි කරන අතර ඒ සමඟම නොඅනුමානවම විශ්වාසභංගය සහ වෛරය ගොඩනැගේ. එබැවින් එහි හැඟීම්බර සහ දේශපානික ප්‍රතිවිපාක බෙහෙවින් විශාලය. තේරී පත් වූ දෙමළ නායකයන් චෝදනා කරන්නේ, ආණ්ඩුවේ නායකත්වය සම්බන්ධ කරගත නොහැකි බවත්, ඔවුන් දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු නොදෙන බවත්ය. මෙය හිතාමතා කරන වෙනස්කම් කිරීමක් නොවිය හැක. ඕනෑම අයකුට රජයේ නායකයන් සැමවිටම සම්බන්ධ කර ගැනීමට නොහැකි විය හැක. එහෙත් දැඩි ලෙස බෙදීගිය සමාජයක ‘මතය සහ ප්‍රතිරූපය’ ඉතා වැදගත් වේ.

සංහිඳියාව ජාතික අරමුණක් වන්නේ නම්, සුළුතරයන් කොන්කර ඇති බවට හෝ නොසලකා හැර ඇති බවට හැඟෙන පරිදි හැසිරීමට ආණ්ඩුවලට නොහැකිය. පිළිතුරු නුදුන් සෑම දුරකථන ඇමතුමක්ම, කල්දැමූ හමුවීමක්ම සහ ඉටු නොකළ පොරොන්දුවක්ම මගින් තහවුරු කරන්නේ සුළුතරයේ කාරණා නැවත වරක් ජාතික න්‍යාය පත්‍රයේ පහළටම තල්ලු කර ඇති බවයි. ආරක්ෂක අංශවල හැසිරීමටද මෙම මූලධර්මයම අදාළ වේ. පරීක්ෂාවන් සහ නිරීක්ෂණයන් වැනි බහුතරය විසින් සාධාරණ සහ අවශ්‍ය යැයි සලකන ක්‍රියාමාර්ග, දශක ගණනාවක් තිස්සේ නිරීක්ෂණයට, බියගැන්වීම්වලට, මිලිටරි ග්‍රහණයට සහ හිංසනයට ලක්වූ ප්‍රජාවන් විසින් වෙනස් ආකාරයකින් අර්ථකථනය කළ හැකිය. මෙයින් අදහස් කරන්නේ ජාතික ආරක්ෂාව පාවාදීම නොවේ. එයින් අදහස් කරන්නේ ආරක්ෂාව සහ සංහිඳියාව එකට යා යුතු බව වටහා ගැනීමයි. වෘත්තීයමය ආරක්ෂක අංශයක් සුළුතර ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමේදී සංවේදීතාව සහ ස්වයං පාලනයක් පෙන්නුම් කරන විට ජාතික එකමුතුකම ශක්තිමත් වේ.

1983 ජූලි මාසයෙන් ලැබුණු පාඩම නම් සුළුතර ජනයා රාජ්‍යය කෙරෙහි ඇති විශ්වාසය බිඳගත් විට එහි ප්‍රතිවිපාක පරම්පරා ගණනාවක් පැවතිය හැකි බවයි. සංහිඳියාව සඳහා සම අයිතිවාසිකම් සහ වෙනස්කම් නොකිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ඒවා ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයකින් බලාපොරොත්තු වන අවම ප්‍රමිතීන් වේ. ජාතික ජන බලවේග ආණ්ඩුව, තමන්ව විශ්වාස නොකිරීමට හේතු ඇති අය අතර විශ්වාසය ගොඩනැගීම සඳහා නිල සමානාත්මතාව සහ වෙනස්කම් නොකිරීමේ කැපවීමට එහා යා යුතුය. අතුරුදහන්වූවන් සෙවීම, ඉඩම් ආපසු ලබාදීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම වැනි එහි මැතිවරණ ප්‍රකාශනයේ වූ පොරොන්දු ඉක්මනින් ඉටුකිරීමත්, සුළුතර ප්‍රජාවන්ගේ තේරී පත් වූ නියෝජිතයන් සමඟ අඛණ්ඩ සංවාදයක් පවත්වාගැනීමත් අතිශයින් වැදගත් වේ. පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් ඇති ආණ්ඩුවකට වටහාගත හැක්කේ මෙම අමතර උත්සාහය දැරීම සුළුතරයන්ට කරන සහනයක් නොව, ජාතික එකමුතුකම වෙනුවෙන් කෙරෙන අත්‍යවශ්‍ය ආයෝජනයක් බවයි.

– ජෙහාන් පෙරේරා-

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *