ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන ලෙස “දිනණ දකුණ” සාමූහිකය ඉල්ලා සිටි. දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක විසින් නිකුත් කර තිබේන එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතිය හරහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇති බවයි.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක ගෙවීම පිළිබඳ විමර්ශනයක් වහා සිදු කළ යුතුයි.
මහා භාණ්ඩාගාරය විසින් තුන්වන පාර්ශවයක් වෙත ඩොලර් මිලියන 2.5 ක මුදල් ගෙවීමක් සිදු කර ඇති දැයි විමර්ශනය සඳහා පූර්ණ විගණනයන් සිදු කළ යුතු බව “දිනණ දකුණ” සාමූහිකය ලෙස මෙසේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක්, කොටසක් සහ පොළිය ලෙස ඩොලර් මිලියන 2.5 ක් ගෙවීමට නියමිතව තිබී ඇත. එම මුදල පරිගණක “හැකරුන්” විසින් වංචනික ගිණුම් අංකයක් ලබාදී ඒ හරහා මුදල් ලබා ගෙන ඇති බව දැනගන්නට ඇත.
මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහා භාණ්ඩගාරය විසින් මෙම මුදල, මෙයට මාස 4 කට පෙර ගෙවා ඇති බව දැනගන්නට ඇත. මෙම ගෙවීමට සම්බන්ධ බැංකු ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, මහා භාණ්ඩාගාරයේ අවධානය ද, ගෙවීම සිදු කිරීමට පෙර යොමු කර තිබී ඇත.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ ණය සම්බන්ධයෙන් වන වගකීම දරණු ලබන්නේ මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලය විසිනි. රාජ්‍ය ණය කළමණාකරණය, මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිවරයාගේ ද, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගේ සෘජු අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ කටයුතු කරයි. එබැවින් මේ ගෙවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තු ද, මහා භාණ්ඩාගාරය ද, මුදල් අමාත්‍යාංශය ද වගකීම් දැරිය යුතුය.
මෙම සිදුවීමෙන් මාස 4 කට පසුව සිද්ධිය පිළිබඳ විමසීමට “තාක්ෂණික විමර්ශන කමිටුවක්” අතිරේක භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකු ගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇත. මෙය “හොරාගේ අම්මාගෙන් පේන ඇසීම” හා සමාන තත්වයකි.
මේසා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වන නිර්දේශ හා අනුමැතිය ලබාදිය යුතුව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ අතිරේක ලේකම් සහ භාණ්ඩගාර ලේකම්වරයාය.තව ද එවැනි ගෙවීමක වගකීම, මුදල් අමාත්‍යාංශය විසින් දැරිය යුතුව ඇත.
මේ දක්වා අනාවරණය වී ඇති කරුණු අනුව මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතිය හරහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් ජාතික විගණන කොමිෂන් සභාව හෝ මුදල් අමාත්‍යාංශයේ පාලනයෙන් බැහැර විමර්ශන කණ්ඩායම් විසින් විමර්ශන සිදු කළ යුතු බව ’”දිනණ දකුණ” අවධාරණය කරයි.
තව ද මේ සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක්, මහ බැංකුව පරීක්ෂණයක් සහ රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලය මගින් පාර්ලිමේන්තුවට වාර්තාවක් කැඳවීමට පියවර ගත යුතු බව ද අවධාරණය කෙරේ.
නීතිඥ ශිරාල් ලක්තිලක
නායකත්ව මණ්ඩල සභික – දිනන දකුණ.
